සුන්දර වස්සාන කාලයෙන් හරි අඩක් ම ගෙවී ගිහිල්ලා. අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට කුටියෙන් බැහැරට වැඩීමට පෙරාතුව, මොහොතක් ඇස්දෙක පියා ගෙන ආවර්ජනය කළා, “මා විසින් සමාදන් වුණා වූ වස් ශීලය, මේ උදෑසන නැවත ආවර්ජනය කරමි”යි කියල. භික්‍ෂූන් වන අපි, සෑම උදෑසනක ම අප සමාදන් වූ වස් ශීලය අමතක වීමට ඉඩ නොදී ආවර්ජනය කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “අනාගතයේ යම් දවසක සූත්‍රගත ධර්මයන් සහ අභිධර්මයන් අතුරුදන්ව ගිය ද, උතුම් විනය ධර්මයන් ජීවමානව තිබේ නම්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව තිබෙනවා”ය කියල. උපසම්පදා භික්ෂූන් වන අපි උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ආරක්‍ෂාව උදෙසා, සහ ශක්තිය උදෙසා කැප වෙන මොහොතක් පාසා අපි උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂකයින් ම වෙනවා.
පසුගියදා භික්ෂුව වැඩසිටින කුටියට තරුණ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේ තුන් සිවුරත්, පාත්‍රයත් දරාගෙන දහවල් එකොළහයි තිහට පමණ කුටියට පැමිණියේ, පොලිතීන් කවරයක කෙසෙල් ඇවරියකුත් දමා ගෙනයි. දෙපට සිවුර උරහිසේ දමා ගෙන, පාත්‍රය උරහිසේ එල්ලා ගෙන, කෙසෙල් ඇවරියක් පොලිතීන් කවරයක දමාගෙන වැඩම කළ තරුණ භික්ෂුවගේ දර්ශනය, හරිම අවලස්සන දර්ශනයක්. උන්වහන්සේ කුටියට වැඩම කරල, හිටගෙන සිටින ඉරියව්වෙන් ම, කෙසෙල් ගෙඩි දෙකක් වැළඳුවා. එය ඊටත් වඩා අප්‍රසන්න දර්ශනයක්. මෙය සටහන් තබන භික්ෂුව උන්වහන්සේට අවවාද කළේ, “කරුණාකර ඔබ වහන්සේ තනිව කුටිවල වැඩ සිටීමට උත්සාහ කරන්නේ නැතිව වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ආරණ්‍යයක නැවතිලා විනය ඉගෙන ගන්න”ය කියල. උන්වහන්සේ පෙරළා භික්ෂුවට ප්‍රකාශ කළේ, තමන් හුදෙකලාවයි ඉන්න කැමති කියල. ශීලයෙන් දුර්වල හුදෙකලාව, සම්මා හුදෙකලාවක් නම් වෙන්නේ නැහැ. ශීලයෙන් දුර්වල හුදෙකලාව මිච්ඡා හුදෙකලාවක් බවට මයි පත් වෙන්නේ.
භික්ෂුවකගේ ශීලයෙන් ශක්තිමත් ඉන්ද්‍රිය සංවරය, ඒ කියන්නෙ ශීල විශුද්ධිය, එම සුන්දර ශීල විශුද්ධිය තුළින් උපදිනා චිත්ත විශුද්ධිය හෙවත් සමාධිමත් සිත තමයි, භික්ෂුවක ගේ භික්‍ෂූත්වය අර්ථවත් කරන සුන්දර ම හැරවුම් ලක්ෂය වෙන්නේ. “එම නිසා තරුණ උපසම්පදා ස්වාමීන් වහන්සේලා කැලයේ හුදෙකලා වීමට කලබල නොවී, සිත කලබල කරන ඉන්ද්‍රිය අසංවරය, පාලනය කොට ගැනීමට වැඩිහිටි ගුරු ඇසුර හෙවත් නිස සමාදන් වීම අත්‍යවශ්‍ය විනය කාරණාවක් වෙනවා”ය කියන කාරණය තේරුම් ගත යුතු වෙනවා.
උතුම් ශීලයට පුළුවන් සිත සමාධියෙන් දැහැන් ගත කරන්නට. පින්වත් ඔබට මේ සටහන තබන රාත්‍රිය, හරිම නිහඬ රාත්‍රියක්. රැහැයියෙකු ගේ කෑගැසීමක්වත් ඇසෙන්නේ නැහැ. කැලෑ පරිසරය ම භාවනාවක දැහැන් ගත වෙලා සිටිනවා වගේ මයි. ශීලයේ අර්ථයන් ගැන අබමල් රේණුවක තරම් වත් නොදන්න, පරිසරයේ මේ නිහඬ දැහැන් ගත වීම, මිච්ඡා දැහැන් ගත වීමක් මයි. සතර මහා ධාතුවේ අකීකරු වායෝ ධාතුව කොයි මොහොතක හෝ පරිසරයේ සමාධිමත් දැහැන, එකම ඝෝෂාවක් බවට පත් කරාවි. එම ඝෝෂාව, බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකුට, ගැටීමට හේතුවක් නම් නොවේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෙකුට අවබෝධාත්මක ධම්මානුපස්සනාවක් පමණක් මය.
භික්ෂුවක ගේ හුදෙකලාව, ඝෝෂාවක් ඉදිරියේ කැඩී බිඳී යනවා නම්, එම භික්ෂුව පුහුණු කොට තිබෙන්නේ, ආර්ය හුදෙකලාවක් නම් නොවේ. එය හුදු හුදෙකලාව කෙරෙහි ඇලීමත්, ඝෝෂාව කෙරෙහි ගැටීමත් පමණක් මය. පරිසරය නිරතුරුව මතු කොට දෙන සතර මහා ධාතුවේ වෙනස් වීම්, අපි නිරතුරුව ම ධම්මානුපස්සනාව තුළින් මයි මතු කොට දැකිය යුත්තේ. පරිසරය තුළ සකස් වෙන හිරු රශ්මිය, වැස්ස, පින්න, ශීතල, නියඟ, සුළඟ, සතර මහා ධාතුවේ වෙනස් වීම් හේතුවෙන් නිරතුරුව ම, එකිනෙකට වෙනස් ප්‍රතිචාරයන් දක්වනවා. යම් වෙනස් වීමක් සකස් වෙන තැන, එම වෙනස් වීම කෙරෙහි, අපි ඇලීම් හෝ ගැටීම් ඇති කොට ගත හොත්, ඒ ඇලීම් සහ ගැටීමුත් වෙනස්වන ස්වභාවයෙන් ම යුක්ත බව තේරුම්ගත යුතු වෙනවා. සතර මහා ධාතුවේ කෙටි ආශ්වාදයත්, සතර මහා ධාතුවේ දීර්ඝ ආදීනවයත් නුවණින් දකින පින්වතා සතර මහා ධාතුවේ නිස්සරණය මතු කොට ගන්නේ මේ සියලු ධර්මතාවයන් ගේ අනිත්‍යභාවය මතු කොට දකින ධම්මානුපස්සනාවෙන් මයි.
යම් භික්ෂුවක් දක්‍ෂ නම් සෞම්‍ය රාත්‍රී සඳ කිරණ යනු, තේජෝ ධාතුවේ ආශ්වාදය වශයෙන් දකිමින්, එම තේජෝ ධාතුවේ ආශ්වාදය නමැති ධර්මතාව අනිත්‍ය බව දකින්න, පින්වත් ඔබ ඒ මොහොතේ සිටින්නේ සුන්දර ධම්මානුපස්සනාව තුළයි. පින්වත් ඔබ තුළ මහ දවල්, දහදිය වැගිරෙන තද හිරු රශ්මිය යනු, තේජෝ ධාතුවේ ආදීනවය බව දකිමින්, තද අව් රස්නය හේතුවෙන්, ගැටෙන තම සිත, අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් වශයෙන් දකින්න දක්ෂ නම් පින්වත් ඔබ අසහන කාරී දහවලක, සුන්දර ධම්මානුපස්සනාව තුළ නැවතී සිටින පින්වතෙක් වනු ඇත. මෙය සටහන් තබන භික්ෂුව මොහොතක් නාසයෙන් ඉහළට ගන්නා ආශ්වාසයට සිත යොමු කරමින්, එම ආශ්වාසය නැවත නාසයෙන් පිට කරන මොහොතේ, ආශ්වාස ප්‍රශ්වාස කයේ අනිත්‍යභාවය දකිමින් වර්තමානයේ සුන්දර ධම්මානුපස්සනාව තුළයි වැඩ සිටින්නේ. උතුම් ධම්මානුපස්සනාවෙන් මිදුණ සිත නිරතුරුව ම විඳීම් සොයාගෙන, රූප පසුපස්සේ අයාලේ ම යනවා. බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවෙන් බැහැරව අයාලේ යන සිත උපමා කරන්නේ, අත්තෙන් අත්තට පනින වඳුරෙකුටයි. මේ වඳුරා තෘෂ්ණාවේ ආහාරයෙන් විඳීම්, හඳුනා ගැනීම්, චේතනාවන්, දැනීම් නමැති අතු පතර සිත් සේ දුව පැන ඇවිදිනවා. උපාදානය නමැති ගසෙන්, භවය නමැති ගසට අවසානයේ පනින මේ වඳුරා පටිච්චසමුප්පන්නව දුක සහ සැප ඉදිරියේ සත්ත්වයා තිරිහන් කරනවා.
අගෝස්තු මාසයේ මේ ප්‍රදේශයට බලාපොරොත්තු රහිතව ඇද වැටුණු මහ වැස්සෙන් මළානිකව තිබූ ගහකොළ ආයෙමත් ළා කොළ පැහැයෙන් දලු දමලා. කුටිය අවට වනපෙත මගේ කොට ගෙන, තෘෂ්ණාවෙන් උපාදානය කොට ගෙන සිටින වඳුරු රංචුව, නැවුම් දලු කොළ වලට වහවැටිලා මේ දවස්වල ඉන්නේ හරිම ප්‍රබෝධයෙන්. මේ වඳුරු රංචුව දන්නවා නම්, මනුෂ්‍ය අපිත් ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරද්දී අපේ පංච උපාදානස්කන්ධයේ හැසිරීමත්, වඳුරෙක්ගේ අත්තෙන් අත්තට පැනීම වගේ මයි කියල, වඳුරන්ටත් ආඩම්බරයක් ඇති වේවි.
සුන්දර මනුෂ්‍යයින් වන අපි, ගස් වල දලු, කොළ සහ පල, රසට පිසලා ප්‍රණීතව ආහාරයට ගනිද්දී, වඳුරු රංචුව ගස් වල දලු, කොළ, මල් අමු අමුවේම තිත්ත, කර්කශ රසයට ආහාරයට ගන්නේ හේතුඵල ධර්මයන් නිසා මය. ධර්මානුකූලව සංස්කාරයන් විපාක දෙන්නේ පුදුමාකාර සාධාරණ ක්‍රමවේදයකටය. භික්ෂුවට මතකයි, වරක් දැඩි ලෙස අසාධ්‍යව සිටි පිළිකා රෝගී පින්වතෙක් බලන්නට ගිය අවස්ථාවේදී, එම රෝගී පින්වතා තමන් ඉදිරියේ තිබූ මිල අධික කිරිපිටි වර්ග සහ ආහාර වලින් පිරුණු අල්මාරිය පෙන්වා භික්ෂුවට, වචන ගොත ගසමින් කියනවා, “මේ මොන ආහාර පාන තිබුණත් මට මේවායින් දැන් ශත පහක වත් වැඩක් නැහැ. ඇල්වතුර පොදක් වත් මගේ උගුරෙන් පහළට යන්නේ නැහැ” ය කියල. ඉහත රෝගී පින්වතා එම කතාව කියන කොට භික්ෂුව හොඳටෝම දන්නවා, එම පින්වතා භික්ෂුව ඉදිරියේ මේ සිදු කරන්නේ, ධර්මයේ පාපොච්චාරණයක්ය කියල. සංසාරයේ ද්වේශයෙන් සිදු කොට ගත් සිල්පද බිඳීම්, මේ පින්වතාට සුවසේ විපාකයන් ලබා දෙනව. අහිංසක රෝගී පින්වතුන්ලා, ඒ වගේ මයි ආර්ථික ප්‍රශ්න වලින් පීඩිත අහිංසක පින්වතුන්ලා අපි ළඟට ඇවිල්ලා ගොඩාක් දුක් ගැනවිලි කියා සිටිනවා. එවැනි පින්වතුන්ලා ගේ සතුටකින් තොර, දුකේ කතාවන් නිහඬව අසා සිටීම පමණක් මයි අපිට ඉතිරි වෙලා තිබෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “දැඩි මසුරු සිතින්, තමන් දන් නොදෙන, දන් පූජා කරන අනුන්ව වළක්වන, මසුරු පුද්ගලයා සතර අපායට වැටෙනවා”ය කියල. “මෙවැනි මසුරු පුද්ගලයින්, ඊළඟ ජීවිතයේදී මනුෂ්‍ය කුලයක ඉපදුණොත්, ධනය සහ කාම සම්පත් දුකසේ ලබන, දිළිඳු කුලයක උපත ලබනවා”ය කියල. “ඔවුන් යමක් බලාපොරොත්තු වෙයිද, ඒවා ඉටු නොවේය” කියල. ඉහත ධර්මයට අදාළව, කාම සම්පත්, නිරෝගී භාවයන් ලබන්නට අපි පසුපස ඊට අදාළ සංස්කාරයන් දුර්වල නම් අපි කෙසේ සැප ලබන්නද..? අපි හැමෝම සැපයට කැමතියි. මහත් බලය ඇති, මහත් ධනය ඇති පින්වතුන්ද කාම සම්පත් වලින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණා වූ, ශීලයෙන් ආරක්‍ෂාකාරී වුණා වූ සුන්දර සම්මා වායාමයන් සැපය උදෙසා පින්වත් ඔබේ ජීවිතයට එකතු කොට ගන්න”ය කියල.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් භික්ෂුවක් තුළ ඉවසීම ද, අවබෝධය ද, ඤාණයන් ද, යන මේ ධර්මයෝ ඇති ද, එවැනි නුවණැති, ඔහු කුලවතෙක් වුව ද, හීන කුලයක වුවද සිව්පසයෙන් පිදීමට සුදුසුය” කියල. “එවැනි උතුමන් උදෙසා, සිත්කලු අසපු කරවන්න, ආරණ්‍යය, පැන් පොකුණ, සක්මන් මළු කරවන්න, ආහාර ද, පැන් ද, කැවිලි ද, ගිලන්පස ද දන් දෙන්න”ය කියල. “සැදැහැවත් උවසු උවැසියන් ආහාර පිළියෙල කොට, නිරතුරුව දාන ශාලාවේ දෙව, දෙව යැයිම හඬ නගනවා. ඒ පින් දහර දන් දෙන්නහුගේ ජීවිතය, වර්ණය, සැපය, බලයෙන් තෙමා ලනවා” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පින්වත් ඔබ ලෝභ සිත්, ද්වේශ සිත්, මෝහ සිත් දුර්වල කොට ගෙන මයි දන් පූජා කොට ගත යුත්තේ. පින්වත් ඔබගේ දානමය චේතනාව ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් ගෙන් කිළිටි වෙනවා නම්, අකුසල් මූලයන්ගෙන් පෝෂණය වූ එවැනි දානයක් විපාකයට එන්නේ සංසාරයේ තමන්ට පෙනි පෙනී මිල අධික ප්‍රණීත ආහාරපාන තිබුණත් ඒවා පරිහරණය කරන්න බැරි රෝගී භාවයන්ට පත්වෙලා මයි. එසේත් නැත්නම් අමු අමුවේ ම, දලු කොළ, පල බුදින වඳුරන් වැනි සතුන් බවට පත්වෙලා මයි.
මෙය සටහන් තබන භික්ෂුව මොහොතක්, ඇස්දෙක පියාගෙන දකිනවා, “අපි මේ අත් දකින සැප සහ දුක් කවුද අපිට දෙන්නේ” කියල. භික්ෂුව ළමා කාලයේදී සිතුවේ, “මේ සැප සහ දුක් මට දෙන්නේ මගේ දෙමාපියන්ය” කියල. තරුණ කාලයේදී භික්ෂුව සිතුවා, “මේ සැප සහ දුක් මට දෙන්නේ රට කරවන රජය විසින්ය” කියල. දැන්නම් භික්ෂුව හොඳටෝම දන්නවා, සැප සහ දුක් කවුද අපිට දෙන්නේ කියන තැනදී ම අපි ධර්මයේ දෘෂ්ටියකට වැටෙනවාය කියල. එම දෘෂ්ටිය පුද්ගල සංඤ්ඤාවට බැසගත් ආත්මීය දෘෂ්ටියක්. පින්වත් ඔබ, ඔබ ඉදිරියේ දිග හැරෙන සැප සහ දුක් වේදනාවන් පටිච්ච සමුප්පන්නව දකින්න. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙන ඵස්සය, තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ ඵලයයි, සැප සහ දුක කියන්නෙ.
මෙම සටහන කියවන පින්වත් ඔබ, මොහොතක් පොතේ පිටුවෙන් සිත මෑත්කොට නුවණින් දකින්න, මොහොතින් මොහොත ඔබ තුළ සකස් වෙන්නේ, සැප හෝ දුක් වේදනාවක් නම්, එම විඳීම ඔබට කවුරුවත් දුන්න දෙයක් නොවේ. එම වේදනාව, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ හේතුඵල ධර්මයන් මය. “උතුම් සද්ධර්මයක් පරිශීලනය කරමින් වුවද, පින්වත් ඔබ මේ මොහොතේ පසු වන්නේ, සැප හෝ දුක් වේදනාවක් තුළ නම්, පින්වත් ඔබ වර්තමානයේ ජීවත් වෙන්නේ, මිථ්‍යා ප්‍රතිපදාවක් තුළ” යැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අවිද්‍යාව හෙවත් දුකේ බීජය, ඵස්සය නමැති තෙත් පොළවේ සක්‍රීයව තිබෙන තාක් කල්, සැප, දුක් සහ උපේක්ෂාවේ වල් පැලෑටි නැවත නැවත අපි උපද්දවනවා. එම නිසා පින්වත් ඔබ දක්‍ෂ විය යුතුයි, සංස්කාරයන් සකස් කොට දෙන මිථ්‍යා ප්‍රතිපදාවෙන් මිදී ධර්මයේ උපේක්‍ෂාව ඔබ තුළ ඇති කොට ගෙන, සම්‍යක් ප්‍රතිපදාව ජීවිතයට එකතු කොට ගන්න.
දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් විමසනවා, “භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ කවුරුන්ද සැප, දුක්, උපේක්‍ෂා විඳීම් කෙරෙහි උත්සාහ රහිතව, ජීවත් වෙන්නේ” කියල. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනව, “විඳීම් කෙරෙහි උත්සාහ රහිතව වාසය කරන්නේ රහතන් වහන්සේලා පමණක් මය” කියල.
රහතන් වහන්සේ නමක් තුළ, තමන් උතුම් රහත් ඵලයට පත් වීමට පෙර, උතුම් රහත් ඵලය පිළිබඳව යම් ඡන්දයක් තිබුණා ද උතුම් රහත් ඵලයට පත් වූ කල්හි එම ඡන්දය සංසිඳී යනවා.
රහතන් වහන්සේ නමක් තුළ, තමන් උතුම් රහත් ඵලයට පත් වීමට පෙර, උතුම් රහත් ඵලය පිළිබඳව යම් වීර්යයක් තිබුණා ද උතුම් රහත් ඵලයට පත් වූ කල්හි එම වීර්යය සංසිඳී යනවා.
රහතන් වහන්සේ නමක් තුළ, තමන් උතුම් රහත් ඵලයට පත් වීමට පෙර, උතුම් රහත් ඵලය පිළිබඳව යම් අධිෂ්ඨානයක්, චිත්තයක් තිබුණා ද, උතුම් රහත් ඵලයට පත් වූ කල්හි, එම චිත්තය සංසිඳී යනවා.
රහතන් වහන්සේ නමක් තුළ, තමන් උතුම් රහත් ඵලයට පත් වීමට පෙර, උතුම් රහත් ඵලය පිළිබඳව යම් විමමසාවක් තිබුණා ද උතුම් රහත් ඵලයට පත් වූ කල්හි එම විමමසාව ද සංසිඳී යනවා. “මෙසේ ඇති කල්හි, එම උත්තමයෝ ඒකාන්තයෙන් ම ශාන්ත වූවෙක් වෙන්නේය” කියල, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේලා තුළින් ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවෝද සංසිඳී යනවා…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…