භික්ෂුව ගිහි කාලයේ දී, අම්මා කියන ඉල්ලමෙන් ඇතිතාක් මැණික් ගරාගත් දරුවෙක්…

අවීචි මහ නිරයට අයත් අකුසල් වලින් එකක්‌ තමයි දෙමාපියන් මැරීම. මව්පියන් ඝාතනය නොකළත්, වර්තමාන සමාජයේ දෙමාපියන්ට මානසිකව මරණීය වේදනාවන් දෙනවා. මහළු නිවාස, දෙමාපියන් නොසලකා හැරීම, සේවකයන් ලෙස වැඩ ගැනීම, සමාජය තුළ හුඟක්‌ සිද්ධ වෙනවා. මේ අකුසල් අවීචි මහ නිරයට අයත් නැතිවුණාට, මේවායේ විපාක බොහොම බලවත්. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණහොත් අනිවාර්යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුධිරය කිරි බවට පත්වුණේ, කරුණාව නිසාමයි. එවන් ‘කරුණාවක්‌’ ඔබ මහලු මඩමක ගාල් කරනවා නම්, නොසලකා හරිනවා නම්, සේවිකාවක්‌ හැටියට දකිනවා නම්, අම්මා තාත්තා පිච්චෙන වේදනාවේ දුක්‌ගිනි වලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. සංස්‌කාරයෝ බොහෝම බියකරු බව නැවත මතක්‌ කරනවා. අඹුදරුවන් සමග පවුල් ජීවිතයක්‌ ගතකරන ඔබ, අම්මා තාත්තාට දිය යුතු තැන, කොතැනද කියලා සිතන්න යන්න එපා. ඔබ ඔය තැනට පැමිණියේ අම්මා තාත්තා නිසා කියලා හිතන්න දක්‌ෂ වෙන්න. අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌ කියන්නේ ඉල්ලමක්‌. ඔබගේ සැපයට අවශ්‍ය කළමනා ලබාදෙන ඉල්ලමක්‌. ඔබ දක්‌ෂ වෙන්න ඒ ඉල්ලම සුවසේ ගරමින්, භවයේ සැපයට අවශ්‍ය කලමනා එකතුකර ගන්න. වැඩිකාලයක්‌ ඒ ඉල්ලම පවතින්නේ නැහැ. එය මැරිලා යනවා. ඒ නිසා ඔබ ඉක්‌මන් වෙන්න. ඔතැනයි සැබෑම සැපය උපදවන මැණික්‌ දියමන්ති තියෙන්නේ. අපි මහපොළව හාරලා මැණික්‌ පතලක්‌ බැස්‌සොත්, සැම මොහොතකම දුකමයි සකස්‌ වෙන්නෙ. මැණික්‌ ලැබෙන්න ලැබෙන්න තෘෂ්ණාව සහ බියමයි සකස්‌ වෙන්නෙ. සතර අපායට යන මාර්ගයයි සකස්‌ වෙන්නෙ. ඒත් අම්මා තාත්තා කියන ඉල්ලම ගරන්න ගරන්න පින සහ කුසලයමයි සකස්‌ වෙන්නෙ. මව්පිය උපස්‌ථානය තුළ මේ ලෝකධාතුවේ ඉහළම ලෞකික සැපය වන ශක්‍රයා වීමේ අවස්‌ථාව සැඟවී තිබෙන බව ලොව්තුරා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා.

අම්මා තාත්තාට බැරි අවස්‌ථාවක්‌ පැමිණියොත්, ඒ දෙමාපියන්ගේ අසූචි මුත්‍රා ටිකක්‌ ඔබේ දෑතේ නොගෑවුණොත්, ඔබ අම්මා තාත්තාට ණය නොවූ දරුවෙක්‌ වෙන්නේ නැහැ. අම්මා තාත්තා නමැති මැණික්‌ ඉල්ලම හඳුනා නොගත් අන්ධයෙක්‌ වෙනවා ඔබ. එවැනි අන්ධ භාවයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් තමයි වැඩිහිටි නිවාසවල සිටින්නේ. අම්මා කෙනෙකුගේ අසූචි මුත්‍රා කියන්නේ ඉතා සුන්දර දෙයක්‌. ඒ අසූචිවල, මුත්‍රාවල ඔබව ශක්‍ර දෙවියා බවට පත්කිරීමට අවශ්‍ය කුසල් සැඟවිලා තිබෙනවා. භවයේ සැප නමැති මැණික්‌ සොයන්නා, අම්මා තාත්තා නමැති ඉල්ලම සුවසේ ගරා ගන්නවා. මේ භික්‌ෂුව ගිහි කාලයේදී, අම්මා කියන ඉල්ලමෙන් ඇතිතාක්‌ මැණික්‌ ගරාගත් දරුවෙකි. අම්මා නැමැති ඉල්ලමෙන් ගරාගත් කුසල් ශක්‌තිය තමයි, අයෝමය ශක්‌තියක්‌ වෙමින්, භික්‌ෂුව මේ මොහොතේ ඉන්නා තැනට ඔසවා තබන්නට මාර්ගය වූයේ. ඒ නිසයි අත්දැකීමෙන්ම කීවේ අම්මාගේ අසූචී මුත්‍රා, හරිම සුන්දරයි ආශ්වාදනීයයි කියලා. ඒ සුන්දරත්වයයි ධර්මයේ සැබෑ සුන්දරත්වයට අවශ්‍ය කුසල් සංස්‌කාර මෝදුකර දුන්නෙ. මේ දෑත් වල අම්මාගේ මුත්‍ර බැරල් ගණනක්‌ තැවරිලා ඇති. අම්මාගේ මුත්‍ර අසූචී තැවැරුණු රෙදි ‘අප්‍රමාණ ප්‍රමාණයක්‌’ මේ දෑත් වලින් පිරිසිදු කොට ඇති. ඒ දෑත් වලින්මයි, ඔබට මේ සටහන් ලියන්නේ. ඒ නිසාමයි මේ සටහන් පිංවත් ඔබට අර්ථවත් යැයි හැඟුනා නම් අර්ථවත් වූයේ. සුන්දර යැයි හැඟුනා නම් සුන්දර වුයේ.

මේවා හේතු ඵල ධර්මයන්. අම්මාගේ ජීවිතය දුකෙන් හීන කොට ජීවත් කිරීම තුළින්, ලබාගත් ජීවිතයේ සුන්දර අසිරියයි, භික්‌ෂුව මේ මොහොතේ අත්විඳින්නේ. භික්‌ෂුව අතීතයේදී අම්මා නමැති කුසල් ඉල්ලම සුවසේ ගරා ගත්තේ සක්‌දෙව් සැප. සක්‌විති රජ සැප, බලාපොරොත්තුවෙන් නොවේ. තවත් මේ භවයේ මව්කුසක ප්‍රතිසන්ධිය එපාය කියන බලාපොරොත්තුවෙන්මයි. අම්මා කියන්නේ මෙවැනි දුකක්‌ නම්, තවත් එවැනි අම්මා කෙනෙක්‌ එපාය කියන බලාපොරොත්තුවෙන්. අම්මා තුළින්මයි අම්මා කවුද යන්න ධර්මානුකූලව විනිවිද දකින්න පුළුවන් වුණේ. ‘අම්මා’ කියන රූපය, ගුණය කෙරෙහි ඇතිකොටගත් ආශ්වාදය හේතුවෙන් මතුවුණාවූ, ආදීනවය දෑසින් දකිමින්ය, දැතින් ස්‌පර්ශ කරමින්ය, අම්මා ගැන නිස්‌සරණ සිතිවිලි සකස්‌ කොට ගත්තේ. අම්මාගේ ජීවිතය කමටහනක්‌ කරගත්තා වගේම, ඇයට මතක්‌කොට දුන්නේ, ‘අම්මෙ, ඔය ඇස අනිත්‍යයයි’ කියලා, ‘අතීතයේ ඔයාට තිබුණ ලස්‌සන සුන්දර රූපය වැහැරිලා, රෝගී වෙලා, අසරණ වෙලා….’ කියන කාරණයයි. අනිත්‍ය සංඥාවන් වැඩෙන දිශාවටයි සියල්ල කියා දුන්නේ. ඇය බොහොම සාවධානව අසාගෙන සිටියා. දරුවෙක්‌ වශයෙන්, මවක්‌ පෙවූ කිරිවල වටිනාකම ගෙවා හමාර කළා, අම්මා ජීවත්ව සිටියදීම. මවට තිබූ ණයකාරත්වයෙන් මිදෙන කොට, අයෝමය ශක්‌තියක්‌ ලෙසින් ජීවිතය තුළින් ධර්මය මෝදු වෙන්න පටන් ගත්තා. අම්මා කියන අර්ථයට මොන තරම් දෙයක්‌ කරන්න පුළුවන්ද? මේ ජීවිතයේදී ඔබේ සතුට ඔබේ අම්මා තාත්තා උදෙසා කැප කරන්න. ඔවුන් සතුටු වෙනවා දකිමින් ඔබ ජීවත් වෙන්න. මගේ අම්මා රෝගීභාවය නිසා කනස්‌සල්ලෙන් වේදනාවෙන් පසුවෙන වේලාවන්හිදී මම කළේ පොඩි දරුවකු ලෙසින් ඇගේ පියයුරු වලින් කිරි උරා බීමයි. ඔබට එකපාරටම මේ දෙය අදහගන්නට, සිතාගන්නට බැරිවේවි. ඒත් එහෙම කිරීමට හේතුව ඇයි කියා කියන්නම්.

ඒ පියවුරුවල කිරි තිබුණේ නැහැ. ඒවා වැහැරිලා, වයෝවෘධ වෙලා, අසරණ වෙලා තිබුණා. ඒත් මට අපුලක්‌ දැනුණේ නැහැ. ඇය පුරා හත් වසරක්‌ අංශභාගය රෝගයෙන් පෙළෙමින් සිටියා. ඇයට වචන කතාකිරීමට, ඇවිදීමට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ඒත් ඇය නිහඬව, ඇයගේ ජීවිතය අනිත්‍යභාවයට පත්කරවමින්, මට අනිත්‍යයේ අර්ථය, ඇගේ ජීවිතය තුළින්ම කියා දුන්නා. මෙවන් ගුණයක්‌ හඬනවා දකින්න, දැස්‌වල කඳුළු තිබෙනවා දකින්න මම කැමැති වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ ඇයව හිනස්‌සන්නයි. ඒකයි මට අවුරුදු 40 වයසේදී මම ඇයගේ පියයුරුවලින් කිරි උරාබොමින් ඇයව හිනැස්‌සුවේ. මම පොඩි දරුවකු බවට පත්වෙමින්, තවමත් සිටින්නේ එදා ඈ වටා කිරි සුවඳට දැවටුනු පුංචි පුතුම බව දැනෙන්නට සලස්‌වමින් ඇයව සතුටට පත්කළා. පුංචි වයසේදී මා ඇගෙන් ඈත් නොවී ඈ ළඟම රැඳුනේ යම්සේද, දැනුත් ඇගෙන් ඈත්ව නැති බව, ඇයව ඈත් කර නොමැති බව මම ඇයට හැඟෙන්න සැලැස්‌සුවේ එහෙමයි. අම්මා දරුවකුගේ හැසිරීමෙන් තුටුවන්නේ කොහොමද කියන ඉව මට තිබුණා. අම්මාව සතුටට පත්කළාවූ, ඇයට දෝමනස්‌ස සහගත සිතක්‌ නැගෙනු වෙනුවට ඇයව සිනහගැන්වූ කුසලයයි මා මේ මොහොතේ සතුටින් ගෙවන්නේ.

අම්මාගේ කඳුළක මහා වටිනාකමක්‌ තිබෙනවා. අම්මාගෙන් බිව් කිරි උගුරක යම් සේ මනුෂ්‍යත්වයක්‌ කැටිවී තිබුණාද, අම්මාගේ කඳුළුත් මනුෂ්‍යත්වයෙන්මයි ඉපැදිලා තියෙන්නෙ. අම්මා කෙනෙක්‌ හඬනවා කියන්නේ, මනුෂ්‍යත්වය හඬනවා කියන කාරණයයි. ඒ නිසා අම්මාගේ දැස්‌වලට කඳුළක්‌ උනන්න මම ඉඩදුන්නේ නැහැ, කවදාවත් දන්නා තරමින්. මට මතකයි අම්මා මියයාමට අවුරුදු හතකට පෙරාතුව දිනයක, රාත්‍රී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය මහත්වරුන් ප්‍රකාශ කළා, ‘රෝගියාගේ හෘද ස්‌පන්දනය ඉතා දුර්වලයි. තව මොහොතකින් අම්මා මියයයි. ඒ නිසා අනෙක්‌ දරුවන්ට අවශ්‍ය නම් බලලා යන්න කියන්න’ කියලා. මට මතකයි, එදා මුළු රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ආලින්දයේ පුටුවක්‌ මත වාඩිවී මම සත්‍ය ක්‍රියාවක්‌ සිදුකළා. සංසාරයේ මෙතෙක්‌ පැමිණි ගමනේදී මා කළා වූ කුසල්වල බලයෙන්, මේ ජීවිතයේදී මා සිදුකර ගන්නා වූ කුසල්වල බලයෙන්, මා අනාගතයේදී කිරීමට බලාපොරොත්තු වෙන්නාවූ කුසල්වල බලයෙන්, අම්මාට ජීවිතය ලැබේවා කියලා. ‘ඒ කුසල් කිසිවක්‌ මට එපා, ඒවා අම්මාටම අයිති වේවා’ කියලා. වෙන කරන්න දෙයක්‌, කියන්න දෙයක්‌ තිබුණේ නැහැ. දැඩි සත්කාර ඒකකයේ මවට සවිකර තිබූ හෘද ස්‌පන්දන යන්ත්‍රය දැඩි අක්‍රමවත් ආකාරයකටයි සටහන් නිකුත් කළේ. මරණය පෙනි පෙනී අම්මාට ජීවිතය ලැබුණා. නමුත් අංශභාග රෝගියෙක්‌ හැටියට දරුවෙක්‌ හැටියට සත්‍ය ක්‍රියා කළ නිසා නොවේ ඇයට ජීවිතය ලැබුණේ. එය ඇයගේ සංස්‌කාර වල ස්‌වභාවයයි. එම දෙය එහෙම වෙන්න තිබුණා. මන්ද, මගේ කුසල් සංස්‌කාර වල බලවත් භාවය නිසා. එදා පටන් වසර හතක්‌ පමණ ඇය මට කමටහනක්‌ වුණා, වර්තමානයේ භික්‌ෂුව සිටින තැනට එන්න. මට හැම වේලාවකම දකින්න දක්‌ෂභාවය තිබුණා, අම්මා ලෙඩවුණේ මා උදෙසාමයි කියලා. මොකද, අම්මා නිරෝගිව ගතකල වසර හැට හතරේදීම. ඇගෙන් මම ඉගෙන ගත්කේ ලෝකය ගැන, ජීවිතය ගැන පමණයි. එහෙත් අම්මා රෝගීව සිටි හත් වසර තුළ මම ඇයගෙන් ඉගෙන ගත්තේ, ධර්මය ගැන. අනිත්‍ය ගැන. මේ කාරණය සටහන් කිරීම තුළින් භික්‌ෂුව පින්වතුන් හට කියන්න උත්සාහ කරන්නේ, ජීවිතය ඉදිරියට පැමිණෙන හොඳ නරක දෙකම සමසිතින් පිළිගෙන ඒවා නිසා පැමිණෙන අභියෝග ජයග්‍රහණය උදෙසාම යොමුකරන්න, දක්‌ෂ වෙන්න කියලයි.

අම්මා සතුටින් තියලා අම්මා සිනහවෙනකොට, ඒ සිනහව මම දැක්‌කේ මල් වැස්‌සක්‌ වාගේ. ඒ මල් වැස්‌සට මගේ සිතිවිලි තෙමෙද්දී, පුදුමාකාර මනුෂ්‍යත්වයකින් මගේ ජීවිතය පිරුණා. ඒ මනුෂ්‍යත්වය පුරවාගත් සිතින් ලෝකය දෙස බලනකොට, මම ලෝකයාව දැක්‌කේ දැඩි අසරණභාවයකින්. මේ අසරණභාවය මා තුළ දැඩි බියක්‌ ඇතිකළා. ඒ බිය තමයි ගිහි ජීවිතයෙන් මාව දුරස්‌කළේ. ලෝකයෙන් ඈත් කළේ. මම සරණක්‌ සොයා යැමට පෙළඹ වූයේ, මගේ ධර්ම ගමනට ආශිර්වාදයක්‌ වූයේ අම්මාගේ මුවින් නික්‌මුණු ඒ මල් වැස්‌සමයි,

අම්මාට මා ආදරය කරුණාව දැක්‌ වූයේ අම්මා නමැති අර්ථය කෙරෙහි ඇති බැඳීමකින් උපාදානයකින් නොව, ‘අම්මා’ කියන අර්ථය කෙරෙහි ඇති මගේ තෘෂ්ණාව ක්‌ෂය කර ගැනීම පිණිසමයි, ලාභ සත්කාර වලින් තොරව ඒ ඉල්ලම ගරා ගත්තේ. අම්මාගේ කය දෙස අනිත්‍ය සංඥාවෙන් බැලුවා, එම කය වේගයෙන් ජරා, ව්‍යාධි, වලට පත්ව අවසානයක්‌ කරා ගියේ නැහැ. මන්ද, ඇයගේ අකුසල් සංස්‌කාර වල විපාක ගෙවීමට කාලය ලබාදීමට. අම්මා නමැති අර්ථයද දරුවා නමැති අර්ථයද අපිව ලෝකයට බැඳ තබන මහා කාම වස්‌තුවක්‌ බවට වන අවබෝධයත්, අවබෝධයෙන්ම ඉන් කලකිරෙන මාර්ගයත් අම්මා තුළ සැඟවී තිබිණ. අම්මා යන අර්ථය දරුවාටද, දරුවා යන අර්ථය අම්මාටද, දුකක්‌ම බව අම්මා තුළින්මයි දැක්‌කෙ. ඇය තුළින් මා දැක්‌කේ ජීවත් වීමට ඇති ආසාව නොව, ජීවිතයෙන් මිදෙන්න ඇති කැමැත්තයි. රෝගී අම්මා තුළ සැඟවි තිබී, උපස්‌ථානය නිසාම මට එය හමුවිය. එය මව්පිය උපස්‌ථානයේ අග්‍රම ඵලයයි. අම්මාගේ ඇතිවීමත් අම්මාගේ නැතිවීමත්, තෘෂ්ණාව නිසාම හටගෙන, තෘෂ්ණාව ක්‌ෂය කර ගැනීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින්ම දැකගත්තා. අම්මා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන ස්‌වභාවය අම්මා තුළිsන්ම දැකගත්තා.

තම දෙමාපියන්ට බ්‍රහ්මයින්ට මෙන් උපස්‌ථාන කරන දරුවෝ සමාජයේ අප්‍රමාණව සිටින බව අප දැක තිබෙනවා. ඒ වාගේම දරුවන් දෙමාපියන්ට උපස්‌ථාන කිරීමෙන් හුදු පින පමනක්‌ බලාපොරොත්තු නොවී, ධර්මයේ ලෝකෝත්තර සුවයට අවශ්‍ය ප්‍රඥාව, දෙමාපියන්ගේ රෝගී වයෝවෘධ අසරණ ජීවිත විනිවිද දකිමින්, ඒ දැක්‌ම තුළින්ම සකස්‌ කොට ගන්න.

සතර සතිපට්‌ඨාන ධර්මයේ බොහෝම හොඳින් වැඩෙන තෝතැන්නක්‌, වයෝවෘධ දෙමාපියන්ගේ ජීවිත. දෙමාපියන්ට අනිත්‍ය සංඥාව කියාදෙනවා වාගේම, පින්වත් ඔබත් ඒ අවබෝධය හෙමින් සීරුවේ ලබාගන්න. මේ පැමිණි භව ගමනේදී, පින්වතුන් අම්මලා වෙනුවෙන් හෙලූ කඳුළු, මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. ඔබ අතීතයේ අම්මලා ලක්‌ෂ ගණනකට උපස්‌ථාන කොට ඇති, ඒත් ඒවා හුදු ගෙවීයන සංස්‌කාර පමණක්‌මයි. තමන් අනිත්‍ය වන සංස්‌කාර රැස්‌කරන ගමන්, සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව දකිමින්ම දුකෙන් මිදෙන මාර්ගයට අවතීර්ණ වෙන්න.