ජිවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.

මේ සටහන ලියන රාත්‍රියේ භික්‍ෂුව දෑස්‌ දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්‍රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක්‌ තුළින්ම සකස්‌ වූ වේදනාවන් හිස්‌ දෙයක්‌ වශයෙන්මයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත් ඔබ අත්විඳි වේදනාවන් දෙස නුවණින් දකින්න. කොපමණ සැප, දුක්‌ , උපේක්‍ෂා වේදනා ඔබ තුළ ඇතිවෙන්නට ඇතිද? සැමියා නිසා, බිරිඳ නිසා, දරුවන් නිසා, ව්‍යපාරය රැකියාව නිසා, විනෝදය, පිංකම් නිසා ඊයේ දිනයේ ඇති වූ සෑම විඳීමක්‌ම අනිත්‍යයි නේද? නමුත් ඒ අනිත්‍ය වූ විඳීම්වලට බැඳීම නිසා පිංවත් ඔබ කොතෙක්‌නම් දුකට හේතුවෙන අනිත්‍යවු සංස්‌කාරයන් රැස්‌කොට ගන්න ඇතිද? සෑම බැඳීමක්‌ම බවය අස්‌වද්දන සංස්‌කාරයක්‌ ඔබට සකස්‌කර දෙනවා. වේදනාවට බැඳුණොත් ඔබ දුකටමයි බැඳෙන්නේ. වේදනාවෙන් ඔබ නිදහස්‌ වුවහොත් ඔබ දුකෙන්මයි නිදහස්‌ වෙන්නේ. ගිහි ජීවිතයක්‌ ගතකරන පිංවත් ඔබ ඵස්‌සය නිසා දැනෙන සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින් වේදනාවේ ආශ්වාදයට යට නොවී එම සැප වේදනාව භුක්‌ති විඳින්න. ඔබ සැප වේදනාවේ ආශ්වාදයට බැඳී ගියහොත් අනිවාර්යෙන්ම තව තවත් බවය අස්‌වද්දන සංස්‌කාරයන් ඔබ රැස්‌කරගන්නවා.

ගිහි පිංවතුන්ලාට සැප,දුක්‌, උපේක්‍ෂා විඳීම්වලින් පලායන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේවා නිසා සකස්‌ වෙන ආශ්වාදයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න කියලයි දේශනා කරන්නේ. ඔබේ ජීවිතය ඉදිරියට නිරතුරුවම සැප වේදනාවන් ලැබෙනවා නම් එය කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. ඔබ ඉදිරියට නිරතුරුවම දුක්‌ වේදනාවන් පැමිණෙනවා නම් එය අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. නමුත් මේ සංස්‌කාරයෝ අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්‌කාරයන් නිසා ඔබට ලැබෙන විඳීමට බැඳී යන්න එපා. පිංවත් ඔබ විවේකීව ජීවිතකාලය පුරාවට ඔබ අත්විඳි සැප දුක්‌ උපේක්‍ෂා වේදනාවන් නුවනින් මෙනෙහි කරමින් මතු කොට දකිමින්, අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකිමින් ජීවත් වෙන්න. අතීත වේදනාවන් කෙරෙහි ක්‍රමාණුකූලව අනිත්‍ය සංඥාව ඔබ තුළ මතුවෙන විට වර්තමාන අනාගත විඳීම්වල අනිත්‍යභාවය දැකීම ඔබට පහසු වෙනවා. පිංවත් ඔබගේ අතීත කායික මානසික රෝගීභාවයන් නිසා ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනා නුවනින් දකිමින් ජීවත් වන්න. ඔබ දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

අතිපූජනීය රාජගිරියේ අරියඤාණ හිමි

මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළින් උපුටා ගත්තකි …

සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න…