ජීවිතය මරණයට දානවා කියන්නේ කුමක් ද?

ප්‍රශ්නය :-

අවසරයි ස්වාමීන් වහන්ස, ජීවිතය මරණයට දානවා කියන කාරණය දැන් මෙතන ගත්තත් ඕනෑම භික්ෂුවකට කරන්න පුළුවන්ද..? එහෙම නැත්නම් ධර්ම මාර්ගය තුළ යම් සන්ධිස්ථානයක් තියෙනවද..?

(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)

පිළිතුර :-

ඒක ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත්වෙලා, අචල ශ්‍රද්ධාව තුළින් තමයි එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ජීවිතය මරණයට දාන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්. ඒක මාර්ගය තුළ ශක්තිමත් ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් ආකාරයෙන් එයා තුළ වැඩිලා තියෙන්න ඕන ස්වාමීන් වහන්ස. ඒ ශක්තිමත් ආකාරයෙන් වැඩිච්ච තැන තමයි එයා ජීවිතය මරණයට දානවා කියන කාරණය එයා දෙපාරක් හිතන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ උදෙසායි ජීවිතය මරණයට දාන්නේ. ධර්ම රත්නය උදෙසායි ජීවිතය මරණයට දාන්නේ. එතෙන්දී ස්වාමීන් වහන්ස, මාර්ගය තුළින් අපේ හිත වඩවල දෙනවා. ඒක අපිට බලෙන් ඇතිකර ගන්න බෑ. ඒක අපි මේ සියදිවි නසා ගන්නවා, එහෙම නැත්නම් ජීවිතය නැතිකර ගන්නවා වගේ කාරණයක් නෙවෙයි.

එතනදී අපි දිවි නසාගන්නවා කියන්නේ එතන අපි ආදරයත්, ද්වේශයත්, උපේක්ෂාවත් ඔය සියල්ලම දරාගෙනයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. නමුත් මෙතනදී ජීවිතය මරණයට දානවා කියන්නේ එයාට ඇලීම්, ගැටීම්, උපේක්ෂා සියල්ලම අත හැරෙනවා. ඒ සියල්ලම විතරක් නෙවෙයි එයාට නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් අත හැරෙනවා. නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් ඒ වෙලාවෙ එයාට අත හැරෙන්න ඕන. ඒ කියන්නේ මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන් වැඩුණට පස්සේ අචල ශ්‍රද්ධාව තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් එයා එතනට එන්නේ ස්වාමීන් වහන්ස. මාර්ගය තුළ වඩාගෙන අපි ශක්තිමත්ව එතනට එන්න වෙනවා ස්වාමීන් වහන්ස. එහෙම නැතුව ජීවිතය මරණයට දානවා කියන්නේ ඒක මෝහය තියෙන තැනක්. එතන මෝහයක් තියෙන්නේ.

මෙතනදී ජීවිතය අත හැරෙනවා එයාට. ඇලීම්, ගැටීම් උපේක්ෂාවන් විතරක් නෙවෙයි, නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් එයාට අත හැරෙනවා. එයා නිවන බලාපොරොත්තුව නෙවෙයි ජීවිතය මරණයට දාන්නේ. නිවන බලාපොරොත්තුවෙන් ජීවිතය මරණයට දානවා නම් එතනත් බලාපොරොත්තුවක් තියෙනවා. පංචුපාදානස්කන්ධයක් තියෙනවා. එයා බලාපොරොත්තුවක් ඇතිකර ගන්නවා. එතෙන්දි එයාට නිවන කියන කාරණයත් අදාල නැහැ. එයා ඒකත් අයින් කරනවා. ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාවත් එයාට අයින් වෙනවා. එහෙනම් ස්වමීන් වහන්ස මෙතනට එන්න මාර්ගය තුළ අපව ශක්තිමත් කරන්න ඕන. ඒ මාර්ගය තුළ ශක්තිමත් කරන්නේ මේ සංසාර භය මයි. සංසාර භයේදී එයා තවත් එක මොහොතක් වත් මේ සංසාරේ රැඳෙන්න ඕන කියලා චිත්තයක් එයාට ඇති කරලා දෙන්නේ නැහැ එතනදී.

ඉතින් ඒ සංසාර භයමයි ස්වාමීන් වහන්ස, මේක තමා තුළින් වැඩීම තුළින්ම ඇතිවෙන්න ඕන දෙයක්. වැඩීම තුළින් ම ඇති වෙන්න ඕන දෙයක්. ඒක අපිට බලෙන් ඇතිකර ගන්න බැහැ. ඒකයි කියන්නේ සංසාර භයම දකිමින්, සංසාරෙදි කොතනකදී වත් දායකයා වේවා, පන්සල වේවා, ආරණ්‍යය වේවා මේ කොතනක වත් තියෙන බැඳීමකට, තෘෂ්ණාවකට අපට අහුවෙන්න බැහැ. තමාගේ මාර්ගය තුළ තමා ම ශක්තිමත්ව ඉන්න වෙනවා ස්වාමීන් වහන්ස. ඒක මට තියෙන අත්දැකීමක්, තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. මට වෙච්ච දේ තව කෙනෙකුට වෙනවාය කියන කාරණය මට කියන්න බැහැ. මම මොකක් හරි ලැබූ අත්දැකීමක් තුළ හින්දයි මම කියන්නේ ස්වාමීන් වහන්ස. මාව එතනට දාන්න සැලැස්සුවේ ශ්‍රද්ධාවයි. එතනදී කිසිම බියක් ඇතිවුණේ නෑ ස්වාමීන් වහන්ස. බියක් ඇති වුණේ නැහැ.

මම එක්තරා දවසක එක්තරා රාත්‍රියකදී මම අවසාන තීරණයක් ගත්තා. “ඔබට මේ දෙන අවසාන දාන වේලයි, අද දවල් දුන්නේ” කියලා ස්වාමීන් වහන්ස. මම එතකොට කැලේ ගල් කුටියක හිටියේ. ඒ වෙලාවේ මම මා තුළින් තීරණයක් ගත්තා. මොකද මේක බොරු කරන්න බෑ. තමන්ගේ හෘද සාක්ෂියක් එක්කයි තමන්ගේ පංචුපාදානස්කන්ධයත් එක්කයි මෙතන මේ සටන් කරන්නේ. ඒ නිසා මම තනියම තීන්දුවක් ගත්තා “ඔබට දෙන අවසාන දාන වේලයි මේ දුන්නේ” කියලා ස්වාමීන් වහන්ස. මොකද මා තුළ ගිලිහෙන්නේ නැති කෙලෙස් ධර්මයක් තිබ්බා. මට තේරුණා ජීවිතයේ යම් පුංචි තැනකින් ලෝකයත් එක්ක එල්ලිලා තියෙනවා කියලා. මේක කඩා ගන්න තමයි මේ ප්‍රශ්නය මතුවුණේ ස්වාමීන් වහන්ස. මේක කඩා ගන්න ප්‍රශ්නය මතු වන වෙලාවේ අවසානේ මම එක්තරා රාත්‍රියකදී තීරණයක් ගත්තා ඔබට දෙන අවසාන දාන වේලයි අද දවල් දුන්නේ කියලා. ඒක හිතට එකඟව ගත්ත තීරණයක්. ආයිමත් හිතට වංචා කරලා මෙතන කරන්න බෑ. තමන් එක්කයි තමාගේ මේ ගණුදෙනුව තියෙන්නේ. ඒක අවංකව ගත්තා වූ තීරණයක්. හෙට උදේ පාන්දර මේ ආරණ්‍යයෙන් කැලෙන් ඈතට, ඈතට, ඈතට ගිහිල්ලා නිරාහාරව මැරෙනවා කියන තැනට තීන්දුව ගත්තා ස්වාමීන් වහන්ස. හිතට අවංකව ගත්තේ. මොකද ඒ සා විශ්වාසයි. ධර්මය කෙරෙහි ඒ සා විශ්වාසයි. මේ මාර්ගය තුළ වැඩීම තුළින් සකස් වෙන්නා වූ දෙයක්.

ජීවිතය මරණයට වැටෙන මොහොතේ අවබෝධය කියන දේ ලැබෙනවාය කියන විශ්වාසය අචල ශ්‍රද්ධාව විසින්මයි විශ්වාසය සකස් කරලා දුන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කියලා කියන්නේ. ඒ මාර්ගය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත්ව වැඩීම තුළමයි මේක සකස් වෙන්නේ. ඒ නිසා එවැනි තැනකට ස්වාමීන් වහන්ස ජීවිතය මරණයට දානවා කියන්නේ අන්න එවැනි තැනක්. ඒ තැනේදී ඇත්ත වශයෙන් ම මාරයත් දකිනවා “මේකව අල්ලන්න බැහැ” කියන තත්ත්වය. මොකද හෘද සාක්ෂියට එකඟව තීරණය ගන්නේ. එයාට ජීවත්වෙන්න කැමැත්තක් නැහැ. මොකද ඒ සා කළකිරීමක් එයාට පංචුපාදානස්කන්ධය කෙරෙහි සකස් වෙලා තියෙන්නේ. ඒ කළකිරීම සකස් වෙච්ච තැනදී එයා ජීවත් වෙන්න හිතන්නේ නෑ. මරණය කෙරෙහි තෘෂ්ණාවකුත් නැහැ. නමුත් එයා දන්නවා මරණෙට ජීවිතය දාන වෙලාවෙ එයාට ධර්මය තුළින් අවබෝධයක් ලැබෙනවා කියලා විශ්වාසයක් එයාට එනවා ස්වාමීන් වහන්ස. මේක මාර්ගය තුළදී ඇතිවන විශ්වාසයක්මයි. නමුත් ඒ අත්දැකීම තව කෙනෙකුට නොවෙන්න පුළුවන්. ඒක හැමෝටම විය යුතුයි කියන කාරණයක් මම කියන්නේ නෑ ස්වාමීන් වහන්ස…!!!

(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!