පරිසරය මළානික කළ නිදිබර අහස්කුස, මේ ළදරු රාත්රියේ භික්ෂුවටත් ඇය සේම නිදන්නට යැයි ඉඟි කරද්දී, භික්ෂුව ඇයට නොඅවනතව ධර්මයේ ඇසින් නිදිබර ඇය දෙස බලද්දී භික්ෂුව තුළින් සතර මහා ධාතුවේ අනිත්යභාවය හෙවත් ධාතුමනසිකාරය හිමිදිරි උදෑසනක් සේ අවදි වූයේ පංච නීවරණයන්ට සහ නින්දට සිත් සේ අවනත වන ඇයට සංසාරය තව කොතෙක් නම් දුර වෙයි ද යැයි භික්ෂුව තුළ සකස් වූ සිත ද චිත්තානුපස්සනාවෙන්ම දකිමින්ය. සංසාරයක් පුරාවට ඇය ගැන සිතුවා දැන් හොඳටෝම ප්රමාණවත්ය. අද අපට ඉතිරිව ඇත්තේ පංච නීවරණ ධර්මයන්ට රුචි ලෝකය තුළ හිමිදිරි උදෑසනක් සේ අවදිව සිටීම පමණක්මය. උතුම් ධර්ම විනයන් ආදරයට විලංගු දැමූ ජීවිතයක මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවෝ සති සම්බොජ්ඣඬ්ඟයේ වාන් දොරටු වලින් දෝරෙ ගලා යද්දී, බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා කළ යුත්තේ ලෝකය අල්ලා ගැනීම නොව ලෝකය ලෙහා දැමීමය.
ඊයේ හවස් යාමයේ සිල් සමාදන් වූ සිල් ඇඳුම පිටින්ම භික්ෂුව මුණ ගැසීමට පැමිණි විවාහක තරුණ මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ බිරිඳ මම සිල් සමාදන් වෙනවාට කැමතිම නැහැ. සංඝරත්නයට උපස්ථානය කරනවාට ඇය කැමති නැහැ. පසුගිය දවසක ඇය සංඝයාට චෝදනා කරද්දී, මම, මගේ බිරිඳට වැඳලා කිව්වා, මට බණින්න නමුත් සංඝයාට බැණලා අපාගත වෙන්න එපාය කියලා. ඒත් ඇය ඒවා අහන්නේ නැහැ. ඊයේ සවස මම සිල් ඇඳුම් සූදානම් කරද්දී, ඇය මා සමග ගැටීමක් ඇතිකොටගෙන ඇය කියනවා, සිල් සමාදන් වෙන්න ගියොත්, ඔයාව ගෙදරින් එළවනවාය කියලා. එම තරුණයා භික්ෂුව මුණ ගැසීමට පැමිණ, භික්ෂුවගෙන් අහන්නේ කුඩා දරුවන් දෙදෙනෙක් සිටින මම, මුල්තැන දිය යුත්තේ ධර්මයට ද, එසේත් නැතිනම් පවුලේ සමගියට ද කියලා. භික්ෂුව බොහෝම විවෘතව ප්රකාශ කළේ, ඔබ මුල් තැන දිය යුත්තේ පවුලේ සමගියට බවයි. පිංවත් ඔබ පවුලේ සමගියට මුල් තැන දුන්නොත් පමණයි, ඔබ ධර්මය තුළ සිටියා වෙන්නේ. බිරිඳට දොස් කියලා, වැරදි කියලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය මාරයාය කියලා. මාරයා යම් තැකක ද එතැන කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවය තිබෙනවා. එම නිසා පිංවත් මහත්තයෝ ඔබගේ බිරිඳ සංඝරත්නයට චෝදනා කරන්නේත්, පිංවත් ඔබ බිරිඳට චෝදනා කරන්නේත් අවිද්යාව කියන එකම කාරණය නිසාය කියලා තේරුම් ගන්න. එවිට පිංවත් ඔබට තේරේවි සමගියෙන් මිසක, අසමගියෙන් මේ ප්රශ්නය විසඳා ගන්න බැහැය කියන කාරණය.
ආදරය කරලා, කසාද බැඳලා, රූපයේ ආශ්වාදය සිත්සේ කාලා බීලා, සතුටු වෙලා රූපයේ කෙටි ආශ්වාදය පෑල දොරින් පලා යද්දී, එතැන ඉතිරි වෙන්නේ, අසමගිය, ද්වේශය පමණක්මයි. ධර්මයෙන් නොපුහුණු සිතක් කෙසේ නම් මේ අභියෝගයන් ජය ගන්න ද? ඔබ තුළ සකස්වෙන අකුසල් සිත් චිත්තානුපස්සනාව අභියස නවතා, ඔබගේ ඵස්සය අභියස ලෝකය දණ ගස්සවන එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. විශ්වාසයෙන් දුක තුනී කරන එම මාර්ගය ඔබේ සහකරුවා, සහකාරිය කොටගන්න. එවිට ඔබේ අකීකරු බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ඔබට විතර්කයක් නොව, මාර්ගයට කමටහනක්ම වේවි. මෙම සටහන තැබීමට පෙර දින රටේ කොරෝනා මරණ එකසිය අනූවක් කියලා කුටියේ කැපකරු මහත්මයා මතක් කළා. තැපැල් ප්රමාදයන් නිසා මේ ලිපි කවදා පළවෙයි ද දන්නේ නැහැ. මේ ලිපිය පළවෙනකොට කොරෝනා මරණ අඩුවෙලා තිබේවි. මෙච්චර සද්ධර්මය ඇසෙන රටේ, මෙච්චර පිංකම් සිදුවෙන රටේ මෙච්චර කොරෝනා විනාශයක් සිදුවුණේ ඇයි ද කියලා, එම විනාශයට වගකිව යුත්තේ කවුද කියලා පිංවත් ඔබ සිතන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාක දෙන හැටි සිතන්න යන්න එපාය කියලා. පිංවත් ඔබ මේ වියරු කොරෝනා අකුසල් කර්මය විපාකදෙන හැටි සිතන්න ගියොත්, මේවාට වගකිව යුත්තේ කවුරුන් ද යැයි සිතන්න ගියොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ උමතුභාවයට පත්වේය කියලා. මෙතන දී උමතුභාවය කියලා කියන්නේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙලා, මිථ්යා දෘෂ්ටිය ශක්තිමත් වෙනවාය කියන කාරණයයි.
පිංවත් ඔබ, රටේ මාධ්යය සහ මුහුණු පොත් දෙස හොඳින් බලන්නකෝ. මේ සිදුවෙන කොරෝනා අකුසල් සංස්කාර විනාශයට පක්ෂව සහ විපක්ෂව මොනතරම් නම් චෝදනා, විවේචන, මඩ ගැසීම් කර ගන්නවා ද කියලා. මේ විපාක දෙන කොරෝනා අකුසල් කර්මයට අහවලා වගකිව යුතුයි කියලා, කී දෙනෙකුට චෝදනා කරනවා ද කියලා. ගෞරවනීය පිංවත, “කට” තිබෙන පළියට කෑ ගසමින්, චෝදනා, විවේචන කරමින්, “අත” තිබෙන පළියට ද්වේශයෙන් සටහන් තබමින් සිතුවිලි නැගෙන පළියට වැරදිකරුවන්වම සොයමින් සමාජය නටන මේ නෙයියාඩගම් දෙස බලද්දී, කර්මය විපාක දෙන හැටි සිතන්න යන්න එපා. කර්මය විපාක දෙන හැටි සිතන්න ගියොත්, පිංවත් ඔබ උමතු වෙයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ විවෘතව බබලන ඒහිපස්සික ගුණය මිස ඔබ මේ දකින්නේ වෙන අන් කවරක් ද?
ගෞරවනීය සද්ධර්මයට කීකරු පිංවත, දිනකට කොරෝනා මරණ එකසිය අනූවක් සිදු වුණත්, කොරෝනා යකා ඔය කියන තරම් කළු නැහැ. ඔය කොරෝනා යකා නිසා, පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරු වී වර්තමානයේ එකිනෙකාට චෝදනා, විවේචන, ද්වේශය, පළිගැනීම ඇතිකොට ගනිමින් රැස්කොට ගන්නා වියරු අකුසල් නම්, අකුසලයේ තිත්තම තිත්ත කළු යකෙක්මයි. අසිහියේ කළු තීන්තෙන් ඔබ, ඔබ තුළම සිතුවම් කොටගන්නා මේ තීන්ත කළු යකා, ඔබව මේ මාරාවේශයෙන් ගොඩ කරන්නේ අනාගත මෘග සංඥා කෝච්චියට බව නුවණින් තේරුම් ගන්න. පීලි දෙක මත දුවන ලංකා දුම්රිය සේවය මේ මොහොතේ නොදිව්වත්, තෘෂ්ණාවේ ඉන්ධන වලින් ඇලීම් සහ ගැටීම් පීලි දෙක මත මාරාවේශයෙන් දුවන මෘග සංඥා කෝච්චිය පිංවත් ඔබ අසිහියෙන් නිදාගත් විට පවා නින්දේදීත් සිහිනෙන් දුවන බව තේරුම් ගන්න ඕනේ. පිංවත් ඔබ, ඔබේම හෘද සාක්ෂියට තට්ටුකොට අහන්නකෝ මේ කොරෝනා අකුසලය විපාකයට පැමිණි මොහොතේ පටන් මේ දක්වා ඔබේම පටිච්චසමුප්පන්න සංස්කාර මාරයාට ඔබම ඇලීම් සහ ගැටීම් හේතුවෙන් අකුසලයේ කළුම, කළු තීන්ත බාල්දි කීයක් ඔබම ගෑවා ද කියලා. පිංවත් අපගේ සති සම්බොජ්ඣඬ්ඟයේ කණ්ණාඩි මේසය, උතුම් සද්ධර්මය නුවණින් නොවිමසා බැලීම හේතුවෙන් අසිහියේ මළකඩ බැඳෙද්දී, අපිට පෙනෙන්නේ අධර්මයේ ප්රතිබිම්බයන්මයි.
පිංවත, ඔබගේ සති සම්බොජ්ඣඬ්ඟයේ කණ්ණාඩි මේසයත්, “අසිහියේ” මළකඩ බැඳිලා ද කියලා නුවණ මෙහෙයවා හොඳින් බලන්න. පිංවත් ඔබට මතකනේ පසුගිය දිනවල දියව්, වරෙව්, ගසව් යැයි මාර භාෂාවෙන් කතා කරමින් පෙළපාලි ගිය හැටි, උද්ඝෝෂණය කළ හැටි. අපි හැමෝගේම සති සම්බොජ්ඣඬ්ඟ කණ්ණාඩි මේසයේ අසිහියේ මළකඩ බැඳිලා, මාර භාෂාවෙන් මාරයාටමයි අමතන්නේ, මාරයාවමයි සරණ යන්නේ. මේ ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේව දුක අපිට මේ කොරෝනාව නිසා පමණක් පැමිණි දුකක් නොවේ. මේ ජරා, ව්යාධි, මරණ දුකට පටිච්චසමුප්පන්නව කල්ප ගණන් ඈත ඉතිහාසයක් තිබෙනවා. කෙසේ නම් අපි මේ දුකේ අතීත ඉතිහාසය දකින්න ද? ඇලීම් සහ ගැටීම් හේතුවෙන් සකස්වෙන පංච නීවරණයන් දිවා, රාත්රී ඔඩුදුවන ජීවිතවල කෙසේ නම් ඉන්ද්රිය සංවරභාවයක් පිහිටන්න ද? තොරතෝංචියක් නැතිව ඇති වී තිබෙන විනාශයට වගකිව යුත්තන් සොයමින්, එකිනෙකාට චෝදනා කරගනිමින්, බොරු ප්රචාරයන් කරමින් අපි මේ සිදුකරමින් සිටින්නේ ප්රශ්නයට සැබෑම ධර්මානුකුල වගකිවයුත්තා වන අවිද්යාවම, අවිද්යාවේ පෝෂක ධර්මය වන පංච නීවරණයන්ගේම පහස ජීවිත වලට එකතුකොට ගැනීමය. සැබවින්ම මේ සිදුවෙමින් පවතින කොරෝනා විනාශයට වගකිව යුත්තේ පිංවත් පාලක පිංවතුන්ලාගේ සහ පිංවත් ජනතාවගේ චතුරාර්ය සත්යය නොදැනීම කියන අවිද්යාවමයි. අවිද්යාව හේතුවෙන්ම සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා අවිද්යාව ඔබ තුළම සඟවා, මමත්වයේ දැඩිභාවයෙන් අවිද්යාව වසා තබා, ඔබේම ඵස්සය ඇලීම් සහ ගැටීම් වලින් තෙත්කොට නැවත, නැවත අවිද්යාවේ සොරදෙටුවාම පෝෂණයකොට දෙනවා. අවිද්යාව දසකුසල් ධර්මයන්ට කීකරු නැහැ. අවිද්යාව කීකරු තමන්ගේම සුරතල් දරු පැටියා වන මමත්වයේ දැඩිභාවයට පමණක්මයි. අපි මේ ලිපි පෙළින් කොතෙක් නම් ලියා තිබෙනවා ද, මේ කොරෝනා අකුසලය යටපත් කොටගෙන නැගී සිටීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතුකොට ගන්නය කියලා. රටේ දේශපාලන නායකයින් රටට ප්රසිද්ධියේ ප්රකාශ කළ යුතුයි, අපි සියල්ලෝම මේ විපාක දෙන කොරෝනා අකුසලය යටපත් කොටගෙන නැගී සිටීමට ශීලයේ, මෛත්රියයේ, දානයේ ශක්තිය ජීවිත වලට එකතුකොට ගනිමු කියලා. අපේ රටේ පාලක පිංවතුන් එහෙම කියන්න ලැජ්ජයි. වර්තමානයේ රාජ්ය නායකතුමන්ලාගේ වර්ණය, සැපය, බලය දුර්වල වෙලා තිබෙන්නේ. ඒ නිසාම සෑම මොහොතකම තම බලය අභියෝගයන්ට ලක් වෙනවා. කරුණාකර මහා සංඝරත්නයට සිවුපසයෙන් ඇප උපස්ථානයන් සිදුකොට වර්ණය, සැපය, බලය ශක්තිමත් කොටගන්න පාලක පිංවතුන්ලා දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෘෂ්ණාවේ වැඩිභාවය යම් තැනක ද, දුකේ වැඩිභාවය එතැන තිබෙනවාමයි කියලා. භික්ෂුව කරුණාවෙන් මේ සටහන් තබන්නේ, පිංවත් ඔබේ නිවැරදිභාවය උදෙසාමයි.
පිංවත් ගිහි පිංවතුන්ලා මේ දවස්වල අපිට සිවුපසය පූජා කරන්නේ, ගොඩාක් අමාරුකම් මැද්දේ. ඒ නිසාම අපි, අපිට අවශ්ය අවමය පිළිගන්න දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයින් මේ අමාරු අවස්ථාවේ ගිහි අපි ගැනත් සිතනවාය කියන සිතුවිල්ල අපිට සිවුපසය පූජා කරන ගිහි පිංවතුන්ලා තුළ ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය තමයි මේ උතුම් ශාසනයේ අනාගත ශක්තිය වෙන්නේ. ලෝකයේ සශ්රීකම පුණ්ය කෙතේ අස්වනු දැන් ගොඩාක් අඩුවෙලා. ඒ නිසාම මේ අභියෝගාත්මක මොහොතේ අපි සිහි නුවණින්මයි, ප්රත්යවේක්ෂාවෙන්මයි අපිට ලැබෙන සිවුපසය පරිහරණය කළ යුත්තේ. අපි කාමච්ඡන්දයන් වඩමින්, මුහුණු පොත් සුරතල් කරමින් මේ අභියෝගාත්මක සිවුපසය පරිහරණය කළොත්, අපිට සාංසාරිකව ගොඩාක් ණය ගෙවන්නට සිදුවේවි.
උතුම් සත්පුරුෂ ධර්මයෝ, ලෝකයාට යහපතක්මයි කියලා දෙන්නේ. ඔබව දුකෙන් දුරස්කොට, සැපයට මාර්ගයක්මයි කියලා දෙන්නේ. ගෙවීගිය වසර එකොළහක් පුරාවට සතිපතා ලක්ෂ සංඛ්යාවක් පිංවත් පාඨක ජනතාවට, ‘ඉරිදා දිවයින සංග්රහය’ උතුම් ධර්ම දානය උදෙසා නිර්ලෝභීව පූජා කළ මේ පත්තර පිටු භාගය තුළින් රැස්කොටගත් අයෝමය විදර්ශනාමය ධර්ම දානමය කුසල් ශක්තියෙන්, අතිගෞරවනීය මහා සංඝරත්නයටත් පිංවත් ‘දිවයින’ ආයතනයේ සභාපතිතුමන්, එම පිංවත් නෝනා මහත්මියටත්, දිවයින කාර්යය මණ්ඩලයේ සියලුම පිංවතුන්ලාටත්, පිංවත් රටවාසී සියලුම පිංවතුන්ලාටත් නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ ලැබේවා යැයි කියලා, මේ සුන්දර රාත්රියේ විදර්ශනාත්මක සප්ත බොජ්ඣඬ්ඟයෝ වැඩුණ සිතින් ආශීර්වාද කරනවා.
පූජ්ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ