භාවනාවේ දී ඇතිවන නිරුත්සහය සංසිඳවා ගනිමු.

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමථ, විපස්සනා භාවනා වැඩීමේ දී බොහෝ දෙනාට සිතූ පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අනිත් අය දැන ගන්නවා බොහොම අඩුයි. ඒ නිසා සර්වඥයන් වහන්සේගේ උපදෙස් පරිද්දෙන් අපට ලැබී තියෙනවා.

භාවනා කරන යෝගීවරයෙකු භාවනාවේ ආනිසංශය නොදැනී නිරුත්සාහ බවට පත් වෙනවා. නිරුත්සාහ කියලා කියන්නේ එපාකම. ඒ එපාකමට හේතුව සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලය දුර්වල වීමයි. එ නිසාම භාවනාවේදී ඇතිවෙන ඒ නිරුත්සාහ බව සන්සිඳවා ගැනීම සඳහා බුදු ගුණ මෙනෙහි කරන්නට ඕන. බුදු ගුණ මෙනෙහි කිරීමේ දී නැවතත් ප්‍රකෘතිමත් වෙලා භාවනාව ඉහළට දියුණු වෙනවා.

එසේ නැති නම් සංවේග වස්තු මෙනෙහි කරන්නට උපදෙස් දීලා තියෙනවා. සංවේග වස්තු කියලා කියන්නේ හිතට නුවණින් යුතු ව වීර්‍යය කරන කරුණු අටක් තියෙනවා. හිත වීර්‍යය කරන ඒ වගේම නුවණින් යුතු ව වීර්‍යය කරන කරුණු අටක්.
ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපාය දුක, අතීත සංසාර දුක, අනාගත සංසාර දුක හා අද කාලෙ තමන් ජීවත් වීම සඳහා ගන්නා උත්සාහ වන්ත වීමේ දුක.

මේවා ගැන හිතන්න හිතන්න දැඩි සංවේගයක් ඇති වෙනවා. සංවේගයක් කියලා කියන්නේ සෝකය නෙමෙයි. සංවේගය කියන්නේ නුවණින් යුතු වීර්යයටයි. කොටින්ම නුවණටයි මේ සංවේගය කියන වචන අයිති වෙන්නේ. නුවණින් කල්පනා කිරීමයි. එසේ නුවණින් කල්පනා කිරීමේදී, අර නිරාස්වාද ස්වභාවය දුරු වෙලා හිත ප්‍රබෝධ වෙලා භාවනාව දියුණු කර ගන්න ලැබෙනවා. සමහර විට ඒ භාවනා කර්මස්ථාන ගැන වැරදි හැඟීමක් ආවොත් අපාගාමී වෙන්න පුළුවන්.

අපේ ලංකාවේ ඈත කාලයේ බොහෝ ම ගිහි පැවිදි අය මාර්ගඵලලාභීන් ව හිටියා භික්ෂූන් වහන්සේලා අතර කිසි කෙනෙක් මාර්ගඵල ලබා නැතැයි කියන්න බෑ. ඒ තරමටම මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේලා හිටියා. ගිහි බෞද්ධයන් අතරත් බොහෝ දෙනෙක් මාර්ගඵලලාභී ව හිටියා. ඔය අතරේ එක්තරා උපාසක කෙනෙක් කල්පනා කළා මාත් මේ සෝවාන් වෙන්න ඕනේ. මම සෝවාන් වෙන්න ඕනේ ඉක්මනට කියලා භාවනා කමටහන් වශයෙන් ද්වත්තිංසාකාර කියන භාවනා වැඩුවා. පටික්කූල භාවනාව. තිස් අවුරුද්දක් භාවනා කළා. කිසිම දියුණුවක් වුණේ නෑ. කිසිම දියුණුවකට පත් වුණේ නෑ. කිසිම විශේෂ අධිගමයක් නෑ. ඔහු කලකිරුනා. මේක බොරු වැඩක්. මේක නිෂ්ඵල වැඩක්. මං මෙච්චර වීර්‍යය කරලා මට ප්‍රතිඵලයක් නැත්තෙ මේක අර්ථයක් නැති නිසයි කියලා මිස දුටු ගත්තා. වැරදි දෘෂ්ටියක් ඇති කර ගත්තා. ඒ වැරදි දෘෂ්ටිය හේතුවෙන් ඔහු මරණාසන්න මොහොතේ ඒක සිහි වෙලා ප්‍රේතයක් උනා. මහවැලි ගංගාවේ විශාල ප්‍රේතයෙක් වෙලා තියෙනවා. කුම්භීල ප්‍රේතයෙක්. කිඹුල් ප්‍රේතයෙක්. මේ තරම් අවාසනාවන්ත වුණා අර භාවනා ගැන වැරදි හැඟීම් ඇති කර ගැනීම.

එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනාවක් පිළිබඳව වැරදි හැඟීමක් ඇති නොකර ගෙන හැම විටම භාවනාව පිළිබඳව ඒ වගේම බුද්ධ රත්නය, ධර්මරත්නය, සංඝරත්නය ගැන, භාවනා ගැන ස්ථිර පිහිටීමක්, විශ්වාසයක් ඇතිකර ගැනීමට ඕනේ. විස්වාසයක් පිහිටුවා ගැනීමෙන් තමන්ට ප්‍රතිඵල නොලැබුනත් එපා වෙන්නේ නෑ. නිරාස්වාද බවක් ඇති වෙන්නේ නෑ. ඒ ගැන තමන්ගේ හිත විශ්වාසවන්තව ඉදිරියට දියුණු කරගන්නට සමර්ථ වෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා, එහෙම නිරාස්වාද බවක් ඇති වුනොත් අර වගේ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සඟ ගුණ සිහි කරල බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම සර්වඥයි. උන්වහන්සේගේ දේශනාව ඒකාන්තයෙන්ම සත්‍යයයි. ඒ දේශනාවලට අනුව පිළිවෙත් පුරන්නා වූ සංඝ රත්නය ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මගේ අඩුපාඩුවයි මේ තියෙන්නෙ. මං මේකට උත්සහවන්ත වෙන්න ඕනේ තව තවත් යෙදෙන්නට ඕනේ කියලා පමා නොවී භාවනාවට යොමු වෙන්න උත්සාහවන්ත වෙනවා. තමා රක්නා සීලය කවදාක්වත් අතරමං කරන්නේ නෑ. තමා වඩන භාවනාව නවත්තන්නේ නැහැ. හැම විට ම භාවනාවට හිතේ බලවත් ඡන්දයක් ඇති කරගෙන කටයුතු කරනවා. එහෙම නම් ඒ භාවනාව කවදා හරි සාර්ථක වෙනවා. බුද්ධ වචනයේ තියෙනවා

“කුසලංධම්මං පටිච්ච
කුසලෝ ධම්මෝ උප්පජ්ජති
උපනිශ්‍රය පච්චයා”
කියලා…

මේ ජීවිතයේ කරන ඒ භාවනා කුසලය මේ ජීවිතයේ ප්‍රතිඵල නොලැබුවත් ඊළඟ භවයකට උපනිශ්‍රය වෙනවා. ඒ භවයේදී මීට වඩා සිය දහස් ගුණයෙන් භාවනාව සාර්ථක වෙන්න අද කරන භාවනා කුසලය උපනිශ්‍රය වෙනවා.
ඒවට කියනවා ප්‍රකෘත උපනිශ්‍රය කියලා. ප්‍රකෘත කියන්නේ පුරුදු කරපු. පුරුදු කරපු භාවනාව පිහිට වෙනවා.
මෙන්න මේක නිසා ගිහි පැවිදි අපි සියලුම දෙනා භාවනා කමටහන් ගැන කවදාකවත් පසුබට වෙන්නේ නැතුව මේක නෛර්යාණිකයි, මේක ඒකාන්තයෙන් ම නිවනට ගෙනයන භාවනාවක්, මෙයින් මට ප්‍රතිඵල ලැබුනත් නොලැබුනත් මං මේකෙන් ප්‍රයෝජන ලැබෙන තුරු වඩන්න ඕන කියලා නොපසුබට වීර්යයෙන් කටයුතු කිරීමෙන් තමා බලාපොරොත්තු වන උත්තරීතර මාර්ගඵල නිවන සාක්ෂාත් කරගැනීමට යම් දවසක අවස්ථාව ලැබෙනවා ඒකාන්තයි…

සාදු සාදු සාදු

අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි