දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමතියි. භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මොහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා “අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා” කියල. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප්‍රකාශ කළේ, “එසේම වේවා මෑණියෝ” කියල. භික්‍ෂුව එහෙම ප්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි ඇති කොට ගත්තා වූ මෛත්‍රි චිත්තය එම වයෝවෘද්ධ අම්මාගේ ආයුෂය දීර්ඝ වීමට කුසල් ධර්මයක් වෙන නිසා මයි.
පින්වත් සත්පුරුෂ ඔබ, තවත් කෙනෙකුට ‘දීර්ඝායුෂ ලැබේවා’, කියල ආශීර්වාද කරන්න, ප්‍රාර්ථනා කරන්න, අකමැති වෙන්න ලැජ්ජා වෙන්න එපා. පින්වත් ඔබ තවත් කෙනෙකුට ප්‍රාර්ථනා කරන දීර්ඝායුෂය ඔබේ දීර්ඝායුෂය පිණිස මයි හේතු වෙන්නේ. පින්වත් ඔබට පුළුවන් නම් මේ මුළු රටේ ම ජනතාව, මේ මුළු ලෝකයේ ම ජනතාව එක මොහොතේ සිහියට නගා ගෙන, සියලුම ජනතාවට දීර්ඝායුෂ ලැබේවා කියල මෙත් සිතින් සිතන්න, එසේත් නැතිනම් දස දිශාවේ ම සත්ත්වයන් සිහියට නගා ගෙන සියලුම දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, සතර අපා සත්ත්වයන්ට දීර්ඝායුෂ ලැබේවා කියල මෙත් සිතින් සිතන්න, ඒ සෑම සිතුවිල්ලක් ම මෙත් සිතින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ පින්වතාට, දීර්ඝායුෂ පිණිස මයි හේතු වෙන්නේ.
අනුනට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට එම කුසල් සිතේ ශක්තියෙන් තමන්ට දීර්ඝායුෂ ලබන ධර්මයක් තමයි, මේ උතුම් සම්බුදු ධර්මය. භික්‍ෂුව මුණගැසෙන්නට පැමිණි මහත්මයෙක්, ප්‍රකාශ කළේ “මගේ අල්ලපු ගෙදර මනුස්සයාගේ මුහුණ දකිද්දී මට කේන්ති යනවාය” කියල. පවුලේ ඥාතීන් දකිද්දී, ආයතනයේ ප්‍රධානීන් දකිද්දී, තමන්ගේ ව්‍යාපාරික තරගකරුවා දකිද්දී, තමන්ට වඩා දක්‍ෂයන් දකිද්දී කේන්ති ගන්න පින්වතුන්ලා සමාජයේ අප්‍රමාණව සිටිනවා. මෙවැනි පින්වතුන් තමන් කෙරෙහි අනුකම්පාවෙන් තේරුම් ගන්න ඕනේ, අනුන් කෙරෙහි ඇති කොට ගත්තා වූ මේ කේන්තිය, තමාගේ ආයුෂය හීනවීම උදෙසා ම හේතු වෙනවාය කියල.
මහා සංඝරත්නය වන අපගේ ආයුෂය, වර්ණය, සැපය, භෝග සම්පත් සහ බලය වර්ධනය කොට දෙන ධර්මතාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ශක්තිය ජීවිත වලට එකතු කොට ගැනීමයි. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වන අපට දේශනා කොට තිබෙනවා, තම පියාණන්ගෙන් උරුම වූ හැසිරීමට අදාළව, අපිට හැසිරෙන්නය කියල. අපගේ පියාණන් වන බුදුරජාණන් වහන්සේ ගෙන් අපට ලැබුණු පිය උරුමයේ හැසිරීම වෙන්නේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව ජීවත් වීමයි. මහා සංඝරත්නය වන අපගේ ආයුෂය වැඩීම පිණිසත්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය වැඩීම පිණිසත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම ධර්මය වන්නේ ඡන්දය, චිත්තය, වීර්යය, විමමසා කියන සතර ඍද්ධිපාද ධර්මයනුයි.
මහා සංඝරත්නය වන අපි, කුසල් ධර්මයන් කෙරෙහි ඇති කොට ගන්නා ඡන්දය හෙවත් කැමැත්තත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ උජුපටිපන්න ගුණය කෙරෙහි ඇති කොට ගන්නා වූ වීර්යයත්, උතුම් ඤායපටිපන්න ගුණයෙන් පෝෂණය වුණා වූ විදර්ශනාමය චිත්තයත්, මේ සියලු ධර්මතාවන් අනිත්‍ය වූ ධර්මතාවයන් බව විනිවිද දකින විමංසාව කියන සතර ඍද්ධිපාද ධර්මයන් වඩන්නාගේ ආයුෂය දීර්ඝ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
උතුම් රහත්ඵල අවබෝධය නොලැබූ සෑම ගිහි, පැවිදි පින්වතෙක් ම සතර ඍද්ධිපාද ධර්මයන් වැඩීමේ දී කුසලයෙන් පෝෂණය වුණා වූ සංස්කාරයන්ගේ ශක්තිය ජීවිතයට එකතු කොට ගන්නවා. ගෞරවණීය සංඝ සමාජයේ අපි සිතෙන්, කයෙන්, වචනයෙන් කුසල් ධර්මයන් කෙරෙහි මයි කැමැත්ත ඇති කොට ගත යුත්තේ. අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ලෝභ සිත් ඇති කොට ගත යුතු නැහැ. මේ උතුම් පැවිදි ජීවිතය කෙරෙහි පැවිදි ජීවිතයේදී අපි ලැබූ අධ්‍යාපනය, පදවි, තනතුරු, සිව්පසය කෙරෙහි ලෝභ සිත් ඇති කොට ගත යුතු නැහැ. ඉහත සෑම ධර්මතාවයක්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්, විදර්ශනාවෙන් විනිවිද දකින්න. එවිට අපි තුළ වැඩෙන්නේ දීර්ඝායුෂයට අදාළ සතර ඍද්ධිපාද ධර්මයන් මයි.
අපගේ පින්වත් මාතෘ භූමියේ ජීවත්වෙන ජනතාවගේ ආයුෂය වේගයෙන් අඩුවෙන දිශාවටයි ගමන් කරන්නේ. ඒ වගේ මයි අඩු ආයුෂයෙන් මියයන ළමා, තරුණ, මධ්‍යම මරණ මාර්ග අනතුරු හේතුවෙන් වැඩි වෙලා තිබෙනවා. සමාජය ඉදිරියේ අභියෝගයක්ව මතුවෙන ආයුෂ හීන වීමට එකම ධර්මානුකූල විසඳුම වෙන්නේ සතර ඍද්ධිපාද ධර්මයන් වැඩීමට අනුබල දෙන සමාජයක් බිහි කිරීමයි. නමුත් වර්තමානයේ අපේ රටේ කුමක්ද සිද්ධ වෙන්නේ..? කුසල් ධර්මයන් සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයන් පෝෂණය නොකර, අකුසල් ධර්මයන් මිච්ඡා අෂ්ටාංගික මාර්ගයෙන්ම පෝෂණය කරනවා. එහි අවසාන ඵලය හැටියට සමාජ ගත වෙලා තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකමයි.
බරපතළ ආකාරයෙන් සමාජ ගත වී ඇති මේ දුක නිවන්න අලුත් රාජ්‍ය නායකයෙක් පත් කොට ගැනීමේ ලොකු සූදානමක් රට තුළ පෙළ ගැසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයෝ ධර්මයෝම වඩත් කියල. ඒ වගේමයි අධර්මයෝ අධර්මයෝ ම වඩත්ය කියල. පින්වත් ගෞරවණීය ඔබලාගේ කණ්ඩායමේ මැතිවරණ ක්‍රියාන්විතය ඉහත ධර්මයන් දෙකෙන් කුමකට ද අයිති වෙන්නේ කියල සත්පුරුෂ භාවයෙන් සිතා බලන්න ඕනේ. අධර්මයේ දුර්ගන්ධයෙන් අපවිත්‍ර වී යන මව්බිමට ධර්මයෝ ධර්මයෙන් ම වැඩෙන්න නම්, මේ උතුම් සතර ඍද්ධිපාද ධර්මයන් ගෙන් ජනතාවට පූර්වාදර්ශයක් දිය හැකි, රාජ්‍ය නායකයකු ගේ සම්ප්‍රාප්තිය රටට අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. වර්තමානයේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ, තවත් රාජ්‍ය නායකයෙක් පමණක් ම නොවේ. වර්තමානයේ රටට අවශ්‍ය මේ රටේ බෞද්ධ, ක්‍රිස්තියානි, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවට මාතෘත්වයෙන්, පීතෘත්වයෙන් තම යුතුකම් ඉටු කරන්න පුළුවන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්. ඒ අම්මා, තාත්තා තුළ මේ රටේ සෑම ජනවර්ගයක් කෙරෙහි ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගේ රැකවරණය තිබෙන්නට ඕනේ. මේ මව්බිමේ නිදහස බලවත් අනතුරකට පත්වී ඇති වර්තමානයේදී, ඉදිරියේ එළඹෙන රාජ්‍ය නායකයා තෝරන මැතිවරණය විවෘතව ම ඇත්ත සහ බොරුව අතර තරඟයක් වෙනවා ඒකාන්තය.
භික්‍ෂුව ඉහත කාරණය සටහන් තැබීමෙන් කිසිම පාර්ශ්වයක් භික්‍ෂුව සමග අමනාප නොවිය යුතුය. පින්වත් ඔබ කළ යුතුව ඇත්තේ, බොරුවෙන් බැහැර වී ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම පමණක් මය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “රජතුමාගේ මංගල හස්ති රාජයා සංග්‍රාම භූමියේදී සතුරන් සමග සටන් වදින්නේ, තම හොඬවැලේ ආරක්‍ෂාව උදෙසා හොඬවැලේ අග කොටස මුඛයේ දමා ගෙන ජීවිත ආශාව ඇතිවය” කියල. “නමුත් රජතුමාගේ මංගල හස්ති රාජයාට දැනුණොත්, සංග්‍රාම භූමියේදී තම පාර්ශ්වය පරාජය ලබනවා කියල, රජතුමාගේ මංගල හස්ති රාජයා තම ජීවිත ආශාව අතහැර හොඬවැල ම උපයෝගී කොට ගෙන යුද වදිනවාය” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් මව්බිම අසරණ කොට දැමීමට දර දිය ඇද්ද සියළුම ගෞරවණීය පින්වතුන්ලා, සත්‍යය ගරු කරන ජනතාව ඉදිරියේ පරාජයේ සෙවණැලි දැක, රජුගේ මංගල හස්තිරාජයා පරාජය ඉදිරියේ ජීවිත ආශාව අතහැර තම පාර්ශ්වයන් වෙනුවෙන් සටන් කරනවා වගේම, වැදගත් ගෞරවණීය මහත්මා මනුෂ්‍ය ජීවිතයක් සතු විය යුතු සියලුම මනුෂ්‍ය ධර්මයන්, ගුණධර්මයන්, සදාචාර ධර්මයන්, සත්‍යවාදී ගුණයන් කෙරෙහි ආශාව අතහැර හෙට දවසේ අකුසල් මූලයන් ඉදිරියේ අකුසලය උදෙසාම පෙළගැසෙනු ඇත.
පින්වත් ඔබලාගේ ආයුෂය දීර්ඝ කරන සතර ඍද්ධිපාද ධර්මයන් ගැන සටහන තබද්දී, ඉදිරි මැතිවරණ සූදානමට අදාළව ඉහත සටහන තැබුවේ, රටට අවංකව ම ආදරය කරන, සියලුම ගෞරවණීය රට වැසි පින්වතුන්ලාට, සමාජගත වෙන වංචාකාරී ධර්මයන් ඉදිරියේ පින්වත් ඔබලාගේ ආරක්‍ෂාව උදෙසා, සතර ඍද්ධිපාද ධර්මයන් ම ජීවිතයට එකතු කොට ගන්න කියන කාරණය මතක් කොට දෙන්නයි. මෙය සටහන් තබන භික්‍ෂුව කොහේ වැඩ සිටියත්, සෑම උදෑසනක ම, සෑම රාත්‍රියක ම බොරුව සහ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින සෑම පාර්ශ්වයක ම පින්වතුන්ලාට ම මෙත් සිතින් ආශීර්වාද කරනවා, “සියලුම සත්ත්වයෝ සුවපත් වේවා” ය කියල. භික්‍ෂුව බොරුව සහ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින දෙපාර්ශ්වයට ම සුවයක් වේවා යැයි කියල මෛත්‍රිය වඩන්නේ එම මෙත් සිතේ කුසල් බලයෙන් ඇත්ත ජය ගැනීම උදෙසා මයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “පංච උපාදානස්කන්ධ මාරයා සමග කටයුතු කිරීමේදී, ආවේගශීලී භාවයෙන් තොරව, සිහිනුවණින් කටයුතු කරන්නය” කියල. බොරුවට වෛර කරල කවදාකවත් සත්‍යය දිනන්න බැහැ. පින්වත් ඔබ බොරුවට වෛර කළොත්, ඔබත් බොරුවක් කරන කෙනෙක් බවටයි පත් වෙන්නේ. බොරුව කියන්නෙ, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ ම හේතුඵල ධර්මයක් ය කියල උපේක්‍ෂාවෙන් ම දකින්න අවශ්‍යයි…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…