සසර ගමන ඉතා දුක් සහිත ය. එයින් අත්මිඳෙන්නට සියලු බැඳීම් අත්හල යුතුය. එය වටහාගන්නට සුවිශේෂී වූ නුවණක් අවශ්‍ය වේ. එය
“විදර්ශනා නුවණ”
යනුවෙන් හඳුන්වනු ලැබේ. විදර්ශනා නුවණ යනු කුමක් ද? එය කෙසේ සකස් කරගත යුතුද යන්න පිළිබඳ ඔබට යම් ගැටලුවක් මතුවනු ඇත.
ඔබ එදිනෙදා ජීවිතයේ දී විවිධ පින්කම් සිදුකරනු ඇත. එයින් රැස්කරගත්තා වූ කුසලානිසංසයන්ගේ අනුභාවයෙන් මීළඟ අත්භවයේදී මා දෙවියකු හෝ බ්‍රහ්මයකු වේවායි ප්‍රාර්ථනා කරන්නට ඇත.එහෙත් දෙවියා හෝ බ්‍රහ්මයා ද අනාගත පංච උපාදාන ස්කන්ධයකි. එය දුකක් කියා වටහා ගන්නා අතරම සියලුම සංස්කාරයන් අනිත්‍ය බව ද වටහා ගන්නට හැකිනම් ඔබ කෙරෙහි පෙර කී විදර්ශනා නුවණ සකස් වී ඇත. සියලුම සංස්කාරයන්හි නැසෙන සුළු බව, අනිත්‍ය බව වටහා ගන්නට යමකුට හැකිනම් එම පුද්ගලයා තුළ විදර්ශනා නුවණ සකස් වී ඇත. මේ සසර පිළිබඳ තව තවත් පැහැදිලිි කරන ලොව්තුරා බුදු රජාණන් වහන්සේ සසරෙහි සැරිසැරීමේ ඇති නිසරු බව පිළිබඳ මෙලෙස උපමාවකින් පැහැදිලි කරන්නට විය.
දිනක් බුදු රජාණන් වහන්සේ නර්මදා නදිය අසල විවේක සුවයෙන් වැඩසිටී. එතැනට පැමිණි බමුණකු උන්වහන්සේ වෙත මෙවැනි පැනයක් යොමු කළේ ය.
“ස්වාමීනී… අතීතයේ මෙලොවෙහි කොපමණ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහළ වී තිබෙනවාද..?
එවිට බමුණාගේ පැනයට පිළිතුරු දෙන්නට සිතූ බුදු රජාණන්වහන්සේ නර්මදා නදිය දෙස බලා පෙරළා බමුණා වෙත මෙවැනි පැනයක් යොමු කළහ.
“බමුණ, මේ නදියෙහි ආරම්භයේ සිට අවසානය දක්වා කොපමණ වැලිකැට සංඛ්‍යාවක් තිබෙනවාද?”
“ස්වාමීනී, එක් මිටකට ගතහැකි වැලිකැට සංඛ්‍යාව කිව නොහැකි විට මේ නදිය පුරා තිබෙන්නා වූ වැලිකැට සංඛ්‍යාව කෙසේ කියන්නද?” බමුණා පිළිතුරු දෙන්නට විය.
මේ භව ගමනේ අප්‍රමාණ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පහළ වී තිබේ. උන් වහන්සේලාට පුද කළ මල් පහන් ප්‍රමාණය මෙතෙකැයි කියා කිව නොහැකි යි. උදාහරණයක් ලෙස එය මෙසේ පැහැදිලි කළ හැකියි. ඔබ පුදකළ මල් සියල්ල එක් ගොඩකට ගතහොත් ගිජ්ජකූට පර්වතය පවා පරාදයි. පහන් ආලෝකය එක් පිඩක් කළොත් හිරු රැස්වලටත් වඩා ප්‍රභාෂ්වර වේ. ඒ සා විශාල ප්‍රමාණයක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා උදෙසා මල්, පහන් පුදකොට තිබේ. මෙවැනි කාල වකවානු ගතකොට කල්ප විනාශයක් සිදුවන බවද බුදු දහමෙහි මෙලෙස සඳහන් වේ.
මෙතැන් සිට වර්ෂ දෙසියයක් දෙසිය පණහක කාලය ගතවී ගිය තැන ධර්මය නැතිවී යයි. ධර්මයෙහි සන්දිට්ඨිකභාවය නැතිවී යන තැන චතුරාර්ය සත්‍යක් අසන්නට නොලැබේ. ආර්ය්‍යාෂ්ඨාංගික මාර්ගයක් අසන්නට නොලැබේ. එසේ කාලය ගත වූ පසු මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නට අවුරුදු ලක්ෂ ගණනක් ගත වේ. අවුරුදු අසූ දහසක් පමණ ආයුෂ තිබෙන මනුෂ්‍යන් බිහිවිය යුතු වේ. එයින් කියැවෙන්නේ වර්ෂ ලක්ෂ ගණනක බුද්ධ ශුන්‍ය කාලයක් වන බවයි. මෙය අබුද්ධෝත්පාද කාලයකි. මේ සමය ද මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට බ්‍රහ්මයන්ට මල් පහන් පුදන කාලයකි. ඉන් පසුව මෛත්‍රී බුදු රජාණන් වහන්සේ මෙලොව පහළ වේ. එසේ පහළ වන බුද්ධ ශාසනය වර්ෂ අසූ දහසක් පවතී. එම වර්ෂ අසූ දහසෙන් පසු කල්ප විනාසයක් සිදුවන බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සූර්යයන් හතක රශ්මියෙන් පොළොව අළු දූලි වේ. මේ සමය. කල්ප ගණනක බුද්ධ ශුන්‍ය කාලයකි.
මේ සමය වන විට අප සසරින් එතෙර වී නොමැති නම් නැවතත් මිත්‍යා දෘෂ්ටික ආගම්වාදීන් බවට පත්වේ. එසේ නම් විදර්ශනා නුවණින් කටයුතු කිරීම මෙයට හොඳම පිළිතුර වේ. එය වඩාත් පැහැදිලි කරන්නේ නම්, සසරට තිබෙන්නා වූ බැඳීමෙන් ඉවත් වී පරම සැපත වූ නිර්වාණාවබෝධය වෙත නොපසුබටව කටයුතු කළ යුතුය.
ඔබේ වටිනාකම හඳුනා ගන්න. ඔබ කවුද? ඔබෙන් සමාජයට වන මෙහෙය කුමක් ද? ඔබේ වටිනාකම කොතරම් ද? ඔබ එය වටහා ගැනීම වැදගත් වේ. ඔබ ශ්‍රී ලාංකික, බෞද්ධ, යම් කුලයකට අයත් අහවල් පුද්ගලයාගේ ඥාතිවරයා වශයෙන් ඔබ හඳුනා ගැනීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ. එසේ නම්, ඔබ කවුරුන්ද යන්න පිළිබඳ වටහා ගන්නේ කෙසේද..? එහිදී බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය, සද්ධර්මය ශ්‍රවණය, ධර්මය නුවණෙන් මෙනෙහි කිරීමෙන් ඔබ ඔබවම හඳුනා ගන්න යනුවෙනි. තමා කවුරුන් ද යන කරුණෙන් පරිබාහිරව ඔබට ඔබේ වටිනාකම හඳුනාගන්නට නොහැක.
අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් පිළිබඳ බුද්ධ දේශණාවේ සඳහන්වේ. තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, නිරය යනු මේ සතර අපායන්ය. තිරිසන් ලෝකය ඇසට ගෝචර වේ. එසේම අපාය සතරෙන් ප්‍රේත ලෝකය සහ නිරය යන දෙලොවෙහි සත්වයන් බොහෝ දුක් විඳින බව සඳහන් වේ. මෙමඟින් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කර තිබෙන්නේ මෙවැන්නකි. එනම්, සසර භය ඇති කරගැනීමට නම් මෙලොවෙහි විඳිනවාට වඩා දුක් කන්දරාවක් ප්‍රේත ලෝකය, නිරය තුළ විඳින්නට සිදුවන බව අවබෝධ කරගත යුතු බවයි. එසේ නම්. සසර භය ඇති කොටගෙන සසරින් එතෙර වීමේ මාර්ගය පිළිබඳ නිතර සිහිකළ යුතු බවට බුද්ධ දේශනාවෙහි සඳහන් වේ.
මේ පිළිබඳ සිතමින්, දහම ජීවිතයට ඇසුරු කර ගනිමින් ඔබේ වටිනා මනුශ්‍ය ජීවිතයෙන් ඵල ප්‍රයෝජන ලැබ ගැනීම වැදගත් වේ. මනුශ්‍යයකු ලෙස මෙලොව උපත ලැබුවේ පෙර පින් මහිමයෙනි. ඔබ මතු අත්භවයන්වලදී ද සතර අපායෙහි දුක් නොවිඳීමට කටයුතු කළයුතු වේ. මනුෂ්‍යයකු ලෙස උපත ලද ඔබ පින්කම් රැස් කරගත යුත්තේ නිර්වාණාවබෝධය පිණිස ය. නැතිනම් සසර ගමන තව තවත් දිගු කර ගැනීමට ඔබ ක්‍රියා නොකළ යුතු බව වටහා ගන්න…
තෙරුවන් සරණයි ….!!!!
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.