දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. කුටිය ඉදිරිපිට ලෑලි බංකුවේ වාඩි වෙලා පරිසරය දෙස බලද්දී පොසොන් සඳඑළියෙන් පරිසරය හොඳටෝ ම ආලෝකවත් වෙලා. කුටිය ඉදිරිපිට වැලිමළුව මතට පතිත වී ඇති කොළ සහ අතු වල සෙවණැලි සුළෙඟ් රිද්මයට බොහෝම විරාගී නර්තනයක් ඉදිරිපත් කරනවා වගේ. ස්වාභාවික සතර මහා ධාතුවේ කිපීම් නිසා ප්‍රචණ්ඩ වන පරිසරය තවත් වරෙක පුංචි දරුවෙක් සේ අහිංසකයි. පරිසරයේ අහිංසක ආශ්වාදයත් පරිසරයේ ප්‍රචණ්ඩ ආදීනවයත් නුවණින් දකින භික්ෂුව ගේ ජීවිතය මේ මොහොතේ පරිසරයේ ම කොටසක් බවට පත් වෙලා.
භික්ෂුව මොහොතක් දෑස් පියාගෙන පටිච්ච සමුප්පන්න විඤ්ඤාණය බැහැර වූ භික්ෂුව ගේ රූපය බාහිර සතර මහා ධාතුව නමැති පරිසරයට ම මුහු කොට දකිනවා යම් දවසක යම් මොහොතක භික්ෂුව ගේ විඤ්ඤාණය බැහැර වූ ආධ්‍යාත්මික රූපය පරිසරයේ පසට ම එකතු වෙලා යාවි. පරිසරයේ ජලයට ම මුසු වෙලා යාවි. පරිසරයේ වාතයට ම, පරිසරයේ උණුසුමට ම භික්ෂුවගේ වායෝ ධාතුව, තේජෝ ධාතුව මුසු වෙලා යාවි. ජීවිත කාලය පුරාවට ම පින්වත් ඔබේ ආධ්‍යාත්මික රූපය ඔබ මගේ කොට ගෙන අග්‍රම දෙයින්, ප්‍රණීතම දෙයින්, ලස්සනම දෙයින් පෝෂණය කළත්, ඔබේ මරණයෙන් පසුව ඔබේ රූපය පරිසරය පෝෂණය කරනවා. පරිසරයේ ගහ කොළ සතා සිව්පාවා පෝෂණය කරනවා.
භික්ෂුව මේ මොහොතේ දෙපා තබා ගෙන සිටින මහපොළොවේ පස තුළින් භික්ෂුව අතීත සත්ත්වයන් දස දහස් ගණනක ගේ මස්, ඇටකටු, ලේ, කඳුළු දහදිය දකිනවා. භික්ෂුව මේ මොහාතේ ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය තුළින් අතීතයේ ජීවත් වූ සත්ත්වයන් දස දහස් ගණනක ගේ පරිසරයට මුහු වූ වායෝ ධාතුව දකිනවා. පින්වත් ඔබට පුළුවන් නම් දකින්න, ඔබගේ ඔය ආධ්‍යාත්මික රූපය ආහාරයෙන් හටගෙන, ආහාරයෙන් පෝෂණය වී, අවසානයේ පරිසරයේ පෝෂණයට ආහාරයක් වෙනවාය කියල. ඒ ධර්මානුකූල දැක්ම පින්වත් ඔබේ විදර්ශනා නුවණ වැඩුමට හොඳ ආහාරයක් වෙනවා.
පින්වත් මහත්මයෙක් භික්ෂුව ගෙන් විමසුවා, “ස්වාමින් වහන්සේ නිරෝධ සඤ්ඤාව වඩන්නේ කොහොමද” කියල නිරෝධ සඤ්ඤාව තුළ ජීවත් වෙනවාය කියල කියන්නෙ, නිරතුරුව ම නිවන අරමුණු කොට ගෙන නිවන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ බැස ගෙන ජීවත් වීමයි. නිරෝධ සඤ්ඤාව තුළ ජීවත් වෙන පින්වතා මුලින් ම, සක්කායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාසයන් ගේ නිරෝධය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වීර්යය ශක්තිමත් කොට ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයෙන් පෝෂණය වූ පටිච්ච සමුප්පාද ධර්මයන් තුළ බැස ගත් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකිමින් සක්කායදිට්ඨියේ නිරෝධය දෙසට ගමන් කරනවා. එම පින්වතා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ත්‍යාගානුස්සතිය, ශිලානුස්සතිය, දේවතානුස්සතිය වඩමින්, මේ ධර්මතාවන් ද විදර්ශනා නුවණින් දකිමින්, විචිකිච්ඡාවේ සහ අන්‍ය ශීල ව්‍රතයන්ගේ නිරෝධය දෙසට ගමන් කරනවා. නිරෝධ සඤ්ඤාව තුළ ජීවත් වන පින්වතා දෙවනුව, කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය උදෙසා තව දුරටත් පංචඋපාදානස්කන්ධ ධර්මයන් ගේ අනිත්‍ය භාවය නුවණින් දකිනවා. දුකේ නිරෝධය උදෙසා, තෘෂ්ණාවේ නිරෝධය අරමුණු කොට ගනිමින් එම පින්වතා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සතර සතිපට්ඨාන ධර්මයනුත්, සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් සප්ත බොජ්ඣංග ධර්මයනුත්, විදර්ශනාවෙන් දකිමින් පංචඋපාදානස්කන්ධයේ නිරෝධය උදෙසා නිරෝධ සඤ්ඤාව යොමු කොට ගන්නවා.
නිරෝධ සඤ්ඤාව වැඩීමේදී නිරතුරුව ම පින්වත් ඔබේ ඉලක්කය විය යුත්තේ තෘෂ්ණාවයි. පින්වත් ඔබ නිවැරැදි ඉලක්කය හඳුනා නොගත්තොත්, තෘෂ්ණාව විසින් ඔබව දුකේ ඉලක්කය බවට පත් කොට ගන්න පුළුවන්. පින්වත් ඔබ නිරෝධ සඤ්ඤාව පුහුණු කිරීමේදී නිරෝධ සඤ්ඤාව කෙරෙහි තෘෂ්ණාවත් බැහැර කරන්න ඕනේ. එසේ නොවුණොත් ඔබ නිරෝධ සඤ්ඤාවේ ආශ්වාදය විසින් කොටු කර ගන්නවා. මේ අනතුර තමයි සමාජය තුළ ඔඩු දුවා ඇති, “මම සක්කායදිට්ඨිය නිරෝධය කළා, මම කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය කළා”ය කියල සමාජය තුළ මතු වෙන මාර්ග ඵල උන්මාදය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට නිරෝධ සඤ්ඤාව වැඩීමට පෙර පූර්වකෘත්‍යයන් පහක් දේශනා කොට තිබෙනවා. නිරෝධ සඤ්ඤාව පින්වත් ඔබට ඉහත පූර්ව කෘත්‍යයන්ගෙන් තොරව වැඩෙන්නේ නැහැ. වැඩුණොත් වැඩෙන්නේ අන්තගාමී දෘෂ්ටිගාමී ලෙසයි. පින්වත් ඔබට නිරෝධ සඤ්ඤාව නිවැරැදිව පුහුණු කිරීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුළින් සම්මා සමාධිමත් සිතක් ඇති කොට ගන්න ඕනේ. එම සම්මා සමාධිමත් සිතෙන් පළමුව ඔබ අනිත්‍ය සඤ්ඤාව පුහුණු වෙන්න ඕනේ. දෙවැනිව ඔබ අනාත්ම සඤ්ඤාව පුහුණුවෙන්න ඕනේ. තෙවැනිව ඔබ අශුභ සඤ්ඤාව පුහුණු වෙන්න ඕනේ. හතරවැනිව ඔබ ආදීනව සඤ්ඤාව පුහුණු වෙන්න ඕනේ. පස්වැනිව ඔබ ප්‍රහාන සඤ්ඤාව පුහුණු වෙන්න ඕනේ. ඉන්පසුවයි පින්වත් ඔබ නිරෝධ සඤ්ඤාව අර්ථවත්ව වැඩීමට අවස්ථාව ලබා ගන්නේ.
පින්වත් ඔබට නිරෝධ සඤ්ඤාව වැඩීමට පෙරාතුව ජීවිතයට එකතු කොට ගත යුතු සඤ්ඤාවන් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන්ට අදාළව සටහන් තැබුවත් ඉහත සඤ්ඤාවන් පහ ම, කායානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන ධර්මතාවයන් දෙකෙන් පමණක් ම, ඔබේ ජීවිතයට එකතු කොට ගන්න පුළුවන් බව පින්වත් ඔබට කරුණාවෙන් සටහන් තබනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සඤ්ඤාව කියල දේශනා කරන්නේ, රූප, වේදනා, සඤ්ඤා සංස්කාර, විඤ්ඤාණ, ධර්මතාවයන්ගේ අනිත්‍ය භාවය දැකීමයි. බුදුරජාණන් වහන්සේ අනාත්ම සඤ්ඤාව කියල දේශනා කරන්නේ, ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ගේ අනාත්ම භාවයයි. බුදුරජාණන් වහන්සේ අශුභ සඤ්ඤාව කියල දේශනා කරන්නේ, ආධ්‍යාත්මික සහ බාහිර රූපයන් දෙතිස් කුණපයන් වශයෙන් දැකීමයි. බුදුරජාණන් වහන්සේ ආදීනව සඤ්ඤාව කියල දේශනා කරන්නේ, ඇසේ රෝග, කණේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, ශරීරයේ වා, පිත්, සෙම් රෝග ආදියයි. බුදුරජාණන් වහන්සේ ප්‍රහාණ සඤ්ඤාව කියල දේශනා කරන්නේ, පින්වත් ඔබ තුළ සකස් වෙන, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්කයන් බැහැර කිරීමයි.
ඉහත සඤ්ඤා පහ අර්ථවත්ව පින්වත් ඔබ තුළ වැඩුණොත් එහි ඵලය සුන්දර නිරෝධ සඤ්ඤාවයි කියල ධර්මයේ සඳහන් වෙනවා. නිරෝධ සඤ්ඤාව තුළ, දුකේ නිරෝධය උදෙසා, තෘෂ්ණාවේ නිරෝධය අරමුණු කොට ගනිමින්, අර්ථවත්ව මාර්ගය තුළ ගමන් කරන පින්වතා තුළ නිරෝධ සඤ්ඤාව ශක්තිමත්ව වැඩීමේදී නිරෝධ සඤ්ඤාවේ ඵලය හැටියට ඔහු තුළ වැඩෙන්නේ, “සබ්බලෝකො අනභිරත සඤ්ඤාව”යි. සබ්බලෝකො, සර්වලෝකයේ අනභිරත සංඤ්ඤාව වශයෙන් භික්ෂුව දකින්නේ, භවාත්‍රයේ නැවත උපතකට අදාළව, තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන කාම උපාදාන, දිට්ඨි උපාදාන, අන්‍ය ශීලව්‍රත උපාදාන ආදී නැවත භවයේ උපතකට හේතු වන, උපාදානයන්ගෙන් මිදී, කාම භවය, රූපී භවය සහ අරුපී භවය කියන භවාත්‍රය, කෙරෙහි තෘෂ්ණාව බැහැර කරමින් ජීවත් වීමයි. උපාදානයේ කෙටි ආශ්වාදයන්, උපාදානයේ දීර්ඝ ආදීනවයන් දකිමින් උපාදානයේ නිස්සරණය හෙවත් තෘෂ්ණාවේ නිරෝධය දකිමින් ජීවත් වෙනවා.
සබ්බලෝකො අනභිරත සඤ්ඤාව පින්වත් ඔබ තුළ ධර්මානුකූලව වැඩුණ කල මීළඟට ඔබ තුළ හේතුඵල ධර්මයන්ට අදාළව වැඩෙන්නේ සියලූ සංස්කාරයන්ගේ අනිත්‍ය සඤ්ඤාවයි. අපි රැස් කරන කුසල් වේවා, අකුසල් වේවා, පින් වේවා, පව් වේවා, සුගතියට අදාළ වේවා, දුගතියට අදාළ වේවා, සම්මා දිට්ඨියට අදාළ වේවා, මිථ්‍යා දෘෂ්ටියට අදාළව වේවා සෑම සංස්කාරයක් ම විපාකදී අනිත්‍ය වන බව නුවණින් දකිනවා. සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන සතර අපායේ දුක්ඛිත උපත නිසා ඔහු ගැටෙන්නේ නැහැ. ඒ වගේ මයි. ඔහු දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය සුන්දර සැපයන් උදෙසා ඇලෙන්නේ නැහැ. මේ සෑම සංස්කාරයන් ගේ ම අනිත්‍ය සඤ්ඤාව නුවණින් දකිමින් ඔහු ජීවත්වෙනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය ධර්මානුකූලව අවබෝධ කොට ගත් උත්තමයා, තමන් පිරිනිවෙන මොහොතේ තමා තුළ පටිච්ච සමුප්පන්නව ක්‍රියාත්මක වුණ විඤ්ඤාණයට, සංස්කාර නමැති ආහාර නොමැති නිසා ම පිරිනිවී යන මොහොත් තමා තුළින් ම නිවී යනවා.
භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මහත්මයෙක් බොහෝම තැති ගත් ස්වරූපයෙන් භික්ෂුවගෙන් විමසුවා, කැලයේ තනිව ම ජීවත් වෙනකොට බියක් නැතිද කියල. “යම් භික්ෂුවක් තුළ අපිරිසිදු කාය කර්මයන් ඇති නම්, අපිරිසිදු ආජීවයන් ඇති නම්, විෂම ලෝභය සහ කාමයන්හි තියුණු රාගය ඇති නම්, පංචනීවරණ බහුල නම්, තමන් උසස් කොට අනුන් පහත් කොට සිතයි නම්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, බලාපොරොත්තු වේ නම්, කායික මානසික විර්යය නැති නම්, නුවණ නැති බව, කෙළතොලූ බව ඇත්නම්, ඒකාන්තයෙන් ම එවැනි භික්ෂුවකට වනවාසී ජීවිතයේදී, බිහිසුණු තැති ගැනීම් සහ බිහිසුණු අරමුණු මතුවී වනයේ ඇලීම දුෂ්කර වන බව” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වන අපට දේශනා කරනවා, “යම් ඉරියව්වකින් වැඩ සිටියදී යම් බියක්, තැති ගැනීමක්, ඇති වුණොත් එම ඉරියව්වේ සිටිමින් ම එම බිය දුරුකරගන්න”ය කියල. ගිහි පින්වත් ඔබ රාත්‍රි නින්දේදී හෝ අඩ නින්දේදී යම් තැති ගැනීමක්, බිය වීමක්, ඇති වූවා නම් එම ඉරියව්වේ සිටිමින් ම එම බිය ජනක සිත, සැකය, විචිකිච්ඡාව පහව යනතෙක්ම ලිහා බලන්න. මේ ඇසුණ ශබ්දය සතෙකුගේ ශබ්දයක් ද, මේ වැටුණ සෙවණැල්ල ගසක අත්තක සෙවණැල්ලක් ද, මේ දැක්ක රූපය මනෝ විකාරයක් ද, පින්වත් ඔබ බිය ඇති වූ ඉරියව්වේ සිටිමින්ම එම බිය ඵස්සය හේතුවෙන් සකස් වුණ ගැටීමක් බව දකිමින් එම බිය ජනක සිතුවිල්ලේ අනිත්‍ය භාවය දකින්න. පින්වත් ඔබගේ සිත තුළ තවමත් සැකය මතු වෙනවා නම් කරුණාකර බුද්ධානුස්සතිය, මෛත්‍රි චිත්තය උපයෝගි කොට ගෙන සකස් වූ එම බිය ජනක සිත එම ඉරිව්වේ දී ම දුරු කොට ගන්න.
පින්වත් ඔබ රාත්‍රියේ හෝ දහවල ඇති වෙන බිය ජනක හැඟීම් සහ සිහින මොන ම හේතුවක් නිසා වත් පසුදා උදෑසනට අර ගෙන එන්න එපා. පින්වත් ඔබ රාත්‍රියේදී සහ දහවලදී දකින සිහින සහ අමනුෂ්‍ය රූප සහ දර්ශන ආශ්වාදයෙන් හෝ බියෙන් ගැනීම සුදුසු නැහැ. සමහරක් පින්වතුන් තමන් දකින සිහින ආශ්වාදයක් කොට ගන්නවා. එම සිහින මගේ කොට ගන්නවා. එම සිහින තුළ මම සිටිනවාය කියල දකිනවා. එම සිහින තුළ මගේ සෞභාග්‍යය හෝ විනාශය තිබෙනවාය කියල දකිනවා ඒ නිසා ම මෝහය කරපින්නා ගෙන සිහින ඵලාපලත් සොයනවා. සිහිනයක් යනු, හුදු ඵස්සය හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ මනෝ විඤ්ඤාණයක් යැයි නුවණින් දකින්නේ නැහැ. වයෝවෘද්ධ වැඩි හිටි පින්වතුන්ලාට රාත්‍රි අඩ නින්දේදී හෝ තද නින්දේදීත් මියගිය ඤාතීන් එසේත් නැති නම් අමනුෂ්‍ය රූප පෙනෙනවා නම්, එය ඉතාමත් අනතුරු දායක වෙන්න පුළුවන්. පින්වත් ඔබේ සමාධිමත් සිත දුර්වල වී සිත විසිරෙන්න පුළුවන්. එම විසිරුණු සිත ඔබ සිදු කොට ගත් අතීත පින්කම්, කුසල් ධර්මයන් අමතක කොට දමන්න පුළුවන්. මේ සියලු හේතූන් නිසා පින්වත් ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය දුර්වල වෙන්න පුළුවන්.
වයසක අම්මා කෙනෙක් බොහෝම විසිරුණු සිතකින් භික්ෂුවට දැනුම් දුන්නේ “මම නිදාගන්න යනකොට එක පේළියට කාන්තා අමනුෂ්‍ය රූප පෙනෙනවා”ය කියල. “පින්වත් මෑණියනි, කරුණාකරල නිදි යහනේදී බුද්ධානුස්සතිය කෙරෙහි, මෛත්‍රි චිත්තය කෙරෙහි, අනිත්‍ය සඤ්ඤාව කෙරෙහි සතිය සිහිය ඇති කොට ගන්න. “භික්ෂුව ලිපියේ මැද කොටසේ සටහන් කොට ඇති බිය ඇතිවීමට හේතු වන කාරණාවන් ගෙන් කරුණාකර මිදෙන්න. පින්වතුන්ලාට රාත්‍රි නින්දේදී හෝ ඕනෑම මොහොතක, කුමන හේතුවක් නිසා හෝ බියවීමක් තැති ගැනීමක් ඇති වුණොත්, ඒ මොහොතේම එම තැති ගැනීම ධර්මානුකූලව සිහි නුවණින් විසඳා ගන්න. එම ඉරියව්වේ දී ම එම තැති ගැනීම පහකොට ගන්න. සිහින සමග අමනුෂ්‍යයෝ සමග ජීවත් වෙන්න එපා. සිහින සහ අමනුෂ්‍යයන් සමග ජීවත් වෙන පින්වතා. මේ උතුම් බුද්ධෝත්පාද කාලයක ලැබූ මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය සිහිනයක් බවටම පත් කොට ගන්නවා…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…