අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින් ද, එසේත් නැතිනම් යාළුවෙලා ද කියල. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනා ය කියල. සමාජය දෙස බලන කොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය විග්‍රහ කරද්දී, ආදරය කියන්නෙ “සංස්කාර පච්චයා විඤ්ඤාණං” කියන අර්ථයටයි. සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන ධර්මතාවයේ, උපකාරයෙන්, භවයෙන් භවය, ආදරය බැඳීම් සොයා ගෙන යනවා. කුසල් සංස්කාරයන් ගේ හේතුවෙන් ආදරය ශක්තිමත් වෙනවා වගේම, අකුසල් සංස්කාරයන් ගේ ප්‍රතික්‍රියා හේතුවෙන්, ආදරය අනාදරයක් බවටත් පත් වෙනවා.
වරක් භික්ෂුව මුණගැසීමට ආදරය, අනාදරයක් බවට පත් කොට ගත් තරුණ මහත්මියක් පැමිණියා. ඇය ප්‍රකාශ කළේ, “ස්වාමින් වහන්ස, මම මගේ සැමියාට දෙවියකුට වඩා ආදරයෙන් ගරු කරනවා. යුතුකම් ඉටු කරනවා. නමුත් මගේ සැමියා වෙනත් කාන්තා ඇසුර වගේම, මත්වතුර බොනවා”ය කියල. ඉහත ප්‍රශ්නය තුළින් භික්ෂුව සුන්දර ධර්මයක් දැක්කත්, එම තරුණ බිරිඳ, මෙම ප්‍රශ්නය දැක්කේ දික්කසාදයට මාර්ගයක් හැටියටයි. ඇය තුළ දික්කසාදයක් උදෙසා සකස් වෙන සිතත්, අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීමක් බව, ඇය දැනගෙන සිටියේ නැහැ.
පින්වත් ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ ආදරය ඔබට සෙනෙහසක් නැති කාන්තාරයක් ම වේවි. ආදරය කියන්නෙ බොරුවක්ය කියලයි, භික්ෂුව අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියල කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්ෂුවගේ ගිහි ජීවිතයේදී, අකුසලය කියන කාරණය නිරතුරුව ම විපාකයට පැමිණියා. ඒ නිසා ම භික්ෂුවට පුළුවන් වුණා, ආදරය කියන්නෙ බොරුවක්ය කියල හඳුනා ගන්න.
පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින ශක්තිමත් නම්, ආදරය ඔබට සුන්දර ආදරයක් මයි. පින්වත් ඔබේ පටිච්ච සමුප්පන්න පින දුර්වල වෙද්දී ආදරය ඔබට විරහවක්, වේදනාවක් ම වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව අද හොඳාකාරව ම දන්නවා ආදරයත්, අනාදරයත් කියන්නෙ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන, අනිත්‍ය වූ සංස්කාරයක් මයි කියල. ඒ නිසා ම භික්ෂුව නැවත කවදාකවත් ම, කාටවත් ම ආදරය කරන්නේ හෝ අනාදරය කරන්නේ නැහැ. ආදරයත්, අනාදරයත් හේතුඵල ධර්මයේ උපේක්ෂාව තුළින් ම දකිනවා.
වර්තමාන තරුණ පරම්පරාවේ පින්වතුන්ලා සිතනවා, ආදරය ශක්තිමත් වෙන්න නම් ඇඳුම් පැළඳුම් ආභරණ තෑගි භෝග අවශ්‍යයි කියල. සත්තකින් ම ආදරයේ බැඳීම් ශක්තිමත් කොට දෙන්නේ, දෙදෙනා දෙදෙනාට විය යුතු යුතුකම් සහ ලැබිය යුතු අයිතිවාසිකම් , නිවැරැදිව ඉටු කිරීමෙන් ඔබලා තුළින්ම රැස් වෙන පිනේ ශක්තිය විසින් මය. මේ සුන්දර යුතුකම ධර්මානුකූලව තේරුම් ගන්න නම්, අතීත පටිච්චසමුප්පන්න පින අත්‍යවශ්‍ය ම වෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශ්‍රේෂ්ඨ ම පෙම්වතුන් යුවළ තමයි සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර ප්‍රේමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව කෙටි කාලයකින් අවසන් වුවත්, එම කෙටි ප්‍රේම කථාවට කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න “සංස්කාර පච්චයා විඤ්ඤාණං” කියන ධර්මතාවයේ උපකාරයෙන් සකස් වුණ, “තෘෂ්ණා පච්චයා උපාදානං” කියන ධර්මයේ ඤාති බැඳීම තිබුණා.
සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත් කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න ආදර බැඳීම අවසන් කරන අවසාන හෝරාව එළැඹුණු දිනයක් තිබුණා. ඒ අවසාන හෝරාව එළැඹෙන විට, යශෝධරා උත්තමාවියට වයස අවුරුදු හැත්තෑ අටක් පරිපූර්ණ වෙලා. නික්ලේශි යශෝධරා උත්තමාවිය බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා වන්දනා කොට, “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගේ දාන පාරමිතාව උදෙසා සංසාරයේ බිරිඳක් හැටියට දස දහස් වාරයක් මාව දන් දුන්නා. ඒ සෑම අවස්ථාවකදී ම මම සතුටින් මයි, ඔබ වහන්සේගේ දාන පාරමිතාවට උපකාරක ධර්මයක් වුණේ. ඔබ වහන්සේ ගේ මහා කරුණාවෙන් සියලූ කෙළෙසුන් මුලිනුපුටා දැම්මා. අද රාත්‍රියේ මම සියලූ බැඳීම් සිඳ දැමූ හස්ති රාජිනියක් සේ පිරිනිවන් පානවාය” කියල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටී පිරිනිවන් පාන්නට අවසර ලබා ගත්තා.
නමුත් මීට වඩා හාත්පසින් ම වෙනස් සිදුවීමක් යශෝධරා දේවියගේ චරිතාපදානය තුළින් ඇයගේ ගිහි ජීවිතයේදී අපි අසා තිබුණා. ලොව්තුරු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොට ගෙන ප්‍රථම වතාවට කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ මාලිගාවට වැඩම කළ දවසේ, හය අවුරුද්දක්, එකලාව මාලිගාවේ සිටි යශෝධරා දේවිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදා ගෙන සිත්සේ හඬන්නට පටන් ගත්තා. එදා බුදුරජාණන් වහන්සේ ඇයට සිත් සේ හඬන්නට අවසර දුන්නා, ආදරය අයිති කඳුළටත්, සිනහවටත් නිසා ම. එහෙත් යශෝධරා උත්තමාවිය පිරිනිවන් පාන්නට අවසර ගත් සුන්දර රාත්‍රියේදී, ඇය කඳුළත්, සිනහවත්, දෙකම නිරෝධය කරලයි වැඩ සිටියේ. යශෝධරා උත්තමාවිය ඒ මොහොතේ විවේකීව වැඩ සිටියේ සංස්කාර නමැති තෙල් අහවර වූ පහන්වැටියේ දැල්වෙන විඤ්ඤාණය නමැති පහන් දැල්ල නිවී යන තෙක් පමණක් මයි. එම විඤ්ඤාණය නමැති පහන් දැල්ල, ඒ මොහොතේ සුවසේ නිවී යන්නට ඇති. කල්ප ගණනාවක් දීර්ඝ පටිච්ච සමුප්පන්න ප්‍රේම වෘතාන්තයක අවසාන මොහොත උදා වුණේ, ආදරයේ සැබෑ ම අරුත වෙන ආදරයෙනුත්, අනාදරයෙනුත් මිදීම කියන උත්තරීතර නිවීම සාක්ෂාත් කොට ගෙනයි.
සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල සමහර පින්වතුන් සිදුහත් කුමාරයාට චෝදනා කරනවා, ගිහි ජීවිතයේදී, දරුවෙක් සමග යශෝධරා දේවිය අතරමන් කළාය කියලත්. දුක සහ සැප ධර්මානුකූලව විග්‍රහ කොට ගන්න බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමට වත් බැරි, මිථ්‍යාදෘෂ්ඨික මනුෂ්‍යයෝ සැබෑ ආදරය කියල වර්ණනා කරන්නේ, ආදරයේ නාමයෙන් ටජ්මහල් නමැති කොන්ක්‍රීට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි. ටජ්මහල් නාමයෙන් කොන්ක්‍රිට් ගොඩක් තිබුණත්, අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම් කැඩී බිඳී විසිර ගිහිල්ල ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආදරවන්තයන් දෙපළකට, “තම ආදරය භවයෙන් භවයට පටිච්චසමුප්පන්නව රැගෙන යන්න අවශ්‍ය නම්, සම සද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥා යන ධර්මතාවයන් සමව වඩන්නය” කියල. ඉහත ධර්මය ටජ්මහල් සිහිවටනය ඉදිකළ ආදරවන්තයන් දෙදෙනා දැන ගෙන සිටියේ නැහැ. එම නිසා ම ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහොතේ ජීවමානව තිබුණත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම් ප්‍රශ්නාර්ථයක් මයි.
අපි හැමෝගේ ම ආදර බැඳීම් ඉහත ධර්මතාවන් සමග ගලපා බලන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එසේ නොවුණොත්, ඔබගේ මේ ජීවිතයේ ඔය සුන්දර ආදරය පටිච්චසමුප්පන්න ඔබේ ඊළඟ ජීවිතයේදී තවත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලබන්න තවත් සංස්කාරයක් ම වේවි. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ගෙන් පෝෂණය නොවූ ඔබගේ ආදරය, පින්වත් ඔබට භවයෙන් භවය එකිනෙකට වෙනස්, ආදරවන්තයන් සහ ආදරවන්තියන් සොයා දෙනව. භික්ෂුව කැලයේ වැඩ සිටිනකොට බොහෝම සුන්දර පෙම්වතුන්, පෙම්වතියන් මුණගැසෙනවා, කුටිය අවට නිරතුරුව ම සැරිසරන මොණරුන්, සෙබඩියන්, වළිකුකුළන්, වළිකිකිළියන්, වඳුරන්, වැඳිරියන්, රිළවුන්, රිළවියන්. මේ සුන්දර ප්‍රේමවන්තයන්ගේ තිරිසන් ලෝකයේ ආදරය කිරීම් දකිද්දී, අනේ අපොයි අතීත මනුෂ්‍ය ආදරයක අකුසල් විපාකයන් ගේ ඵලයන් හැටියට මයි, භික්ෂුව තිරිසන් ආදරවන්තයින්ව දකින්නේ. අවිජ්ජා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ උපකාරයෙන් ආදරය භවයෙන් භවය, දිව්‍ය මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත බැඳීම් සොයාගෙන යනවා. ඒ නිසා ම මේ සටහන කියවන පින්වත් ඔබ අවංක ආදරයට බොරු කරන්න, වංචා කරන්න එපා. ඔබ එහෙම කළොත් අනාගත පටිච්ච සමුප්පන්න භවයේදී ආදරය ඔබට සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…