තෘෂ්ණාවෙන් පෝෂණය වන විඤ්ඤාණය නමැති මායාකරුවා.

පිංවත, ඔබ කාට කොතරම් ආදරය කළත්, ආදරය කියන වචනයේ අර්ථය තෘෂ්ණාවම නේද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවට ලස්සන, සිනිඳු, මටසිළිටු මෝහයේ ඇඳුම් අන්දවලා, මම ය, මගේ මය, මගේ ආත්මය මය යැයි කියන සක්කාය දිට්ඨියම සෙනෙහසින් අත්පැන් වත් කරලා, දුකට එකම හේතුව වන තෘෂ්ණාවට අපි ආදරය යැයි කියනවා. ආදරය කියන ආදරණීය වචනයට සැඟවිලා, තෘෂ්ණාවෙන්ම පෝෂණය වෙන විඤ්ඤාණය නමැති මායාකරුවා ආදරයේ නාමයෙන් සත්ත්වයාට අයිතිකොටදෙන දුක දකින්න නම්, ඇත්තටම ඔබ ආදරය කරන්නම ඕනේ. ඇත්තටම ආදරය කරනවාය කියලා කියන්නේ, ආදරයට තෘෂ්ණාව වැඩියෙන් ආයෝජනය කරනවාය කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අතීත සංසාරයක් පුරාවට ආදරයේ නාමයෙන් අපි හෙලූ කඳුළු මහ සාගරයේ ජලයට වඩා වැඩිය කියලා. පේනවා නේද ආදරයේ ආශ්වාදය අපිට උරුමකොට දුන්න ආදීනවයන්ගේ තරම.

පිංවත, ආදරයේ නාමයෙන් සංසාරයක් පුරාවට මෙතරම් කඳුළු හෙලූ ඔබ, කවදා ද ඔබගේ ඔය ආදරය, ආදරයේම නිරෝධය උදෙසා මෙහෙයවන්නේ? හැමෝටම හොරා ඔබ, ඔබේම හෘද සාක්ෂියට තට්ටුකොට අහන්න, ඔබට ඔබෙන් පිළිතුරක් ලැබෙන්නේ නැහැ නේද? අපි දුක උපද්දවන තෘෂ්ණාවට මොනතරම් කැමති ද? ආදරයේ නාමයෙන් වර්තමානයේ ඔබ ලබන ඔය සතුට අවසානයේ උරුමකොට දෙන්නේ කඳුළක් නම්, ආදරයේ නාමයෙන් ඔබ ලබන සතුට ඉදිරියේ උපේක්ෂා සහගත වෙන්න. ආදරය දෙස උපේක්ෂාවෙන් දකිද්දී, පිංවත් ඔබට පෙනෙන්නේ ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවයමයි. ඵස්සයට හේතුවෙන අධ්‍යාත්මික සහ බාහිර රූපයන් වෙනස් වෙලා යද්දී, විඳීම් වෙනස් වෙලා යනවා. හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් වෙනස් වෙලා යනවා. මේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා යන්නේ තෘෂ්ණාවේ කිරිමවු වන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය තුළ, ආදරය පිළිබඳ දැනීම් මොනවට පෝෂණය කරලා, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට ආදරය කියන්නේ ප්‍රණීත ආහාරයක්. දෙහදක් බැඳුණ එක ආදරයක් පරම්පරා දසදහස් ගණනක් පංච උපාදානස්කන්ධ ලෝකය සරුසාරකොට දෙනවා. පිංවත, මායාවට ආදරය කරන්න එපා. පිංවත මායාවට වෛර කරන්නත් එපා. මායාව, මායාවක්ම කොට දකින්න. ඔබගේ ආදරයට භවයේ තවත් මඟුල් පෝරු හදන්න දෙන්න එපා. ඔබේ ආදරය, ආදරයේ නිරෝධය උදෙසාම දෑඟිලි බැඳුන මංගල්‍යයක්ම කොටගන්න. පිංවත් ඔබ විවේකීව සිටින විට ඔබේ ආදරය ආශ්වාදය තුළ නොව, සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. ඔබට නොපෙනුනාට පටිච්චසමුප්පන්න කඳුළු සාගරයක් ඔය ආදරය පසුපස තිබෙනවා. පිංවත ඔය සෙනෙහසින් පෙම්බස් දොඩන්නේ ඔහු හෝ ඇය නොව, රූපය කෙරෙහි විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් කෙරෙහි තෘෂ්ණාවයි. මෙහෙම සටහන් තබද්දී, ආදරයට ප්‍රිය ඔබේ සිත රිදුණොත් භික්ෂුවට සමාවෙන්න ඕනේ. අවිද්‍යාවේ යකඩින් හැදුන තෘෂ්ණාවේ ඝනත්වය, භික්ෂුව අතීත අත්දැකීම් තුළින්ම මොනවාට හඳුනනවා.

තෘෂ්ණාවෙන් තොර ආදරයක් මේ ලෝක ධාතුව තුළ තිබෙනවා. තෘෂ්ණාවෙන් තොර ආදරයේ ශාස්තෘන් වහන්සේ වෙන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේමයි. අපි කවදාකහරි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කොටගත් තැනදි, තෘෂ්ණාවෙන් තොර ආදරය අපි තුළ උපදිනවා. එදාට අපි තුළ ආදරය තිබුණත් තෘෂ්ණාව නැහැ. මේ ලෝක ධාතුවේ පහළවෙන ඒ උත්තරීතර ආදරයේ උරුමයට අපි උතුම් රහතන් වහන්සේ යැයි ගෞරවයෙන් කියනවා. ආදරය යැයි හඳුන්වන තම තෘෂ්ණාවේ කඳුළු නිවා දැමූ උන්වහන්සේලා නැවත කවදාකවත් අදාරයේ නාමයෙන් තවත් ජීවිතයකට කඳුළක් දෙන්නේ නැහැ. අතීතයේ වැඩ සිටියා වූ ඒ උතුම් රහතන් වහන්සේලාමයි මේ ලෝක ධාතුවේ ආදරයේ නාමයෙන් නැවත තව කෙනෙකුට කඳුළක්, දුකක් නොදෙන නික්ලේෂී උත්තරීතර ආදරයේ උරුමය ලබන්නේ. ඒ උත්තමයින් වහන්සේලා අතීතයේ පිරිනිවී ගියා. අපි තවමත් ආදරය යැයි කිය කියා තෘෂ්ණාවටම ආදරය කරනවා. පිංවත, උත්තරීතර ආදරවන්තයෙක් වීමේ මාර්ගය විවෘතව ඒහිපස්සිකව තිබෙනවා. කලබල නොවී මධ්‍යස්ථ වීර්යයෙන් අප්‍රමාදී වෙන්න. ආදරයේ නාමයෙන් පිංවත් ඔබත් මමත් හෙලූ අතීත කඳුළු සාගරය, මහ පොළොවෙන් හතරෙන් තුනක්ම වසාගෙන තිබෙනවා. ඒ මහා සාගරයේ ජීවත්වෙන එක මාළුවෙක් පටිච්චසමුප්පන්නව අතීතයේ භික්ෂුවගේ පෙම්වතා, පෙම්වතිය වෙච්ච වෙලාවේ මොනතරම් ආදරයේ නාමයෙන් මම කඳුළු හෙළන්නට ඇති ද? පිංවත, සත්‍යකින්ම ආදරය හේතුවෙන් භික්ෂුව පටිච්චසමුප්පන්නව මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙළා තිබෙනවා. භවාත්‍රයේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සතර අපා සෑම සත්ත්වයෙක්ම පටිච්චසමුප්පන්නව භික්ෂුවට පෙම්වතෙක් හෝ පෙම්වතියක් වෙලා තිබෙනවා, ඥාතිත්වයේ ආදරයෙන් බැඳී තිබෙනවා.

පිංවත, ඔබ කැමති ද ඔබ අත්විඳින ආදරය සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න. තවත් ප්‍රමාද වෙන්න එපා, ශීලය දුර්වලවෙනකොට, රාගය විසින් අහිංසක ආදරය ඩැහැ ගන්නවා. එවිට ආදරයේ නාමයෙන් ඔබට ඉතිරි වෙන්නේ වෛරය, පළිගැනීම පමණක්මයි. එදාට මනුෂ්‍ය සංඥාවන්ගෙන් බැහැරට යන මනුෂ්‍යයෝ මෘග සංඥාවන්, කාම පිපාසාවන්ගෙන් වැළඳ ගන්නවා. ශීලයේ සෙනෙහසින් පෝෂණය වෙන වර්තමාන ආදරය අනාගතයේ දුශිල්වත්භාවයේ නොසෑහීමෙන් පෝෂණය වෙන රාගයක් බවට පත්වී, පිංවත් මනුෂ්‍ය අධ්‍යාත්මය, තිරිසන් අධ්‍යාත්මයක් බවටම පත් වෙනවා.

පංච උපාදානස්කන්ධ ලෝකය තෘෂ්ණාවේ වියරුවක් වුණත්, ලෝකය මේ ඉදිරියට යන්නේ සංස්කාර විසින් මෙහෙයවන ඉරණම් ගමනක්. ඒ ඉරණම් ගමන දෙස සතුටින් හෝ දුකෙන් බලන්න එපා. එවිට ඔබත් ඒ ගමනේ කොටස්කරුවෙක් වෙනවා. හේතුඵල ධර්මයන් සිහි නුවණින් මතුකොට දකින “උපේක්ෂාවයි”, මේ මොහොතේ ඔබේ සැබෑම ආදරවන්තයා විය යුත්තේ. සත්‍යකින්ම ඒ සැබෑම ආදරවන්තයා ඔබ ළඟ ඉන්නවා ද? කරුණාකර ඵස්සයේ දොර විවෘත කරලා ඔහුව ළඟට ගන්න. දැන් ඔබට පුළුවන් නොඇලෙන, නොගැටෙන සිතින් ආදරය සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකින්න.

පිංවත, මොහොතක් දෑස් ලිපියෙන් ඉවතට ගෙන සිහිනුවණින් දකින්න. ආදරයට මුල් වුණා වූ ඔබේ අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් නිත්‍ය, සුභ, ආත්මීය සංඥාවන්ගෙන් නොගෙන කායානුපස්සනාව තුළ විසිරුවා දකින්න. දෙතිස් කුණපයක, සතර මහා ධාතුවක, මරණානුස්සතියක, ඇට සැකිල්ලක, අනිත්‍ය වූ ඉරියව් පවත්වන ශරීරයක ඇත්ත ඇති සැටියෙන් දකින්න. රූපයේ ඇත්ත ඔබෙන් වසන් වසන් කරන තෘෂ්ණාවේ ආදරය සමග ඔබ ගැටෙන්න එපා. දැන් ඔබේ ආදරවන්තයා ධර්මයේ උපේක්ෂාවයි. පිංවත් ඔබ කායානුපස්සනාව වඩද්දී ඔබ තුළ රූපය කෙරෙහි කළකිරීමක් ඇති වුණොත්, එම කළකිරීමට ඇලෙන්න හෝ ගැටෙන්න එපා. කළකිරීමට ඇලෙන්නා හෝ ගැටෙන්නා උතුම් ධම්මානුපස්සනාවට අකීකරු වුණා වෙනවා. පිංවත් ඔබ වඩන කායානුපස්සනාව උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයෙන් බැහැර වුණා වෙනවා. ඔබ පුහුණු කරන කායානුපස්සනාව තුළ නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය පෝෂණය වෙන්න ඕනේ. මෙය සටහන් තබන භික්ෂුව, ඇසෙන් රූපයක් දැක්කොත්, ධම්මානුපස්සනාව තුළිනුයි කායානුපස්සනාව මතුකොට ගන්නේ. උතුම් ධම්මානුපස්සනාව සෑම නිමේෂයකදීම පටිච්චසමුප්පාද ධර්මයන්ගෙන් අපිව පෝෂණය කරනවා. ඔබේ රූපය අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ සංස්කාර වශයෙන් දැක්කත්, නාමරූප හේතුවෙන් සකස් වුණ සළායතනයන් වශයෙන් දැක්කත්, භවය හේතුවෙන් සකස්වුණ උපතක් ලෙස දැක්කත් ඒ ඔබ දකින්නේ උතුම් ධම්මානුපස්සනාවමයි. පිංවත, ඔබ සෙනෙහසින් ආදරය කරන ඔහු හෝ ඇය, ඔහු හෝ ඇය වශයෙන් නොදැක, පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් දකින්න. පිංවත් ඔබේ දැක්ම පිරිසිදු වෙන්න ඕනේ විදර්ශනාත්මක ධර්මයන් වැඩෙන්න. දැක්ම පිරිසිදු නොවී විදර්ශනාත්මක ධර්මයන් වැඩුණොත්, විදර්ශනාවේ ආශ්වාදය ඔබව නියත වශයෙන්ම කොටුකර ගන්නවා.

භාවනා කරන මහත්මයෙක් වරක් භික්ෂුවට කිව්වා, තමන්ගේ නෝනා දැන් තමන්ට කමටහනක්ය කියලා. අදාළ නෝනා භික්ෂුවට කියනවා, මගේ මහත්තයා දැන් මට එපා වෙලාය කියලා. අවංකවම මේ ජීවිතවල භාවනාව තබා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියවත් නැහැ. සංස්කාරයන් මත ලෝකය නොදකින, ආත්මීය දෘෂ්ටියෙන් පෝෂණය වූ භාවනාවේ ආශ්වාදය ලස්සන පවුල් ජීවිතත් අවුල් කරනවා. පිංවත, නිහතමානී වෙන්න. බුදුරජාණන් වහන්සේයි අපිට පාර කියන්නේ. විශ්වාසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ පෙරට එන්න. ඔබ තබන සෑම පියවරකදීම සප්ත බොජ්ඣඬ්ඟයෝ උපදීවි.

පිංවත, ඔබේ ආදරය සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, ධර්මයක්මයි ඔබ තුළ වැඩෙන්න ඕනේ. අධර්මයක් නම් නොවේ. පංච නීවරණ අධර්මයෝ විදර්ශනාවේ සතුරෙක්මයි. ආදරය නාමයෙන් අතීතයේ සහ වර්තමානයේ ඔබ තුළ සකස් වුණා වූ සෑම විඳීමක්ම තවත් විඳීමක් බවට පත්කොට ගන්න එපා. පිංවත් ඔබ දෑස් පියාගෙන ඒ අත්විඳි සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක්ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. අවශ්‍යම නම් අතීතයේ මධුසමයේ මධුසයනය සිහියට නගා ගන්න. ඒ අතීත වේදනාවෝ වෙනස් වෙලා ගියේ මායාවක් වගේම නේද? පිංවත, මැරෙන විඳීම් වලින් වේදනානුපස්සනාවට පණ දෙන්න. මතකය පමණක් ඉතිරි කරලා විඳීම මැරිලා යන වේදනාවෝ අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ විඳීමක්ම බව සිහි නුවණින් දකින්න. පිංවත් ඔබට මතක ද ඔහු හෝ ඇය සෙනෙහසින් ‘මම ඔයාට ආදරෙයි’ කියලා කියාපු ආදරයේ මුල්ම සිතුවිල්ල. එදා මෙදාතුර ආදරයේ නාමයෙන් සකස්වුණ සෑම සිතුවිල්ලක්ම සිදුරක් සහිත භාජනයකට දැමූ වතුරක්ම නේද? පිංවත, ආදරයේ නාමයෙන් සකස් වූ සෑම අතීත සිතුවිල්ලක්ම අනිත්‍ය වී ගිය හිස් මායාවක්ම බව නුවණින් දකිමින්, මැරුණ අතීත සිතුවිලි තුළින් තුළින් අද උපදින චිත්තානුපස්සනාවට පණ දෙන්න. පිංවත් ඔබ තුළ ආදරය විනිවිද දැකීමෙන් මෝදුවුණ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව උතුම් ධම්මානුපස්සනාවෙන්ම දකිමින් සැබෑම ආදරවන්තයෙක්, ආදරවන්තියක් ලෙස සිහි නුවණින් දැන් නින්දට යන්න. හෙට උදෑසන පටන් ඔබේ බිරිඳට, ස්වාමිපුරුෂයාට ඔබේ යුතුකම් අකුරට ඉටු කරන්න. ඔබේ භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන භාවනාවක් බවටම පත්කොට ගන්න.