පින්වත, බුදු දහම යැයි කියන්නේ තම ගිහි ජීවිතයේ දී මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කොට ගත් අංගුලිමාල, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පිහිටෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් දහමක්. පින්වත, බුදු දහම යැයි කියන්නේ මරණීය දණ්ඩනයට නියම වෙලා එල්ලුම් ගහට යන අසරණ සිරකරුවාටත් මහා සංඝ රත්නය වැඩම කරලා සද්ධර්මය දේශනා කරන දහමක්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවත් සිර ගෙවල්වලට වැඩම කරලා සිරගතව සිටින පින්වතුන්ලාට සද්ධර්මය දේශනා කරලා තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිරකරුවෙක්ව, මිනීමරුවෙක්, මංකොල්ලකරුවෙක්, සොරෙක් හැටියට දකින්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිරකරුවෙක්ව දකින්නේ අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්මය ශ්‍රවණය, අනුවණින් මෙනෙහි කිරීමේ හේතුඵල ධර්මයෝ හැටියට මයි. පින්වත, එහෙම දකිද්දී, පුද්ගල සඤ්ඤාවෝ බැහැර වෙනවා. පින්වත, එවිට සිරකරුවා තුළිනුත් ධර්මයක් මයි ශ්‍රාවකයා දකින්නේ. පින්වත, පසුගිය දවසක යම් පින්වතියක් චෝදනාවක් කරලා තිබුණා, “මහා සංඝ රත්නය මිනීමරුවන්ට බෝධි පූජා තියනවා” ය කියලා. පින්වත, මෙවැනි චෝදනාවන් තුළින් ගම්‍ය වන්නේ චෝදනාවන් කරන පින්වතුන්ලාගේ ආත්මීය දෘෂ්ටියේ දැඩිභාවය මයි. පින්වත, මෙවැනි චෝදනාවන් තුළිනුත් අපි ධර්මයක් මයි දැකිය යුත්තේ. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “අපි කෙනෙක්ගේ වරදක් දැකිය යුත්තේ, ඔහුගෙන් පළිගැනීමට නොවේ, වරදකරුවා වරදින් මුදවා ගැනීම උදෙසා මයි” කියලා. පින්වත, පළිගැනීමේ චේතනාවෝ සමාජ අසමගියේ ගිනිපුපුරු වෙන්න පුළුවන්. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොදත් පින්වතා එක ප්‍රශ්නයක් විසඳන්නේ, ප්‍රශ්න ගණනාවකට මුල පුරමින් මයි.
පින්වත, සංස්කාර ලෝකය හරියට වීදුරු බඩුවක් වගේ මයි. පින්වත, කොයි මොහොතේ කැඩෙයි ද, බිඳෙයි ද, විසිරෙයි ද කියලා කියන්න බැහැ. පින්වත, මීට මාසයකට පෙරාතුව යතුරුපැදි අනතුරකින් මිය ගිය තම තරුණ පුතාට පින් අනුමෝදන් කරන්න අම්මා කෙනෙක් පිණ්ඩපාත මඩුවට පැමිණියා. පින්වත, ඇයගේ දෑස්වල කඳුළු පිරිලා. පින්වත, එම කඳුළුවලට වග කියන්න ඕනේ, ඇයගේ ම අකුසල් සංස්කාරයෝයි. පින්වත, තාරුණ්‍යයේ ආස්වාදය අහිංසක දෙමාපියන්ගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ්‍රහ්ම ගුණයන් හඳුනන්නේ නැහැ. පින්වත, එම දුර්වලතාවය අතීතයට එක් වූ භික්ෂුවගේ තාරුණ්‍යයටත් පොදු ධර්මතාවයක් වෙනවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වෙද්දී, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ අපේ කල්‍යාණ මිත්‍රයන් වෙනවා. පින්වත, එවිට අපි හොඳ සහ නරක ගැන අහන්නේ, අපේ ම ආස්වාදනීය විඳීම්වලින් මයි. පින්වත, ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මනසින් සංස්කාර ගොදුරු සොයන ‘තෘෂ්ණාවේ මාර සේනාවෝ’ ඉදිරියේ කෙසේ නම් අපි, සැබෑ කල්‍යාණ මිත්‍රයන් සහ කල්‍යාණ ධර්මයන් හඳුනා ගන්න ද? පින්වත, තරුණ දරුවෙක් අකාලයේ මිය ගියාට පස්සේ මහා සංඝ රත්නය සොයාගෙන පැමිණීම නොවේ ඔබ කළ යුත්තේ. එම පින්වත් දරුවා ජීවතුන් අතර සිටිය දී උතුම් තෙරුවන්ගේ ඇසුරට යොමු කිරීමයි ඔබ කළ යුතුව තිබුණේ. පින්වත, ඉහත කාරණයේ දී ආදරණීය දෙමාපියන් තම දරුවන්ට සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. පින්වත, දෙමාපියන් බයයි දරුවා පැවිදි වෙයි කියලා. දරුවා පිනට යොමු වුණොත් අධ්‍යාපනය දුර්වල කොට ගනීවි කියලා. පින්වත් දෙමාපියනි, ඔබලාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ්‍රහ්ම ගුණයන් කරුණාකර සැබෑ කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් සහ කල්‍යාණ ධර්මයන්ගෙන් පෝෂණය කොට ගන්න. පින්වත, මාර සේනාවෝ සංස්කාර ගොදුරු බිමේ ඇලීම් සහ ගැටීම්වලින් ආවේගශීලීවයි හැසිරෙන්නේ.
පින්වත, අපිට සිටින්නේ හරිම පුණ්‍යවන්ත ළමා සහ තරුණ දරු පිරිසක්. පින්වත, පසුගිය දවසක පාසල් දරුවන් උදෙසා දුරබැහැර ප්‍රදේශයක ශීල ව්‍යාපාරයක් පැවතියා. පින්වත, ලොකු කුඩා දරුවන් දෙදහසක් පමණ ඊට සම්බන්ධ වෙලා සිටියා. පින්වත, භික්ෂුව එම දරුවන්ට සමථ සහ විදර්ශනා භාවනාවෝ කියලා දෙද්දී, ඉතාමත් සන්සුන්ව භාවනාවේ යෙදී සිටියා. පින්වත, භාවනා කරන මොහොතේ පමණක් දරුවන්ගේ ඉන්ද්‍රිය සංවරය හරිම ප්‍රණීතයි. පින්වත, විභාග දහයක් සමත් වුණාට වඩා වැඩි වටිනාකමක් භික්ෂුව එම මොහොතේ දරුවන් තුළින් දකිනවා. පින්වත, පින්වත් දරුවන් භාවනාව තුළින් ලබා ගන්නා ඉන්ද්‍රිය සංවරභාවය අනාගත සියලු විභාග කඩඉම් ජය ගැනීමට අයෝමය ශක්තියක් වෙනවා. පින්වත, ළමා සහ තරුණ දරුවන් සමථ විදර්ශනා භාවනාවන්ට දිනකට පැය භාගයක්වත් යොමු කිරීම තුළින් දරුවන්ගේ ජීවිත තුළ පටිච්චසමුප්පන්නව යටපත් වී තිබෙන අධ්‍යාපනයට අදාළ කුසල් සංස්කාරයෝ මතු වෙලා එනවා. පින්වත, ධර්මයෝ ධර්මයන් ම වඩවලා දෙනවා. පින්වත, කල්‍යාණ ධර්මයන් නුවණින් නොව අනුවණින් මෙනෙහි කරන වර්තමාන සමාජය, ළමා වයසේ පටන් දරුවා තුළින් සමථ විදර්ශනාවේ කුසල් ශක්තියෙන් අධ්‍යාපන දියුණුව මතු කොට ගන්න දක්‍ෂ නැහැ. පින්වත, එවැනි විශ්වාසයක් සමාජයට ඇත්තෙත් නැහැ. පින්වත, වර්තමාන සමාජය දක්‍ෂ වෙලා තිබෙන්නේ මුදල් වියදම් කරලා අධ්‍යාපනයේ දියුණුව ලබන්න. පින්වත, සමථ විදර්ශනාවෙන් මතු කොට ගන්නා කුසල් ශක්තියෙන් තම අධ්‍යාපනය දියුණු කොට ගන්නා දරුවා තුළ උතුම් තෙරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, සමාජයට පමණක් නොව තමන්ටත් කීකරුභාවය ඇති වෙනවා. පින්වත, මුදල් පමණක් වියදම් කොට තම අධ්‍යාපනය දියුණු කොට ගන්නා පින්වත් දරුවන් තුළ ඉහත ගුණාංගයන් තිබුණොත්, එය එම දරුවාගේ පෙර පිනක් ම වෙනවා.
පින්වත, ජයග්‍රාහකයෝ තම ජයග්‍රහණයෝ භුක්ති විඳින්න ඕනේ බොහෝම නිහතමානීවයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂු ජීවිතයේ දී ලබන යම් ජයග්‍රහණයක් වෙයි ද, එම ජයග්‍රහණයෝ භුක්ති විඳින්නේ, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින, විදර්ශනාමය මෙත් සිතින් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “ජයග්‍රාහකයා සතුරන් ඇති කොට ගන්නවා” ය කියලා. පින්වත, “පරාජිතයා දුකට, පීඩාවට පත් වෙනවා” ය කියලා. පින්වත, දිනෙන් දින භේදභින්න වන සමාජය දෙස බලද්දී, ඉහත සම්බුදු ධර්මයෝ මොනතරම් නම් විවෘතව බබළනවා ද? පින්වත, ඉහත ධර්මයෝ විවෘතව බබළන්න, බබළන්න අපි තව තවත් ධර්මයෙන් ඈතට ම යනවා. පින්වත, අවුරුදු හැටක, හැත්තෑවක ජීවිතයක් කළමනාකරණය කොට ගන්න බැරිව, අපි කෙසේ නම් පරක්තෙරක් නොපෙනෙන අනාගත භවය කළමනාකරණය කොට ගන්න ද? පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන, මිථ්‍යා දෘෂ්ටිය තරම් අවාසනාවක් සහ දුක් ගොඩක් නැහැ” ය කියලා. පින්වත, මිථ්‍යා දෘෂ්ටිය දුකට හේතුව ‘තෘෂ්ණාව’ යැයි කියලා දන්නේ නැහැ. පින්වත, දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි දන්නේ නැහැ. පින්වත, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් අමතක කොට දමා බෞද්ධ කොඩියක් සෙවණේ අපි සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන්, රූපයේ සහ කාමයේ ආස්වාදයෝ ම සොයනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ හරිම දුර්ලභයි. පින්වත, මිච්ඡා ධර්මයෝ හරිම සුලභයි. පින්වත, අප්‍රමාදීභාවය උදෙසා ඔබ ඇති කොට ගන්නා සම්මා වීර්යය, ඔබේ සම්මා පෞරුෂත්වය වෙනවා.
පින්වත, යුද්ධය යැයි කියන්නේ මහා විනාශයක් බව ඇත්ත. පින්වත, යුද්ධය යැයි කියන්නේ අවිද්‍යාවෙන් උපදින අධිතෘෂ්ණාවේ හේතුඵල ධර්මයක් වෙනවා. පින්වත, අවිද්‍යාවේ ප්‍රධාන ම ලක්‍ෂණයක් තමයි, කර්මය කර්මඵල විශ්වාසය නැති භංග වීම. පින්වත, මනුෂ්‍ය ජීවිත තුළ කර්මය කර්මඵල විශ්වාසය නැති වූ තැන, රූපයේ සහ කාමයේ ආස්වාදයෝ ම මනුෂ්‍යයා ධර්මය කොට දකිනවා. පින්වත, ආස්වාදය යැයි කිව්වත්, ඇලීම් සහ ගැටීම් යැයි කිව්වත්, ඡන්දරාගය යැයි කිව්වත් ඉහත සෑම අර්ථයක ම බැසගෙන තිබෙන්නේ අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ අධිපතිවාදය මයි. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ කර්මය කර්මඵල විශ්වාසය නොව ‘තෘෂ්ණාව’ රජ වෙද්දී, රාජ්‍ය ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍ය හිංසනය සහ ඝාතනය විනෝදාංශයක් වෙනවා. පින්වත, ලෝක බල කඳවුරුවල ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍ය හිංසනය සහ ඝාතනය විනෝදාංශයක් වෙනවා. පින්වත, තම ආගමික විරුද්ධවාදීන් මරා දමා රුධිරයෙන් දෙවියන් පුදන මිච්ඡා ආගම් මනුෂ්‍ය හිංසනයේ මරු වැලක් ම වෙනවා. පින්වත, මනුෂ්‍ය ඝාතනය සහ හිංසනය තෘෂ්ණාවේ විනෝදාංශයක් වෙද්දී, මස් උදෙසා සහ විනෝදය උදෙසා ලෝකය තුළ සිදු වන තිරිසන් සත්ත්ව ඝාතනවල ප්‍රමාණය ඉලක්කම් කීයකින් නම් සටහන් තබන්න ද? පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවලා දෙනවා. පින්වත, ලෝක නායකයන්ට, ජාතික නායකයන්ට නිරවුල්භාවයට නොව, අවුල්භාවයට ම දැනීම් සකස් කොට දෙන්නේ ලෝකය විසින් සිදු කොට ගන්නා මනුෂ්‍ය හිංසනය, සත්ත්ව හිංසනය සහ ඝාතන අකුසල් විපාකයෝ උදෙසා මයි. පින්වත, යුද්ධයේ විනාශය යැයි කියන්නේ, අතීතයේ ලෝකයා ම වැපුරූ මනුෂ්‍ය හිංසනයේ, සත්ත්ව හිංසනයේ සහ ඝාතනයේ ධර්මානුකූල හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ඔබ අවිහිංසාවාදී වෙන්න. එවිට යුද්ධයේ විනාශයෝ ඔබට මඟහැරී යාවි. පින්වත, එහෙත් “සියලුම සංස්කාරයෝ අනිත්‍යයි.” අභියෝගයන්ට සිත පුහුණු කොට ගන්න.
පින්වත, අපි ජීවත් වන ලෝකය මොනතරම් නම් ලස්සන ලෝකයක් ද? පින්වත, එම ලස්සන ලෝකය තුළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඒහිපස්සිකව විවෘතව බබළනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට මහා වැසි වසින මේ නිහඬ රාත්‍රියේ, ලස්සන චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ප්‍රණීත හැඩරුව භික්ෂුව නුවණින් දකිනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ප්‍රණීත හැඩරුව දකිද්දී, භික්ෂුව තුළ උපදින්නේ නික්ලේශී සප්ත බොජ්ඣංගයන්ගේ රසයක් මයි. පින්වත, පංච නීවරණයන්ගේ ලස්සන බැලීම මොහොතක් පැත්තකින් තියලා පින්වත් ඔබත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ලස්සන බලන්න. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක ලෝකය තුළ මොනතරම් නම් ප්‍රකට ද? පින්වත, පංච උපාදානස්කන්ධ දුකට එකම හේතුව වන ‘තෘෂ්ණාව’ ලෝකය තුළ මොනතරම් නම් ප්‍රකට ද? පින්වත, තෘෂ්ණාවේ වියෝවෙන් දුක සංසිඳී යන හැටි මොහොතක් අත්දකිද්දී, ජීවිතය මොනතරම් නම් ප්‍රණීත ද? පින්වත, දුක නිවන, තෘෂ්ණාව නිවන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයේ ප්‍රණීත ම අප්‍රමාදී දහම නේද? පින්වත, ශ්‍රද්ධාවට හිතැති ඕනෑ ම මනුෂ්‍ය ජීවිතයක් තුළින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ විනිවිද දකින්න පුළුවන්. පින්වත, මනුෂ්‍ය ජීවිත චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළින් විනිවිද දකිද්දී, සෑම මනුෂ්‍ය ජීවිතයක් ම ධර්මයක් බවට ම පත් වෙනවා. පින්වත, දුකේ ප්‍රවර්ධනයත්, දුකේ නිරෝධයත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ හීන සහ ප්‍රණීත හේතුඵල ධර්මයෝ ම වෙනවා. පින්වත, අවිද්‍යාවෙන් උපන් ලෝකය නිවා දමන්නේත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මයි. පින්වත, පංච උපාදානස්කන්ධ දුක් ගොඩක සිර වී තිබෙන අපේ ජීවිත තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මතු කොට දෙන නිදහස්, ප්‍රණීත, නික්ලේශී විමුක්තියේ නිදහස කෙරෙහි සම්මා වීර්යයක් ම ඇති කොට ගන්න. පින්වත, සම්මා වීර්යය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වීර්යයයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 ජුනි 21 ඉරිදා දිවයින පුවත්පතින්.