භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, වසංගත රෝග වලින් මිදී ජීවත් වන ක්‍රමය…

ස්වාමින් වහන්ස වසංගත රෝගවලින් මිදී ජීවත් වන ක්‍රමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු දහමට අනුව පැහැදිලි කර දෙන්නේ කොහොමද ස්වාමින්වහන්ස…???

පිළිතුර –

වසංගත රෝගවලින් මිදීම ගැන නෝනා, ඉතින් දැන් අර විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති වෙනවානෙ.. නේද…? ඒ දුර්භීක්ෂයක් ඇතිවෙලා මහා ව්‍යසනයක් වෙනවානේ. ඉතින් ඒ දුර්භීක්ෂය ඇතිවෙලා මහා ව්‍යසනය ආවා කියලා බුදුරජාණන් වහන්සේ වැස්සටවත්,ඉඩෝරයටවත් දොස් පවරන්න ගියේ නැහැ. ඉතින් ඒක හේතුඵල ධර්මයක්.

ඒ අමනුෂ්‍යයින්ගේ ග්‍රහණය වැඩි වීම නිසා, අමනුෂ්‍යයන් බලවත් භාවයට පත් වීම නිසා, මනුෂ්‍යයා ධර්මයෙන් හීන භාවයට පත් වෙනව. අමනුෂ්‍යයන්ගේ බලය වැඩිවෙනවා. අමනුෂ්‍යයන්ගේ බලය වැඩි වෙනකොට, අමනුෂ්‍යයන්, මනුෂ්‍යයන්ට රෝගාබාධ පීඩාවන් ඇති කරනවා. ඉතින් එවැනි හේතුන් නිසා නෝනා මේ වසංගතයන්, ඔවැනි දේවල් පැතිරෙනවා කියන්නේ, ඒවා හේතුඵල ධර්මයන්මයි. ඒවා වෙන දෙයක් නෙමෙයි. හේතුපල ධර්මයන්මයි, ඒ හේතූන්, මනුෂ්‍යයා අකුසලයට යොමු වෙන්න අදාළ සාධක ලෝකයේ සකස් වෙනවා නෝනා..

මේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුනත්, කවදාවත් මේ වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාර යටපත් කරන්න බැහැ. වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන ඉහළම ඖෂධය නිපදවන්න පුළුවන්. ඒ වෛද්‍ය විද්‍යාව මේ ලෝකයේ තියෙන ඉහළම ඖෂධය නිපදුවත්, ඒ ඖෂධයට ඔරොත්තු නොදෙන රෝගයක් මනුස්සයා තුළින් සකස් වෙනවා. ඒ නිසා කවදාවත් වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාරයන් ඉක්මවලා යන්න බැහැ නෝනා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

එතකොට ඒ රෝගය මතු කරල දුන්නේ කවුද…? දුස්ශීල භාවය විසින්. එහෙනම් මේ මනුෂ්‍යයාගේ මේ තියෙන විනාශය, මෙහි තියෙන උවදුරු, මේ තියෙන රෝග සියල්ලක්ම දුශ්ශීල භාවයේ ඵලයන්. දුශ්ශීල භාවය වැඩි වෙන්න, වැඩි වෙන්න, වෛද්‍ය ලෝකයට අභියෝගයක් තමයි මනුෂ්‍යයා තුළින් එල්ල වෙන්නේ. ඒ නිසා කවදාවත් වෛද්‍ය විද්‍යාවට ලෝකය ජය ගන්න බැහැ. ඒ නිසා නිරතුරුවම ඒ තාක්ෂණය කොච්චර දියුණු වුවත් ඊට වඩා බලවත් විෂබීජයක් මනුස්සයා තුළින් සකස් වෙනවා. විෂබීජ සකස් කලේ කවුද..? දුශ්ශීල භාවය විසින්.

දැන් ඒඩ්ස් කියන විෂබීජය සකස් කලේ කවුද…? දුශ්ශීල භාවය. සමාජ රෝග කියන විෂබීජය සකස් කලේ කවුද..? දුශ්ශීල භාවයමයි.. ඒ වගේ මනුෂ්‍යයා මුහුණ දෙන්නා වූ මේ සෑම රෝගයක්ම දුශ්ශීල භාවයේ ඵලයන්මයි. ඔය කොලොස්ටරෝල්, දියවැඩියාව ගත්තත් ඕවා දුශ්ශීල භාවයේ ප්‍රතිඵලයක්මයි. ඇයි රසය කෙරෙහි තියෙන්නා වූ තෘෂ්ණාව වැඩියි.. මේ රසයන්හි අනිත්‍ය භාවයන් දකින්නේ නැහැ.. අකුසල් මූලයන් වැඩියි. ලෝභ, ද්වේෂ, මෝහයෙන් වැඩියි. ඒ නිසාම දුශ්ශීල භාවය විසින්ම මනුෂ්‍යයාගේ රෝගාබාධයන් වැඩිකරනවා පින්වතුනි.

ඔන්න දැන් කියනවා අහවල් රටේ කිරි පිටිවල මෙහෙම වෛරසයක් කියලා. කියලා මුළු සත්තු ටිකම මරලා දානවා. ඊළඟට කියනවා අහවල් රටේ කුකුළන්ට මෙහෙම රෝගයක් හැදිලා පැතිරිලා යනවා කියලා. බුල්ඩෝසර් වලින් වලවල් හාරලා තමයි කුකුළො මරලා වලලලා දාන්නෙ. එතකොට මේ පැත්තෙන් අකුසලයක් විපාක දෙනකොට ඒ අකුසල නිසා තව තම බරපතළ අකුසල් කරා සමාජය යනවා. ඕක තමයි ලෝකය කියන්නේ. ඔයින් තොර ලෝකයක් දකින්න බැහැ. අකුසල් කරන්න, කරන්න මේවායේ ස්වභාවය වැඩි වෙනවා. ඉතින් එහි ස්වාභාවයයි දකින්නේ. ඒ නිසා වසංගත කියන්නෙත්, මනුෂ්‍යයාට තව තව අකුසල් සිත් කර ගන්න ඇතිවෙන්නා වූ දේවල්මයි.

ඒ අකුසල් වැඩිපුර සිද්ධ කරගන්න හේතුව සකස් කරන්නේ කවුද..? දුශ්ශීල භාවය විසින්, එහෙනම් මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨ ම ඖෂධය සිල්පද පහයි. සිල්පද පහට වඩා ශ්‍රේෂ්ඨ ඖෂධයක් මේ ලෝකයේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මොන ඖෂධ ගත්තත් වැඩක් නැහැ, සිල්පද පහ දුර්වල කර ගන්නවා නම්. කවුරුහරි, මොන ඖෂධය ගත්තත් සිල්පද පහ දුර්වල කරගෙන, මේ ජීවිතයේ සැනසිල්ලේ ඉපදුනත් ඊළඟ ජීවිතයේ එයා වැටෙන්නේ සතර අපායටමයි.

ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම නිරෝගීභාවය, ශ්‍රේෂ්ඨ ශක්තිය, තමයි මේ සිල්පද පහ කියන කාරණය. ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන, මේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් බැහැර වෙලා ජීවත් වුණොත් ඒ කුසල් ශක්තිය විසින්ම අතීත අකුසල් පවා යටපත් කරන්න, ඔබට පුළුවන් කමක් තියෙනවා. එතනයි අපේ හිත පිහිටන්න ඕනෑ.

එහෙම නැතුව වෛද්‍ය විද්‍යාවෙන් මේ ලෝකය ජය ගන්න කවදාක්වත් බැහැ. එහෙම හිතන්න පුළුවන්, කෙනෙක් වෘත්තියේ මමත්වයේ දැඩි භාවය නිසා, අපට මේ ලෝකයේ සුවපත් කරන්න පුළුවන් කියලා. නමුත් ලෝකය සුවපත් කරන්න හදන හැම කෙනෙක්ම රෝගී භාවයට අදාළ සංස්කාරයන් තුළයි ජීවත් වෙන්නේ. එයත් කවදාහරි රෝගී වෙලා, අංශභාගය හැදිලා, ලෙඩ ඇඳේ ඉදලා මැරෙන ස්වභාවයේ ඉඳගෙන තමයි එයා ලෝකය සුවපත් කරන්න යන්නේ.

ඒ නිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕන මේ ලෝකය අපට සුවපත් කරන්න බැහැ කියලා හිතන්න. ඒක දැක්කා ප්‍රථම කෙනා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැක්කා මට ලෝකේ සුවපත් කරන්න බැහැ. ඒ නිසා මට සුවපත් වෙන්න ධර්මයක් මම මතු කරලා ගන්න ඕනා කියලා තමයි, අතීතයේ පාරමී ශක්තිය තුළින් මේ උතුම් අෂ්ටාංගික මාර්ගය මතුකරලා ගත්තේ. ඒ නිසා මේ ලෝකයේ දුක තුනී කරන එකම මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව දුක තුනී කරන මාර්ගයක් මේ ලෝක ධාතුව තුළ නැහැ පින්වතුනි…!!!

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.