මීට වසරකට පමණ පෙරාතුව, භික්ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්ෂුවට ප්‍රකාශ කළා, “ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා”ය කියලා. එම අවස්ථාවේ, භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ, “ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන් මයි, ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට පැමිණ තිබෙන්නේ” කියලා. “ඔබ දෙපළගේ සංස්කාරයන්ට අදාළව ඔබලාට ලැබිය යුතු දෙයයි, ඔය ලැබිලා තිබෙන්නේ. එම නිසා ඔය කනස්සල්ලෙන් බැහැර වෙලා, මවුපියන්ට උරුම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් ගෙන් පෝෂිත මහා බ්‍රහ්ම ගුණයන් ඇති කොට ගෙන, පිළිසිඳ ගත් දරුවා වගකීමෙන් ආරක්ෂා කොට ගන්න”ය කියලා.
පසුගිය මාසයේ දවසක එම මහත්මයා, බොහොම සතුටින් භික්ෂුව මුණගැසිලා ප්‍රකාශ කරනවා, “ස්වාමින් වහන්ස අපිට පුතෙක් ලැබුණා”ය කියලා. අපි බලාපොරොත්තු නැති මොහොතක වුවද, අපිව බලාපොරොත්තුවෙන් යමෙක් පැමිණෙන්නේ ධර්මානුකූල හේතුවක් නිසාමයි. එම ධර්මානුකූල හේතුව “සංස්කාර පච්චයා. විඤ්ඤාණං” කියන ධර්මතාවය අපි කැමැති වුවද, අපි අකැමැති වුවද, මේවා සංස්කාරයන්ගේ ම සූදුවකි. අනාගතයේ යම් දවසක අපි කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය කොට දමන තෙක් ම, අපි මේ සූදුවේ කොටස් කරුවන් වන්නෙමු. සූදුවක් තිබෙන තැන, ජය සහ පරාජය අනිවාර්යයෙන්ම තිබෙනවා. විදර්ශනා ප්‍රඥාවෙන් යම් පින්වතෙක් දුර්වලද, ඔහු මේ ජීවිතයේදි ජය සහ පරාජයන් හේතුවෙන්, දුක සහ ශෝකය ජීවිතයට එකතු කොට ගන්නා අතර, විදර්ශනා ප්‍රඥාව ශක්තිමත් පින්වතා, ජය සහ පරාජය කියන අර්ථයන් දෙකම, අනිත්‍ය බව දකිමින් මෙලොව පරලොව සැපය ම ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
නුවණින් පිරිහීමෙන්, සත්වයා පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන්, කාමයේ, රූපයේ ආශ්වාදය ම සොයමින්, දුකට හේතුවෙන භවයම ශක්තිමත් කොට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “රූපය කියන්නේ මාරයා”ය කියලා. රූපය මාරයා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, රූපය නිරතුරුව ම ජරා, ව්‍යාධි, මරණයන්ට, අදාළව විකෘති වෙන, වෙනස් වෙන නිසා මය. රූපයේ ආදීනවය, ජරා, ව්‍යාධි මරණයන් තුළ බැසගෙන සිටියත්. රූපයේ ආශ්වාදය නම්, දෑස් පෙනෙන ඔබව, අවිද්‍යාවේ අන්ධභාවයට පත් කරන මාර උගුලක් මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි පාපය, අකුසලය ළාමක දෙයක් වශයෙන්ම දකින්න”ය කියලා. “පාපය, අකුසලය, ළාමක දෙයක් වශයෙන් දැකලා, අකුසලය කෙරෙහි කලකිරීම ඇති කොට ගන්න”ය කියලා.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේත් ඉහත අර්ථය ලෝකයාට දේශනා කිරීමටයි. රූපය මාරයා වෙන තැනදි, රූපය හේතුවෙන් සකස් වෙන වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයනුත් මාරයා මයි වෙන්නේ. පින්වත් ඔබ සිතනවාද, ඔබේ රූපය මාරයාය කියලා..?
අද උදෑසන පිණ්ඩපාතය බෙදන්න නෝනා කෙනෙක් පැමිණ සිටියා. ඇයගේ තරුණ හිසකෙස් දුඹුරු පැහැයෙන් පාට ගන්වලයි තිබුණේ. ඇය පැළඳගෙන සිටි රත්‍රං බඩු දකින කොට භික්ෂුවට සිතුණේ, ඇය රත්‍රන් බඩු ප්‍රදර්ශනයක් පවත්වනවාද කියලා. බුදුරජාණන් වහන්සේ මාරයා වශයෙන් හැඳින්වූ මේ රූපය, පින්වත් ඔබ, දේවදූතයෙක් වශයෙන් ම දකිනවා. රුපියල් ලක්ෂ පනහකට වැඩි වටිනාකමැති රත්තරන් ආභරණ පැළඳගෙන සිටින පින්වත් කාන්තාවක් තම යෙහෙළියකට කියනවාලු, “විශාඛා උපාසිකාවත් මහාමේළ පළඳනාව පැළඳගෙනයි සිටියේ. එම නිසා බෞද්ධ කාන්තාවන් විශාඛා උපාසිකාව අනුගමනය කළ යුතුය” කියලා. අපේ කාමයේ සහ රූපයේ ආශ්වාදය නිසා ම, පූර්වාදර්ශයන් ජීවිත වලට එකතු කොට ගන්නේ වැරදි අන්තයන් තුළින් මයි.
විශාඛාව උතුම් සෝවාන් ඵල අවබෝධය ලබන්නේ, වයස අවුරදු හතේදී. ඇයට මහාමේළ පළඳනාව, දායාද වශයෙන් ලැබෙන්නේ ඇයගේ විවාහයෙන් පස්සේ. විශාඛා උපාසිකාව මහාමේළ පළඳනාව පරිහරණය කළේ උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් කාන්තාවක් හැටියට. විශාඛාව වයස අවුරුදු හතේදීත්. සාංසාරික පුහුණු, පුරුදු නිසා ම, කයෙන්, වචනයෙන්, සිතෙන්, බොහෝම සංවර දැරියක්. දැන් පින්වත් ඔබ සිතන්නකෝ, රූපයේ ආශ්වාදයෙන් මත්වී, කාමයේ ආශ්වාදයේ සිරකරුවෙක් වී, රත්තරන් පරිහරණය කරන, ඔබගේ ස්වභාවයත්, උතුම් සෝවාන්ඵලයට පත්වූ කාන්තාවකගේ, ශරීරය සැරසීමේ චේතනාවනුත් අතර තිබෙන ධර්මානුකූල පරතරය මොන තරම් ද කියලා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දැක්වෙන පෝෂණය ම, ආර්ය ශීලයෙන්, ආර්ය ශ්‍රද්ධාවෙන්, පෝෂණය වූ සෝවාන්ඵල අවබෝධය, සාක්ෂාත් කොට ගත්, විශාකා උපාසිකාව මහාමේළ පළඳනාව කෙරෙහි සක්කායදිට්ඨිය මරා දමලයි තිබුණේ. නමුත් අපි මොකක්ද කරන්නේ, රත්තරන් නිසා ම, සක්කායදිට්ඨිය ශක්තිමත් කොට ගන්නවා.
පින්වත් ඔබ විශාඛා උපාසිකාව පූර්වාදර්ශයට අරගෙන මුලින් ම සෝවාන් ඵලයට පත් වෙලා, දෙවනුව ඇති තරම් රත්තරන් පළඳින්න. සියල්ලටම පෙරාතුව ඔබ රත්තරන් දැම්මොත්, ඔබට රත්තරනුත්, සුගතියත්, උතුම් සෝවාන්ඵලයත් යන දෙකම අහිමි වෙලා, ලස්සන මාල ගිරවෙක් වෙලා, නැවත උපදින්න සිද්ධ වෙන්නත් පුළුවන් කියල හිතන්න. බුදුරජාණන් වහන්සේ පින්වත් කාන්තා පක්ෂය කෙරෙහි බොහෝම කරුණාවෙන් දේශනා කරනවා, කාන්තාව
රූපයෙන්,
සිනාවෙන්,
කතාවෙන්,
ගීතයෙන්,
හැඬීමෙන්,
ආකල්පයන් ගෙන්,
රසවත් ආහාරයන් ගෙන් සහ
පහසින්
යන අට ආකාරයෙන්, පුරුෂයාව බැඳ ගන්නවාය කියලා. බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොට ගැනීමට පෙරාතුව, සිදුහත් කුමාර අවධියේදීත්, කාන්තා පක්ෂයේ ඉහත ස්වභාවය දැනගෙන ඉඳලා තිබෙනවා. ඒ නිසා මයි, එදින උපත ලද රාහුල පුතා ගේ, ඇසුර වත් නොලබා ම, ගිහි ගෙදරින් නික්ම යන්නේ, යශෝධරාවගේ කතාවෙන්, සිනාවෙන්, සහ හැඬීමෙන් විය හැකි බන්ධනය ගැන සිතලාමයි. පින්වත් පිරිමි පක්ෂය ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ. ඔබ පින්වත් කාන්තාවකට බැඳී ගියා නම් බැඳී ගියේ ඉහත ධර්මතාවන්ට ම නේද කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත ධර්මයන්, පුරුෂ පක්ෂයට, අනතුරු අවම කොට ගැනීම උදෙසා, සතිය, සිහිය, ඇති කොට දෙන අතර, පින්වත් කාන්තා පක්ෂයට ද, තමන්ගේ සුන්දර ඇවැතුම් පැවතුම් සහ ආකල්පයන් තුළ සැඟවී ඇති, තමන්ගේත්, අනුන්ගේත්, විරාගයට අන්තරායකාරී, කුසල් ධර්මයන් මන්දගාමී කරන, අනතුරු පිළිබඳව සිහිපත් කොට දෙනවා.
පින්වත් ඔබ සිතුවත්, රටක් පාලනය කරන්නේ, රාජ්‍ය නායකයෙක්ය කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “රාජ්‍ය නායකයාවත් පාලනය කරන කුසල් ධර්මයෝ දෙදෙනෙක් මේ ලෝකය පාලනය කරනවා”ය කියලා. මේ ලෝකයම පාලනය කරන කුසල් ධර්මයන් දෙක නම්, ලැජ්ජාව සහ බයයි. එම කුසල් ධර්මයන් දෙක ලෝකය පාලනය නොකරන්නේ නම්, මනුෂ්‍ය සමාජයේ, අම්මලා කියලා, පුංචි අම්මලා කියලා, නැන්දා, දුව, මිණිපිරිය, බිරිඳ, සහෝදරිය කියලා, කාන්තාව ගැන තැකීමක් නැහැ. මනුෂ්‍ය සමාජය හරකුන්, බල්ලන්, ඌරන්, කුකුළන් මෙන් අසංවරව අශීලාචාරව හැසිරෙනවා”ය කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ලැජ්ජාව, බිය, නැමැති මේ ලෝක පාලක කුසල් ධර්මයන් දෙක කෙරෙහි මැනවින් සිහිය පිහිටුවා ගත් පින්වතා, බඹසර ඇති, වැඩුණු මනුෂ්‍ය ගුණ ධර්ම ඇති, උතුම් මනුෂ්‍යයෙක් බවටමයි පත් වෙන්නේ” කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත ධර්මයට අදාළව, අප ජීවත් වෙන සමාජය දෙස බැලීමේදී , අපව පාලනය කරන්නේ, අකුසලයට අදාළ, ලැජ්ජා නැති කමත්, බියෙන් තොර වංචාකාරී බවත් පමණක්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන්, මනුෂ්‍යයාගේ සළායතනයන් ගෙන් ගලා බසින, ලෝහ, ද්වේෂ, මෝහ, ධර්මයන් යනු සිතේ උපන් මළකඩයක්”ය කියලා. “සිතෙහි උපන් සතුරෙක්”ය කියලා, “සිතෙහි උපන් වසලයෙක්”ය කියලා. “සිතෙහි උපන් වධකයෙක්”ය කියලා, “සිතේ උපන් පස මිතුරෙක්”ය කියලා.
සමාජය තුළ දිනෙන් දින, තම බලය ශක්තිමත් කොට ගන්නා, සමාජය පාලනය කරන අකුසලයට අදාළ, ලැජ්ජා නැතිකම සහ බියෙන් තොර වංචාකාරී බව, අසත්පුරුෂ ආශ්‍රයෙත් අසද්ධර්මය ශ්‍රවණය කිරීමේත්, අනුවණින් මෙනෙහි කිරීමේත් ධර්මානුකූල ඵලයකි. ලැජ්ජාව, බිය කුසලයේ ඵලයක් වෙනවා සේම, ලැජ්ජා නැති කම අකුසලයේ ම ඵලයකි. මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්ය…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 14” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…