භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය…

“භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය.
එය ගල් කුටියක්‌. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක්‌ මේ කුටියේ ස්‌වාමීන් වහන්සේනමක්‌ වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක්‌ මෙම කුටියේ ටික දිනක්‌ නැවතී භාවනා කරල තිබෙනවා.

භික්‍ෂුව මේ කුටියේ මාස දෙකහමාරක්‌ ගතකළා. සාමනේර අවධියේ භික්‍ෂුව මේ කුටියට වඩිනවිට කුටිය පාළුවට ගිහිල්ලයි තිබුණේ. කුටියේ ඇඳක්‌ තිබුණේ නැහැ. මේසයක්‌ තිබුණා. පුටුවක්‌ තිබුණේ නැහැ. පැදුරක්‌, කොට්‌ටයක්‌, ලැන්තෑරුමක්‌ තිබුණා. ප්ලාස්‌ටික්‌ බාල්දියක්‌ තිබුණා. එපමණයි කුටියේ තිබුණේ. භික්‍ෂුව මේසය, ලන්තෑරුම පරිහරණය කළේ නැහැ. නමුත් ඒවා කුටියෙන් ඉවත් කිරීමට ගියේ නැහැ. ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා. භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා.

මේ කුටියට වැසිකිළියක්‌ තිබුණේ නැහැ. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ පැරණි වළක්‌. ළඟපාත වතුර පහසුකම් තිබුණේ නැහැ. කිලෝ මීටර් කාලක්‌ පමණ කුටියට පහළින් කැලය තුළ ලොකු ගල් වළක්‌ තිබුණා. සවස අව්ව බැස ගියාම ගල් ළිඳට ගිහිල්ලා, පැන් පහසුවෙලා, ප්ලාස්‌ටික්‌ බාල්දියට වතුර එකක්‌ අරගෙන එනවා. එම වතුර බාල්දියෙන් තමයි උදේම වැසිකිළියට යන්නෙත් මුහුණ සෝදාගන්නෙත්. දත් මැදල මුහුණ පමණක්‌ සෝදාගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනවා.
වතුර බාල්දියෙන් යැපුනත් පිරිසිදුකම හොඳින් තිබුණා. බීමට වතුර ගන්න කුටියට උඩපැත්තෙන් කිලෝ මීටර් කාලක්‌ පමණ එහායින් නළ ළිඳක්‌ තිබුණා. ලීටර් පහේ සුදු කෑන් එකකට බීමට වතුර එකක්‌ අරගෙන එනවා පිණ්‌ඩපාතයෙන් පස්‌සේ.

භික්‍ෂුව මේ කුටියේ සිටිය මාස දෙකහමාරක කාලය තුළ කිසිම ගිහි පිංවතෙක්‌ මේ කුටියට ඇවිල්ල නැහැ. භික්‍ෂුවට මේ ජීවිතයේ කිසිම දුෂ්කරභාවයක්‌ දැනුණේ නැහැ. ඒ දිනවල භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන ඒම සඳහා කිලෝ මීටර් හයක්‌ පමණ ගම්මානයට ඇවිද්දා. අඩු ආහාරයක්‌ ලැබුණේ. ඒ නිසාම භික්‍ෂුව හුඟාක්‌ම කෘශවෙලා සිටියේ. නමුත් බලෙන් ශරීරයට දුක්‌ දුන්නේ නැහැ. ශරීරයට කිසිදු ඇල්මක්‌ තිබුණේ නැහැ. මරණය බලාපොරොත්තුවෙන් ධර්මය තුළ භික්‍ෂුව සිටියා. මරණයට අබමල් රේණුවක තරම්වත් බියක්‌ දැනුණේ නැහැ. භික්‍ෂුවට ඒ වෙනකොට දැනිලයි තිබුණේ ජීවිතයට ආශාව තිබෙන තාක්‌කාල් ධර්මාවබෝධය ලබන්න බැහැ කියල. භික්‍ෂුව තුළ ලොකු විශ්වාසයක්‌ තිබුණා මැරෙන මොහොතේ හෝ ධර්මය සාක්‌ෂාත් කරන බව.

දවසක්‌ භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට ගමට ඇතුල්වෙන තැනම එක ගෙදරක මිදුලේ ගසක්‌ යට පැදුරක එලලා තිබුණා. එය භික්‍ෂුවට නුහුරු දර්ශනයක්‌. එදා පිණ්‌ඩපාතයට ඒ ගෙදර අයිතිව තිබුණේ නැහැ. එම ගෙදර නිවැසියන් වැට අද්දරට පැමිණ භික්‍ෂුවට ආරාධනා කළා ගස යට එලා ඇති ආසනයේ වැඩසිටින්න කියලා. භික්‍ෂුව ආසනයේ වැඩ සිටියා. එම නිවසේ මෑණියන් දෙපළක්‌ ලොකු කුරක්‌කන් කැඳ කෝප්පයක්‌ භික්‍ෂුවට පූජා කළා. දින කිහිපයකින්ම භික්‍ෂුව වැළදූ එකම එක ගිලන්පස කෝප්පය මෙයයි. එම කුරක්‌කන් කැඳ කෝප්පය භික්‍ෂුවගේ ශරීරයට හොඳ ශක්‌තියක්‌ ඇති කළා. ඒ අම්මා ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ පිණ්‌ඩපාතය කරගෙන මෙතනින් ආරණ්‍යයට වඩිනකොට ඔබ වහන්සේ බොහෝම විඩාවෙන් වෙහෙසෙන් ගමන් කළේ. අපි හිතුවා ඔබ වහන්සේට ක්‌ලාන්තය හැදෙයි කියලා. ඒ නිසාමයි ඔබ වහන්සේට මේ කැඳ දානය පූජා කළේ’ කියලා. මරණයට දමපු ජීවිතයක අවසන් හෝරා කිහිපයයි භික්‍ෂුව ඒ ගත කරමින් සිටියේ. නමුත් ලෝකයා දැනගෙන සිටියේ නැහැ. ලෝකයාට කොතැනකදිවත් දැනගන්න තිබ්බෙත් නැහැ. මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්‌කේ. කොටින්ම ලෝකයා ගැන සිතුණේ නැහැ.

මේ මොහොත වෙනවිට එක වේලෙන් යැපීම, පාංශුකූල චීවර දැරීම, වනවාසී ජීවිතය කියන අර්ථයන් භික්‍ෂුව තුළින් නිෂේධ වෙලයි තිබුණේ. විළි වසා ගැනීමේ අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ වැඩීමට පණ කෙන්ද රැකීම කියන අරමුණ පමණයි පිණ්‌ඩපාතයේ අර්ථය හැටියට දැක්‌කේ. වැස්‌සෙන් පින්නේන් ආරක්‍ෂාවීම කියන අර්ථය පමණයි කුටිය තුළින් දැක්‌කේ. පාංශුකූල චීවරය, එක වේලක්‌ යැපීම, කැලයේ ජීවත්වීම කියන අර්ථයන් උපකාරක ධර්මයන් බවට පත්කොටගෙන භික්‍ෂුව තුළ සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයනුයි දැන් වැඩෙන්නේ. දැන් පිංවත් ඔබට හොඳින් වැටහෙනවා ඇති (පෙර සටහනේ සඳහන් වූ පරිදි) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සකුළුඳායි කියන තරුණයාට දේශනා කරන ධර්මයේ සැබෑම අර්ථය අත්දැකීම් තුළින්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ..

රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

උපුටාගැනීම – රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ලිපි ඇතුලත් අතහැරීම 9 ග්‍රන්ථයෙනි..