මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්‍රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්‍රිය වචන, සත්‍ය වචන අහන්න. නමුත් අපේ මොකක්දෝ කරුමයකට, අපිට අසන්නට ලැබෙන්නේ ම, අමිහිරි, අප්‍රිය, අසභ්‍ය, මිච්ඡා වාචාවන් මයි. භික්ෂුව සමහර අවස්ථාවල සිතනවා, මෙවැනි මිච්ඡා වාචාවන් අසන්නට භික්ෂුව කරපු අකුසලය කුමක්ද කියල.
භික්ෂුව ළමා කාලයේ දී, පාසල් වයසේ දී, මගේ අම්මා, තාත්තාට බොරු කියල තිබෙනවා. සමහර විට, මේවායේ විපාකයන් වෙන්නැති, වර්තමානයේ මිච්ඡා වාචාවන් ගෙන් පිරුණු වචන අපිට අසන්නට ලැබෙන්නේ. වර්තමානයේ පින්වත් ළමා සහ තරුණ දරුවන් දෙමාපියන්ට බොරු කියන්න, බොරු කරන්න එපා. එහෙම කළොත් අනාගතයේ ඔබලාට අමිහිරි මිච්ඡා වාචාවන් මයි අත් දකින්න වෙන්නේ. සම්මා වාචාවන් දුර්වල කොට ගත් පාලක පින්වතුන් ජීවත් වෙන රටක, අනාගතයේ අමිහිරි හඬින් කෑගසන බස්සන්ගේ ගහනය ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ධර්මය විවෘතව බබළනවා. ඒ කියන්නෙ ධර්මය ඒහිපස්සිකයි, ධර්මයේ ඒහිපස්සික ගුණය සමාජය තුළින්, පරිසරය තුළින් මතු කොට දකින්න නම්, සතිය, සිහිය, තිබෙන්නට ම ඕනේ. සතිය, සිහිය දුර්වල තැන බස්සා යනු තවත් නිශාචර පක්ෂියෙක් පමණක් මයි. අපි බස්සාව කමටහන් කොට ගන්නේ නැහැ. අපි හදන්නේ බස්සාව සංරක්ෂණය කරන්නයි.
අද උදෑසන භික්ෂුව ගමට පිණ්ඩපාතයේ වඩින කොට, ගොන් නාම්බන් කිහිප දෙනෙක්ම මද ලකුණු පහළ වුණ එළදෙනෙක් සමග රාගයෙන් බැඳිලා, කාමයේ ආශ්වාදය කෙටිය කියල, මේ සතුන් දන්නේ නැහැ. ඒ නිසා ම තාවකාලිකව එළදෙනගේ පහස වෙනුවෙන්, ගොන් නාම්බෝ දෙදෙනෙක් වෙල් යායේ ඇන කොටා ගන්නවා. සෑම වේලාවේ ම තිරිසන් ලෝකයේ දී, ශක්ති වන්තයා ජය ගන්නවා. එය තිරිසන් ධර්මයයි. නමුත් මනුෂ්‍ය ලෝකයේ දී, මේ තත්ත්වය වෙනස්. නීතිය විසින්, ගුණධර්ම විසින්, ශීලයෙන් ලබන විනය, හික්මීම විසින් ඇත්ත, යුක්තිය, සාධාරණයයි ජය ගන්නේ. ඒත් මනුෂ්‍ය සමාජයේදී දැන් දැන් මේ තත්ත්වය වෙනස් වෙලා. තිරිසන් අධ්‍යාත්මය, උතුම් මනුෂ්‍ය අධ්‍යාත්මය සමග ටිකෙන් ටික මුහු වෙනවා. දේව ධර්මයන් වන ඇත්ත, යුක්තිය, සාධාරණය වෙනුවට, නිලය, බලය, ධනය, ඇති ශක්ති වන්තයා සියළු තැන්හි දී ජය ගන්නා සතර අපා අධ්‍යාත්මය, මනුෂ්‍යයාගේ අවාසනාවන්ත උරුමය බවට පත් වෙමින් පවතිනවා.
පසුගිය කලබලකාරී සිද්ධීන් පසු පස සිටි අතළොස්සක් වූ මුස්ලිම් දේශපාලන නායක තුමන්ලා හෙට දවසේ “මුස්ලිම් අපි මේ රටේ සුළු ජාතියයි, සිංහල බෞද්ධ ඔබ මහා ජාතිය” යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න පුළුවන්. සිරගත කොට ඇති හමුදා සාමාජිකයන් සහ ගෞරවණීය ස්වාමින් වහන්සේ වහාම නිදහස් කරන්නැයි, මෙතෙක් රාජ්‍ය දුර්වල කිරීම උදෙසා ම අන්තවාදී කටයුතු සිදු කළ, ද්‍රවිඩ සහ මුස්ලිම් අන්තවාදී දේශපාලන නායක තුමන්ලා හෙට දවසේ උද්ඝෝෂණය කරන්න පුළුවන්. රාජ්‍යයේ විනාශය උදෙසා බලවත් වැරදි සිදු කළ සහ එවැනි වැරදි සිදු කරද්දී ඒවාට ඇස් කන් වසා ගෙන සිටි, පින්වත් සිංහල බෞද්ධ නායකයන්, ගෞරවණීය ස්වාමින් වහන්සේගේ, සිවුර කොන් අල්ලා ගෙන ජනතාව අතරට එන්න පුළුවන්. පින්වත් සිංහල බෞද්ධ ජනතාව වගේ ම, පින්වත් මධ්‍යස්ථ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, පින්වතුන් රාත්‍රි කාලයේ වැටුණ වළේ, නැවත දවල් වැටෙන්න යන්න එපා. දේශීය පාලක පින්වතුන්ලා ගේ දුර්වල භාවයන් නිසා ම, ජාත්‍යන්තරය විසින් ඇටවූ බරපතළ උගුලක, රාජ්‍යය සිරගත කරන්න යන මොහොතක් මේ. සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වෙන මේ සිංහල බෞද්ධ රටට අකීකරු වූ සියලුම පාර්ශ්වයන් එකතුවී, රටේ ජනතාව බොරුවෙන්, රඟපෑමෙන් වංචාකාරීව රැවටීමට උත්සාහ කරන කාලයක් බවට ඉදිරි මාස හය පත්වේවි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සියලු ම සංස්කාරයෝ අනිත්‍යයි කියල. මේ උතුම් සිංහල බෞද්ධ රටත්, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයන් අනිත්‍ය වූ ධර්මතාවයන් මයි. සියළු සංස්කාරයෝ අනිත්‍ය වී යන නිසා මයි, භික්ෂුව පින්වත් ඔබට මේ සටහන තබන්නේ, මේ අනිත්‍ය වෙන සංස්කාරයන් ඊළඟ පරම්පරාවටත් ආරක්ෂා කොට දෙන්නය කියල, පින්වත් ඔබව දැනුවත් කරන්නයි.
අනිත්‍යභාවයට පත් වෙන සංස්කාරයන් යම් පමණකට හෝ ආරක්ෂා කොට දෙන, එකම මාර්ගය තමයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමස්ත රට ඉදිරියේ දිග හැර තිබෙන අළු යට තිබෙන රත් පැහැ ගිනි පුපුරු නිවා දමන්නට නම්, පින්වත් ජනතාව තුළ සතිය සහ සිහිය තිබෙන්නට ඕනේ. සතිය, සිහිය, ඇති වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න නම්, පංචශීලයේ ආරක්ෂාව තිබෙන්නට ඕනේ. ජාති, ආගම්, භේදයකින් තොරව කරුණාකර ගෞරවණීය රටවැසි පින්වතුන්ලා පංචශීලයේ ආරක්ෂාව තුළ ශක්තිමත් වෙන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කොට ගන්න. සියළුම අවස්ථාවාදී නරක, නපුරු, ධර්මතාවන්ට, කණ්ඩායම් වලට මෙත් සිත ම පතුරුවන්න. පින්වත් ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වෙන පවුකාර මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාර කම්, අපේ ම අතීත අකුසල් සංස්කාරයන් ගේ ඵලයන් වශයෙන් ම දකින්න අයහපත විපාක දෙන විට යහපත තුළින් අයහපත ජය ගන්න. ආර්ය ශීලයෙන්, ආර්ය ශ්‍රද්ධාවෙන් තොර කිසි ම පින්වතෙක් අපිට සියයට සියයක් ම විශ්වාස කරන්න බැහැ. උතුම් සෝවාන් ඵල අවබෝධය නොලැබූ සෑම පින්වතෙක් ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල නම්, ධනය, බලය සහ නිලතල ඉදිරියේ පිරිහෙන ස්වභාවයෙන් යුක්ත මයි. එම නිසා පින්වත් ජනතාව තමන්ට නායකයෙක් තෝරා ගැනීමේදී අනුගමනය කළ යුතු ධර්මානුකූල ප්‍රවේශය, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසුරෙන් පහත සටහන් තබනවා.
පළමුව පින්වත් ඔබ නායකත්වයට තෝරා ගැනීමට බලාපොරොත්තු වන පින්වතාගේ ශීලය ගැන හොඳින් විමසා බලන්න. ඔහු සමාජය ඉදිරියේ සිල්වත් භාවයෙන් පෙනී සිටියත්, අප්‍රකටව දුශ්ශීල කෙනෙක්ද, ඔහු තමනුත් පංචශීලයෙන් ආරක්ෂා වී සමාජයට පංචශීලයෙන් පූර්වාදර්ශයක් දිය හැකි කෙනෙක්ද..? නැවත නැවත සොයා බලා එම නායකයාගේ ශීලය ගැන තීරණය කරන්න.
දෙවැනිව ඔබ තෝරා පත් කර ගන්නා නායකයා ගේ නුවණ සහ බුද්ධිමත් භාවය ගැන ඔහු සමඟ සාකච්ඡාවෙන්, ඔහුගේ දේශන ඇසුරෙන්, හොඳින් සොයා බලන්න. රටේ සාමය, සංවර්ධන, ජාතික සමගිය, ජාතික ආරක්ෂාව උදෙසා ඔහු සතු සැලසුම්, ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව හොඳින් විමසා බලන්න. ඔහු රට වෙනුවෙන් මෙතෙක් දරා ඇති වගකීම්, අවංක භාවයෙන් සහ රටට ආදරයෙන් ඉටු කොට තිබේද යන්න හොඳින් සොයා බලන්න.
තෙවැනිව ඔබ නායකත්වයට තෝරා ගන්නා නායකයාට අභියෝගයන් ඉදිරියේ තම රට ජයග්‍රහණයන් කරා මෙහෙයවීමට අවශ්‍ය පෞරුෂත්වය තිබේද යන්න හොඳින් සොයා බලන්න. මංකොල්ලකාර දේශීය සහ විදේශීය බලවේගයන් ගේ, බලවත් ගොදුරක්, බවට රට පත්වී තිබෙන මොහොතක, පංචශීලය තුළ හික්මෙන, දැනුමෙන් සහ ලෞකික ප්‍රඥාවෙන් පොහොසත්, සියලූ අභියෝගයන් ඉදිරියේ නොසැලෙන, නායකයෙක්, සියලුම නායකයන් අතරින්, තෝරා ගැනීමට පින්වත් ඔබ දක්ෂ විය යුතුයි. මුළු රට ම අඩපණ කළ, පාස්කු බෝම්බ උමතු ආගමික වියරුව, සුන්දර වෙසක් සඳ පායාගෙන එද්දී ආශ්චර්යයක් සේ සංසිඳී ගියා. ඒ තාවකාලික සංසිඳීම ඇති කළේ, සුන්දර වෙසක් සඳ විසින් නොවේ, වෙසක් සතියේ පින්වත් ඔබගේ ජීවිත තුළින් ශක්තිමත් වුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුළින් මයි. උතුම් ධර්මයේ ශක්තිය තවමත් ජීවමානයි. ප්‍රශ්නය වන්නේ, අනතුරක් පහව ගිය විට පින්වත් ජනතාවට ධර්මය අමතක වීමයි.
අපි සැමගේම ජීවිත, රටේ ක්‍රියාත්මක වන වගකීම් විරහිත දේශපාලනය හේතුවෙන්, බලවත් අනතුරකට ඇද දමා තිබෙන මොහොතක, පින්වත් ජනතාව ආශ්වාදයෙන් බැහැර වී සතියෙන් සිහියෙන් කටයුතු කරන්න. සතිය සිහිය ඇති කොට ගන්න නම්, ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න නම්, පංචශීලයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වෙනවා. පින්වත් ඔබ අනුනට චෝදනා කිරීමට ඇඟිල්ලක් දිගු කරන විට, ඔබ දෙසට ඇඟිලි හතරක්ම දික්වෙන බව කරුණාවෙන් සිතන්න. විනාශය ද එසේත් නැතිනම් ආරක්ෂාව ද කියන අර්ථයන් දෙක, අපි සියලූ දෙනා ඉදිරියේ තරග වැදී සිටින මොහොතක, පින්වත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්, ශීලයේ ශක්තියෙන්, උපන් දේශයේ ආරක්ෂාව ජයග්‍රහණය දෙසට ඔසවා තබන්න දක්ෂ වෙන්න…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…