විදර්ශනා භාවනාව වැඩීමේ ආනිසංස.

විපස්සනා භාවනාවේ අනුසස් හැටියට අපි විශේෂයෙන් හදුන්වන්නට ඕනේ, අටලෝ දහමෙන් කම්පා නොවීමේ ශක්තිය ඇතිවෙනවා. මේ ලොකේ සියලු දෙනාම නිතර පෙරලෙන කරුණු අටක් තියෙනවා. ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංශා, සැප-දුක් කියල. මේ කිසි දෙයකට කම්පා වෙන් නෑ විපස්සනා වැඩූ තැනැත්තා.
ඒ වගේම බොහෝසෙයින් බොහෝ දෙනාගෙ සිත රාග, දෝශ, මෝහ ආදියෙන් නිතරම කැලඹෙනවා. ඒ කැලඹෙන ගතිය යට වෙනව මේ විපස්සනා භාවනාව කිරීමෙන්. ඒ වගේම විපස්සනා භාවනාව වැඩීමෙන් විශේෂයෙන්ම මේ භව සංසාරයෙහි, භව සංසාරයෙහි අනාදිමත් සංසාරයෙහි ජාති, ජරා, මරණ ආදී දුකින් පීඩිත වූ ස්කන්ධ පරම්පරාව සීමා බවට පමුණුවන්නා එක එක මාර්ග ඵල වලින්. සෝවාන් මාර්ග ඵලයකින් උතුම් අවස්ථාවට පත්වෙන්නෙ විපස්සනාව වැඩීමෙන්. එසේ වැඩූ තැනැත්තා සතර අපායෙන් සදහට මිදෙනවා.

මේ සංසාර ගමන ආත්ම හතකට සීමා වෙනවා. ආත්ම හතක් ඇතුලත සියලු සංසාර ගමන අවසන් කරලා අරිහත්වය සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වෙනවා. ඒ වගේම විපස්සනාව තවත් දියුණු කරගෙන සකදාගාමී කියන උතුම් මාර්ග ඵල ලබාගත්තහම මනු ලොවට එක වරක් පමණක් ඇවිල්ල රහත්වෙන තත්වයට පත්වෙනවා. ඒ වගේම තුන් වෙනි අවස්ථාව කියනවා අනාගාමී කියන මාර්ග ඵල ප්‍රතිලාභ කරගත් තැනැත්තා මේ විපස්සනා භාවනාව මාර්ගයෙන් ඒ තැනැත්තා නැවත මේ සතර අපාය, මනුලොව, දෙව්ලොව සය කියන ස්ථාන එකොලහට එන්නෙම නෑ. ඒකාන්තයෙන්ම බඹලොව ඉපදිලා නැවත ආපහු නොඑන හැටියට එහිදි අරහත්වය සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා.
ඒ වගේම විපස්සනා භාවනාව වඩලා යම් කෙනෙක් අරිහත්වය කියන උතුම් අවස්ථාව සාක්ෂාත් කරගත්තා නම් නැවත පුනර්භවයක් ඇතිවෙන්නෙ නෑ. උන් වහන්සේ පිළිබඳව උන්වහන්සේට කිසිම කායික මානසික දුක් පිඩාවක් දරාගන්න බැරි වෙන් නෑ. සියල්ලම උන් වහන්සේ මහ මෙරමෙන් දරාගෙන ආයුෂ සංස්කාර අවසන් වන තුරු ජීවත් වෙලා පිරිනිවන් පා වදාරනවා.
උන් වහන්සේට මේ සංසාර ගමන අවසන් වෙනවා ජාති දුක, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසාදී ඒ සංසාර දුක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා අසංඛතධාතු සංඛ්‍යාත අමා මහා නිවන සාක්ෂාත් කරගත්ත වෙනවා.
මෙන්න මේ නිසා අරිහත්වය, පසේ බුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය දක්වාම ලෝකොත්තර ධර්මයන් සාක්ෂාත් කර ගැනීම තෙක් මේ විපස්සනා භාවනාව ආනිසංස ගෙන දෙනවා කියන එක අපි කරුණාවෙන් සිහිපත් කළ යුතුව තියෙනවා.

සාදු සාදු සාදු
අති පූජනීය නා උයනේ අරියධම්ම හිම්පාණන් වහන්සේගේ දේශනාවකි.