උපුටා ගැනීම – දිවයින ඉරුදින පුවත්පත.
පිංවත, 2022 නව වසර උදාවුණා. පිංවත් ඔබ උදාවුණ නව වසර ධර්මානුකූලව පිළිගත්තා ද, එසේත් නැතිනම් ඇලීම් සහ ගැටීම් දෙක තුළ මොනවට දෝලනය වෙමින් සද්ධර්මයෙන් බැහැරව අලුත් අවුරුද්ද පිළිගත්තා ද? පිංවත් ඔබ මොහොතක් දෑස් පියා ගන්නකෝ. දැන් නුවණින් දකින්න, මේ ලැබුවා වූ නව වසර ඔබේම කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළව ලැබූ නව වසරක්ය කියලා. ලැබුවා වූ නව වසරට ඔබව සතුටු කරන්න, ඔබේ බලාපොරොත්තු ඉටු කරන්න බැහැ. ඒ සියල්ලම ඉටු වෙන්නේ පිංවත් ඔබේ සංස්කාරයන්ට අදාළවයි. අලුත් අවුරුද්දක් කියන්නේ ඔබේම ඵස්සය හේතුවෙන් සකස්වුණ විඳීමක්මයි. අපි අනාගතයේ යම් දිනයක, ඵස්සය තෘෂ්ණාවෙන් හිස් කරපු තැන, අලුත් අවුරුද්ද යනු, තවත් හිරු උදාවුණ එක් දවසක් පමණයි. එතෙක් ධර්මයේ උපේක්ෂාවෙන්ම අලුත් අවුරුද්ද පිළිගන්න. එවිට ඔබ බලාපොරොත්තු තබන්නේ අලුත් අවුරුද්ද කෙරෙහි නොව, දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින කෙරෙහිමය.
දුරුත්තේ ශීතල අකීකරුකම් කරන මේ හිමිදිරි උදෑසන, කුටියේ ටකරන් සෙවිලි කළ කුස්සි කෑල්ලේ තිබෙන දර ලිප පත්තු කරලා වතුර කේතලය ලිපේ තියලයි තිබෙන්නේ. පරිසරයත්, වතුරත් ශීතල නිසා වෙනදාට වැඩිය දර දමලයි ලිප අවුළුවා ගන්නේ. මේ මොහොතේ හොඳින් දර ඇවිලී රත්පැහැ ගිනිදැල් වලින් ලිප පිරිලා. භික්ෂුව එම දර ලිපේ ගින්දර දෙස සති සම්බොජ්ඣඬ්ඟය පෙරටුකොට බලා සිටිනවා. භික්ෂුවගේ ඵස්සය දර ලිපේ ගිනිදැල් කෙරෙහි ඍජුව පිහිටලයි තිබෙන්නේ. එම ගිනිදැල් කෙරෙහි ඍජුව පිහිටි සිත මනාව සංසිඳිලයි තිබෙන්නේ.
භික්ෂුව කුස්සියේ ලෑලි බංකුවේ වාඩිවෙලා, මොහොතක් දෑස් පියා ගන්නවා. පියාගත් දෑස් තුළින් භික්ෂුවට දර ලිපේ ගිනිදැල් හොඳින් අරමුණු වෙනවා. භික්ෂුව එම ගින්නෙන් භික්ෂුවගේ ශරීරය මනසින් ගිනි ජාලාවක් කොට දකිනවා. දැන් භික්ෂුවගේ ශරීරය එකම ගිනි ජාලාවක්. දැන් භික්ෂුව තම කුටිය, වැඩසිටින ගම, නගරය, මුළු රටම එකම ගිනි ජාලාවක් කොට දකිනවා. දැන් භික්ෂුවට දර ලිපේ ගින්න, කුටිය, ගම, නගරය, රට අරමුණු වෙන්නේ නැහැ. එකම ගිනි ජාලාවක් පමණයි අරමුණු වෙන්නේ. එම අරමුණු වෙන ගිනි ජාලාවෙත් භික්ෂුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මුළු මනුෂ්‍ය ලෝකයම එකම ගිනි ජාලාවක් කොට දකිනවා. භික්ෂුව තේජෝ මනසිකාරය තුළ ඍජුව බැසගෙනයි සිටින්නේ.
මීළඟට භික්ෂුව සශ්‍රීක දිව්‍යතල හයම එකම ගිනි ජාලාවක් කොට දකිනවා. මුළු කාම ලෝකයම දැන් භික්ෂුවට එකම ගිනි ජාලාවක්. මිළඟට භික්ෂුව රූපී, අරූපී, අනාගාමී බ්‍රහ්මතල සියල්ලම එකම ගිනි ජාලාවක් කොට දකිනවා. දැන් භික්ෂුවට මේ මුළු භවාත්‍රයම එකම ගිනි ජාලාවක් ලෙසයි අරමුණු වෙන්නේ. එහි එකම මිනිස්, දිව්‍ය, බ්‍රහ්ම, සතර අපා සත්ත්වයෙක් නැහැ. භික්ෂුව කියන වචනය පාවිච්චි කළත්, එහි භික්ෂුවගේ රූප සංඥාවක් නැහැ. භවාත්‍රයම එකම ගිනි ජාලාවක්. තේජෝ, තේජෝ, තේජෝ මෙතෙක් වෙලා තේජෝ මනසිකාරයට සිත යොමුකරගෙන සිටි භික්ෂුව, එම තේජෝ මනසිකාරයෙන් මිදී දෑස් විවෘත කරනවා. දර ලිපේ වතුර කේතලය යාන්තමට උතුරන හඬ භික්ෂුවට ඇසෙනවා. තවත් මොහොතකින් උණුවතුර කේතලය, උණුවතුර බෝතලයට දමන්න ඕනේ.
ගෞරවනීය පිංවත, මහමෙරක් අභියෝගයන් කරපින්නගෙන උදාවුණ මේ 2022 නව වසරේ දී පිංවත් මාතෘභූමියේ ඔබ සැමදෙනාටම යහපතක්ම වේවා යැයි මෙත් සිතින් ආශීර්වාද කරමින් මේ හිමිදිරි උදෑසන පිංවතුන්ලා සියලුම දෙනාටම විදර්ශනාත්මක තේජෝ ධාතු මනසිකාරයෙන් මොනවට රසවත් වූ ඉහත රසකැවිලි පිඟාන හදවතින්ම තිලිණ කරනවා. කරුණාකර විදර්ශනාත්මකව එහි රස බලන්න. පෙරලා භික්ෂුවට කෑම පිඟන් එවන්න අවශ්‍ය නැහැ.
ගෞරවනීය පිංවත, ගින්දරින් මුළු භවාත්‍රයම ගිනි ගත්තත්, තේජෝ ධාතුව නිත්‍ය නැහැ. කල්ප විනාශයක් අවසානයේ දී මුළු පෘථිවියම අළු කළ මහා ගින්නක් යම් මොහොතක සිසිල් වෙලා නිවී යනවා. ගිනි රස්නය ආපෝ ධාතුවේ ශක්තියෙන් අතුරුදන් වී මහ පොළොවේ යෝගට් එකක් බඳු රස පොළොවක් නැවත ඇති වෙනවා. පිංවත, උදාවුණ නව වසරේ රූපයට ආදරය කරන්න එපා. රූපයට වෛර කරන්නත් එපා. සතර මහා ධාතුවෙන් සැදි රූපය, රූපයේ නිරෝධය උදෙසාම ධර්මානුකූලව මෙහෙය වන්න.
පිංවත, ජනවාරි 01 වෙනිදා ඔබලා නිවසේ කිරිබතක් හැදුවා ද, එසේත් නැතිනම් දැන් ද ඒ ගැන මතක් වුණේ? අපේ ජීවිත රසවත් වෙන්න නම් ඇලීම් සහ ගැටීම් වලින් තොර උපේක්ෂාව ජීවිතය තුළ තිබෙන්නටම ඕනේ. අපේ ජීවිතවල ඇලීම්, ගැටීම් වැඩිනම් ජනවාරි 01 වැනිදා පාන්දර පිසින කිරිබතත් අපිට අමතක වෙලා යන්න පුළුවන්. උපේක්ෂාවෙන් අපේ ජීවිත රසවත් වෙනකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් අපේ රසවත් ජීවිතය තව තවත් අර්ථවත් වෙනවා. එවිට ජීවිතය කවදාකවක් අපිට නීරස වෙන්නේ නැහැ. පළවෙනිදා උදෑසන නිවසේ පිසූ කිරිබතක් සේම අපේ ජීවිත නැවුම් වෙනවා.
මේ උදෑසන භික්ෂුවට, ගිහි ජීවිතයේ දී සෑම ජනවාරි පළවෙනිදාකම කිරිබත් සාදා දුන් අම්මා සහ තාත්තා සිහිපත් වෙනවා. ඒ අම්මා, තාත්තා සාදා දුන් කිරිබත් වගේම, ඒ අම්මා, තාත්තාත් වෙනස් වෙලා ගියා. මේ ජීවිතයේ දී ඒ දෙමාපියන් මොනතරම් නම් දුක් කන්දරාවක් විඳින්නට ඇති ද? වචන වලින්, ඉරියව් වලින් නොපෙන්වූ ඒ දුක එම පිංවත් දෙමාපියන්ගේ ජීවිතය අවසාන කාලයේ දී අත්විඳි සංස්කාරයන්ගෙන් භික්ෂුව වර්තමානයේ දකිනවා. දයාබර අම්මේ, තාත්තේ වර්තමානයේ ඔබලා වෙනුවෙන් කරන්න කිසිම දෙයක් භික්ෂුවට ඉතිරි වෙලා නැහැ. සංස්කාරයන් හේතුවෙන් සකස් වූ දැනීම් භවාත්‍රයේ විසිරිලා ගියා. අයේ එකතු වීමක් නැහැ. දයාබර අම්මේ, තාත්තේ ඔබ පෙවූ මව්කිරිවලට වන්දියයි මේ උදෑසන තබන සටහනෙනුත් භික්ෂුව ගෙවන්නේ.
පිංවත, මේ උදාවුණ ජනවාරි පළවෙනිදා ඔබ, ඔබේ ජීවත්ව සිටින අම්මා, තාත්තාට පසඟ පිහිටුවලා වන්දනා කළා ද? එහෙමත් නැතිනම් දෙමාපියන්ගේ සිත් අදත් රිදෙව්ව ද? පිංවත් දරුවන් අම්මා, තාත්තලාගේ සිත් රිදවද්දී, ඒ උපේක්ෂාවේ සිත් රිදෙන්නේ නැහැ. ඒ සිත් මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් ගල්වෙලා. ඒ කරුණාවෙන් ගල්වුණ සිත් රිදෙව්වොත්, දරුවන් වන අපිටමයි අවසානයේ රිදෙන්නේ.
පිංවත, ජනවාරි පළමු වෙනිදාත් ඔබ, ඔබේ පිංවත් දෙමාපියන්ට පසඟ පිහිටුවා වන්දනා නොකළා නම් ඉක්මන් කරන්න. දෙමාපියන් දුර බැහැරක නම් සිටින්නේ, කරුණාකර දුරකථනයෙන්වත් ඒ අහිංසක සිත් සතුටු කරන්න. සෑම දෙයක්ම ඉක්මනට වෙනස් වෙලා යනවා. දුක් වේදනා, පසුතැවීම් අපි ළඟ ඉතිරි කරලා දෙමාපියන්ට අපෙන් සමුගන්න දෙන්න එපා. අතීත පටිච්චසමුප්පන්න සංසාරයේ අම්මලා, තාත්තලා කෝටි කීයක් නම්, දරුවෙක් වූ මම නිසා දුක් විඳින්නට ඇති ද? මේ සටහන කියවන පිංවත් ඔබත් භික්ෂුවගේ පටිච්චසමුප්පන්න එක් අම්මා කෙනෙක්ය, තාත්තා කෙනෙක්ය කියන කාරණය මේ උදෑසන හදවතින්ම මෙත් වඩමින් සටහන් තබනවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක දී පමණක් මතුකොට දකින මේ පටිච්චසමුප්පන්න ඥාතීත්වයට, මේ මාතෘත්වයට, පීතෘත්වයට ජනවාරි පළවැනිදා උදෑසන පාත්‍රයට ලැබෙන නොඉඳුල් පිණ්ඩපාතය වළඳා, භික්ෂුව කෘතවේදීව පිං අනුමෝදන් කරනවා. පිංවත් ඔබට මතක ද අතීතයේ අම්මලාගේ තනපුඩු වලින් කිරි උරා බීපු මව්කිරිවල රසය. භික්ෂුවට තාමත් ඒ රසය මතකයි. මව්කිරේ රසය මෛත්‍රියේ රසයයි. ඒ මෛත්‍රියේ රසයට, කරුණාවේ, මුදිතාවේ, උපේක්ෂාවේ රසයන් හොඳින් මුහුවෙලයි තිබුණේ. මව්කිරේ සැබෑ රසය හඳුනාගත් පිංවතා, මේ ලැබුවා වූ නව වසරේ දී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා රසයන් තම ජීවිතයෙන් එළවා දමන්නේ නැහැ. වර්තමානයේ ජීවත්වෙන හුඟ දෙනෙක් මව්කිරේ රසය ජීවිත වලින් එළවා දමලා. දැන් ඒ ජීවිත නීරස වෙලා, මව්පිය ගුණයන් අමතක වෙලා, කෘතිම රසයන් පස්සේ ඉබාගාතේ යනවා.
අනාගත සංසාර බිය, සංසාර දුර, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් සිත්තම් කළ චිත්‍රයක් සේ භික්ෂුවට මැවිලා පෙනෙනවා. අතීතයේ පටිච්චසමුප්පන්නව භික්ෂුවට මව්කිරි පෙවූ අම්මලා මගේ සැපය උදෙසා වර්ණය, සැපය, බලය දන් දුන් තාත්තලා වර්තමාන වියරු පංච උපාදානස්කන්ධ ලෝකය තුළ, පෙනි පෙනී අකුසලයට කොටු වෙද්දී, පෙනි පෙනී මිථ්‍යා දෘෂ්ටිකභාවයට කොටු වෙද්දී අපි මෙච්චර දුරස් වුණේ ඇයි ද කියලා භික්ෂුවගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන්නේ නැහැ. භික්ෂුව බීපු මව්කිරේ රසය හඳුනනවා සේම, භික්ෂුව හොඳින්ම දන්නවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. අකුසල් සංස්කාරයෝ අපේ භෂ්මාවශේෂත් මැටි කළයක දමා, ගංගාවක දියකොට හරිනවා සේම, අපේ කුසල් සංස්කාරයෝ අපේ භෂ්මාවශේෂත් ස්ථූප බැඳ පූජනීයත්වයට පත් කරනවාය කියලා.
මේ මනුෂ්‍ය ලෝකයෙන් ලැජ්ජාව සහ බිය අතුරුදන් කොට දැමීමට අවශ්‍ය නම්, මුලින්ම විනාශකොට දැමිය යුත්තේ උතුම් බුදුදහමයි, උතුම් ධර්ම විනයයි, මේ අර්ථයන් දෙක මනාව ස්ථාපිතව ඇති මේ උතුම් මාතෘභූමියයි. පිංවත් අකුසල් සංස්කාර මාරයා අවි ආයුධ අතට අරගෙන පෞරුෂත්වයෙන් යුත් ජාතික නායකයින්ගේ පෞරුෂත්වයන් ඉදිරියේ පවා ප්‍රශ්නාර්ථයක් තබා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව තරම් දුකසේ, වීර්යයෙන්, කැපවීමෙන්, සිහිනුවණින් පරාජය කළ යුතු අන් මාර බලයක් මම නොදකිමියි කියලා. පිංවත, මේ උදාවුණ නව වසරේ දී ඔය ඵස්සය අසල නලියන තෘෂ්ණාව ගැන සරලව සිතන්න එපා. රටේ සමස්ත ජනතාවගේ තෘෂ්ණාව එක ගොඩකට එකතු වුණොත්, එදාට අපිට උරුම වෙන්නේ හිරි ඔතප් දෙක අතුරුදන් වූ මනුෂ්‍ය ලෝකයක්. මනුෂ්‍ය ප්‍රජාව තුළ අකුසල් සංස්කාරයෝ වියරු වැටිලයි තිබෙන්නේ. සියල්ලටම වගකිවයුතු අවිද්‍යාව හැමෝටම අමතක වෙලා. කරුණාකර, උදාවුණ මේ නව වසරේ දී ඔබේ නායකයාත්, ඔබේ පාලකයාත් ඔබම වෙන්න.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.