ප්‍රශ්නය :-
ස්වාමීන් වහන්ස. එක් අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් ගමනක් වඩින කොට පාරේ අයිනේ වාහනයක් නතර කරලා තිබුණා. අළුත් වාහනයක්. ඒ වාහනය අනිත්‍ය වන හැටි වෙනස්වන හැටි මෙනෙහි කරමින්, අරමුණු කර කර ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගියා. ඒක දුර්වර්ණ වෙලා මලකඩ කාලා දිරාපත් වන හැටි හිත හිතා යන කොට එක් වරම වාහනය අතුරුදහන් වෙලා, ඒ වාහනය නරත කරලා තිබිච්ච භූමිය තියෙනවානේ. ඒ භූමිය හිතට අරමුණු වෙලා තියෙනවා. එතකොට ඒක අනිත්‍ය තාවයට සම්බන්ධ ප්‍රතිඵලයක්ද?
(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)
පිළිතුර:
මේ එයා මනෝමය වශයෙන් ඇතිකර ගත්තා වූ චිත්තයක් වෙන්න ඇති ස්වාමීන් වහන්ස. එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව වැඩීම නිසා ඇති වෙච්ච තත්ත්වයක් ස්වාමීන් වහන්ස, වාහනයක් තිබ්බ නම්. එයා විදර්ශනා නුවණින් ඒක දැක්කා. මොකද කවදාහරි දවසක අපි බුදුරජාණන් වහන්සේත් විදර්ශනා නුවණින් අපි දකින්න දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් සහිත මේ රූපකාය උන්වහන්සේ පිරිනිවන් පාපු වෙලාවෙ අළු ගොඩක් බවට ධාතූන් වහන්සේලා ගොඩක් බවට පත් වෙනවා මනසින් අපි දකින්න ඕන ස්වාමීන් වහන්ස.
බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළා වූ සම්මා සම්බුද්ධ ඤාණයත් පිරිනිවන් පාන මොහොතේ අනිත්‍ය වෙලා ගියා කියන කාරණය දකින්න ඕන. මේ තියෙන්නා වූ ධර්මයේ සන්දිට්ඨික ගුණයත් අනිත්‍ය වෙලා යනවා කියලා මනසින් දකින්න ඕන. අපි යම් මොහොතක් එනවා අපි රුවන්වැලි මහා සෑය මෙහෙම දැකලා, හදවතින් සාධුකාර දීලා, ඒ රුවන්වැලි මහා සෑයම මහ පොළොවට කඩා වැටිලා, ගිලා බැහැලා, භූමිකම්පා වලින්, සුනාමි වලින් විනාශ වෙලා, දූවිලි ගොඩක්, අළු ගොඩක් බවට පත් වෙනවා අපි මනසින් දකින්න ඕන ස්වාමීන් වහන්ස. මේවා විදර්ශනා නුවණින් ම දැක දැක අපි ඉස්සරහට යන්න ඕන. ඒ නිසා වාහනයක් කියන කාරණය විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ වාහනයක් සැකිල්ලක් වෙලා ඒ සැකිල්ලත් දිරලා ඒ දිරපු ගොඩ මලකඩ කාලා, මහපාරේ පාවෙලා ඒව දූවිලි අළු බවට, ජලය බවට, සතර මහා ධාතුව හැටියට, වෙන් කරලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස. අපේ රූපයත් අපි අනිවාර්යයෙන් ම මහ පොළොවේ සතර මහා ධාතුවට වෙන් කරලා දකින්න ඕන.
දැන් මෙතන මම කතා කර කර ඉන්නවා. මම මෙතන අපවත් වුණොත් එහෙම මගේ සිරුර දර සෑයකට දාලා ගිනි තියනවා. දර සෑයකට දාලා ගිනි තියන කොට මගේ සිරුරයි මේ ගිනි ගන්නේ, මගේ ශරීරයේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනසයි ස්වාමීන් වහන්ස, මේ ගිනි ගන්නේ. මේ ගිනි ගන්න කොට අපි කවදාක්වත් මේ ගින්නට හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. අපි ගින්නට කියන්නේ ගින්දර කියලයි. හාමුදුරුවෝ කියලා අපි කියන්නේ නැහැ. නමුත් මේ ගිනි ගන්නේ මේ ශරීරයේ තියෙන මස් වල තියෙන තෙල් වලට ඇවිලි ඇවිලී, තෙල් වලට ඇවිලි ඇවිලී තෙල් මතු වෙවී මේ ගින්දර ගන්නේ. ඒ තෙලට අපි කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ, අපි කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ ගින්දර ඇවිලි ඇවිලී දුම නගිනවා. මහ ඉහළට නගිනවා. ඒ දුමට අපි කවදාක්වත් හාමුදුරුවෝ කියන්නේ නැහැ. අපි ඒ දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ පිච්චිලා අවසානේ ඇට ටිකක්, අළු ටිකක් මෙතන ඉතිරි වෙනවා. අපි ඒ අළුවලට ඇට වලට හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. අපි ඒවට කියන්නේ පඨවිය කියලා.
නමුත් බලන්න එහෙනම් එක මොහොතකින් හාමුදුරුවන්ගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස අළු බවට, දුම් බවට, ඇට බවට, තෙල් බවට පත් වුණා. සතර මහා ධාතුවට ම මේ රූපය එක් වුණා. එහෙම නම් ස්වාමීන් වහන්ස මේ රූපය, අපි කවදාහරි දවසක සතර මහා ධාතුවට එක් වන හැටි නුවණින් දකින්න ඕන ස්වාමීන් වහන්ස. මේ රූපය පස් ගොඩක් වෙනවා නුවණින් දකින්න ඕන. මේ රූපය වාතයක් වෙනවා නුවණින් දකින්න ඕන. මේ රූපය ජලයක් වෙනවා නුවණින් දකින්න ඕන. මේ රූපය වායුවක් වෙනවා අපි නුවණින් දකින්න ඕන, ස්වාමීන් වහන්ස.
එතන දකින තැන තමයි විදර්ශනාවේ උච්ච ස්ථානය කියන්නේ. මේක අපි සතර මහා ධාතුවට යොමු කරලා, සතර මහා ධාතුවට හා කරලා අපි මේක දකින්න වෙනවා ස්වාමීන් වහන්ස. එතන තමයි විදර්ශනාවේ උච්ච භාවය කියන්නේ. බාහිර සතර මහා ධාතුවට මේ රූපය එකතු වෙනවා අපි දකින්න ඕන. ඒක විදර්ශනා නුවණින් වැඩිල, වැඩිල අපි එතෙන්ට ඒ නුවණ සකස් කර ගන්න ඕන ස්වාමීන් වහන්ස…!!!
(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!