කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව දෙස බැලීමේ දී පිංවත් ඔබට පෙනෙනවා නේද? අතීත අකුසල් සංස්කාරයන් හේතුවෙන් කැඩෙන, බිඳෙන, විසිරෙන රූපයන්, එම රූපයන් හේතුවෙන්ම සකස්වෙන ඵස්සය හේතුවෙන් ආයෙ, ආයෙත් පටිච්චසමුප්පන්නව කැඩෙන, බිඳෙන, විසිරෙන රූපයන්ම උපද්දවන ලෝකයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ක්‍රියාන්විතය මේ මොහොතේ සම්මුති ලෝකය තුළ වඩාත් සක්‍රීය වෙලා තිබෙනවා.

පංච උපාදානස්කන්ධ ලෝකයේ සැබෑම සහ එකම අර්ථය ජාති, ජරා, ව්‍යාධි, මරණ යැයි හාංකවිසියක්වත් නොදත්, පිංවත් මනුෂ්‍යයෝ ලෝකයේ සැබෑ රුව සහ ගුණ දැකලා බියට පත්වෙලයි ජීවත් වෙන්නේ. ඒ නිසාම මරණ බිය, රෝග බිය මොනවට දැනෙන පරිසරය ඉදිරියේ ලෝකයේ මේ වියරු ඇත්ත, ඇති සැටියෙන්ම කියලා දෙන සද්ධර්මයේ අර්ථයනුත් පිංවත් බෞද්ධ ජනතාවට අමතක වෙලා ගිහිල්ලා. බිය, තැති ගැනීම, පංච නීවරණ ජීවිතයේම කොටසක් බවට පත්කොටගෙන තිබෙන බවක් පෙනෙනවා.

කොරෝනාව කියන්නේ සමස්ත ලෝකයටම විපාක දෙන අකුසල් සංස්කාරයක් බව ධර්මානුකූලව ඔප්පු වෙලයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනුෂ්‍යයා විසින් සිදුකොට ගන්නා කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත්ය කියලා. යහපත් මනෝ කර්මයන් කියලා කියන්නේ අලෝභ, අද්වේශ, අමෝහ සිතුවිලි වලට. අයහපත් මනෝ කර්මයන් කියලා කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි වලට. පිංවත් ඔබ, ඔබ ඔබට අවංක වෙලා මොහොතක් ඔබේම අතීත පංච උපාදානස්කන්ධ ලෝකයට සිත යොමුකොට බලන්නකෝ. අතීතයේ අපේ ජීවිත තුළින් බුර බුරා නැගුනේ, කොරෝනාව හේතුවෙන් මේ නිමේෂයේදීත් බුර බුරා නැගෙන්නේ අයහපත් මනෝ කර්මයන් වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ම නේද? අපි උත්සාහ ගන්නවා ද, මේ මොහොතේදීවත් අකුසලයේ වියරුව දැකලා, අයහපත් මනෝ කර්මයන්ගේ අනතුර දැකලා යහපත් මනෝ කර්මයන් තුළ තම තමන්වත් ජීවත් වෙන්න. පූර්වාදර්ශී වියයුතු උතුම් පැවිදි පක්ෂය වන අපිත් ලෝභ, ද්වේශ, මෝහ නමැති අයහපත් මනෝ කර්මයන් තුළම නේද, අපේ ජීවිතවල වැඩි තැනක් ලබා දෙන්නේ.

වර්තමානයේ කොරෝනාව ව්‍යාපාරයක් බවට, දේශපාලනයක් බවට පත්කොටගෙන තව තවත් බලවත් වූ අයහපත් මනෝ කර්මයන් සමාජගත කරන දිශාවකට සමාජය ගමන් කරනවා. කොරෝනාවට අදාළ කොත්තමල්ලි පැකට්ටුවේ පටන් ඖෂධ, රෝග පර්යේෂණ ගාස්තු, වෛද්‍ය උපකරණ ගාස්තු කලුකඩ ජාවාරමක් බවටම පත්වීගෙන යනවා. වර්තමාන අපේ රටේ දේශපාලනයත් අයහපත් මනෝ කර්මයන් වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ගෙන් පිරී ඉතිරී ගිහිල්ලා. අපි මේ ගමන් කරන්නේ අපේම විනාශයේ මාවත, අපිම එළිපෙහෙළි කර ගනිමින්. අපි මේ විපාක දෙන කොරෝනා අකුසල් විකිණුවොත් එහි ලාභය හැටියට අපි ලබන්නේ, අදටත් වඩා බලවත් අයහපත් මනෝ කර්මයන්ගේ විපාකයන් බව සිහි නුවණින් තේරුම් ගන්න, පිංවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ.

වර්තමානයේ අපේ රටට විපාකදෙන කොරෝනා අකුසලය, යහපත් මනෝ කර්මයන් නොවැඩෙන ආකාරයෙන් කළමනාකරණය කරන නිසාම, සෑම නිමේෂයකදීම අපි, අනාගතයට අකුසල් කන්දක් නිර්මාණයකොට ගනිමින්මයි සිටින්නේ. මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොත දක්වා කොරෝනා බියෙන් තොරව ජීවත් වෙන්නේ, භික්ෂුවගේ ජීවිතය අලෝභ, අද්වේශ, අමෝහ යහපත් මනෝ කර්මයන්ගෙන් ධර්මානුකූලව කළමනාකරණය කොටගත් නිසාමයි. මරණ බිය ඉතාමත් වියරුවෙන් අපිට ඔච්චම් කරන මේ නිමේෂයේ දී ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න. අල්පේච්ඡභාවයට ජීවිතය තුළින් ඉඩ ලබා දෙන්න. මධ්‍යම ප්‍රතිපදාව අර්ථවත් කොටදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ජීවත් වෙන්න. කොරෝනාව විකුණමින් හෝ කොරෝනාව මිලට ගනිමින් ජීවත් වෙන්න එපා. පිංවත් ඔබ කොරෝනා බියෙන් ජීවත් වෙනවා නම්, ඔබත් කොරෝනාව මිල දී ගත් පිංවතෙක්ම වෙනවා.

භික්ෂුව මේ සටහන තබන්නේ මැයි මාසේ අට වැනිදා. තවත් සුන්දර වෙසක් මාසයක් උදාවෙලා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය සක්සුදක් සේ ප්‍රකට කරමින් මෙවරත් වෙසක් පුරපසළොස්වක දිනයේ පන්සල, ආරණ්‍ය අපිට තහනම් බිමක් වෙලා තිබෙනවා. සංස්කාරයෝ මොනතරම් නම් කුරිරු ද? ඒත් අපි තවමත් සංස්කාරයන්ට ආදරය කරනවා.

අනිත්‍ය වූ සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන දැනීම් හෙවත් විඤ්ඤාණයන්ට අපි බැඳී යන්නේ, පහන් දැල්ලට බැඳීයන පළඟැටියන්සේමයි. ඇලෙන සිතට අපි ඇලිලාම යනවා. ගැටෙන සිතට අපි ගැටිලාම යනවා. මේ හේතුවෙන්ම කුරිරු සංස්කාරයෝ නැවත, නැවත ශක්තිමත්ව තිරිහන් වෙනවා. මේ තිරිහන්වෙන කුරිරු සංස්කාරයෝ මැද, අපි කෙසේ නම් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න ද? පිංවත් ඔබ වර්තමානයේ ඇලීම් සහ ගැටීම් තුළින් සොයනා සැපය, සහ ලබනා සැපයේ ආශ්වාදය පිංවත් ඔබේම අනාගත සැපය මරා දමන මර උගුලක්ම වෙනවාය කියන කාරණය නුවණින් තේරුම් ගන්න, දක්ෂ වෙන්න.

පිංවත් ඔබ ඇලීම් සහ ගැටීම්වල වහලෙක් වෙන්න එපා. ඔබේ ඇලෙන සිත, ගැටෙන සිත හේතුඵල ධර්මයන් දකිමින් ධර්මයේ උපේක්ෂාවට ගන්න. පිංවත් ඔබේ දුකට සැබෑම සහ එකම වගකිවයුත්තා ඔබේම අතීත සහ වර්තමාන තෘෂ්ණාවමයි. ඔබේ දුකට අනුනට ඇඟිල්ල දිගුකොට, අනුනට චෝදනාකොට තෘෂ්ණාවේ පියා වන අවිද්‍යාව තව තවත් ශක්තිමත් කොටගන්න එපා. සංස්කාර මාරයා පිංවත් ඔබව කොරෝනා අකුසලය තුළ පටලවා තිබෙන්නේ තෘෂ්ණාවේ අස්වැන්න වන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීමට සිත්සේ ඉඩකඩ විවර කරලා. පිංවත් ඔබේම පංච උපාදානස්කන්ධ ලෝකය තුළින් අවුලවන මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ගින්න පිංවත් ඔබම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිසිල් දියෙන් තාවකාලිකව හෝ නිවාගන්න දක්ෂ වෙන්න. රටේ වෛද්‍ය බලධාරී පිංවතුන් බොහෝම පැහැදිලිවම කියනවා, අපේ රටත් ඉන්දියාවේ තත්ත්වයට පත්වෙනවාය කියලා. සෞඛ්‍ය බලධාරීන් එහෙම කියන්නේ වෛද්‍ය විද්‍යාත්මක හේතුඵල ධර්මයන් දැකලාමයි. නමුත් මෙය සටහත් තබන භික්ෂුව බොහොම පැහැදිලිවම කියනවා, අපේ රට කවදාකවත් ඉන්දියාවේ තත්ත්වයට පත්වෙන්නේ නැහැය කියලා. ඒ නිසා අපි සියල්ලෝම කැපවෙමු, ඒ විනාශකාරී තත්ත්වයට පත්නොවී අපේ රටේ ජනතාව ආරක්ෂාකොට ගන්න, රටේ ජනතාවගේ ආයුෂ, වර්ණය, සැපය, බලය ශක්තිමත්කොට ගන්න.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දඹදිව සමාජයේ විශාලා මහනුවරත් මෙවැනිම විනාශයක් සිද්ධ වුණා. නමුත් තෙරුවන්ගේ ශක්තිය නිසාම, බුදුරජාණන් වහන්සේගේ, මහා සංඝරත්නයේ, ගිහි උපාසක උපාසිකාවන්ගේ යහපත් මනෝ කර්මයන්ගේ අයෝමය ශක්තිය නිසාම, විශාලා මහනුවරින් බැහැරට එම වියරු වසංගතය පැතිරී ගියේ නැහැ. අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ බිම්බිසාර රජතුමන් පාලනය කළ අසල්වැසි රාජ්‍යය වන මගධ රාජ්‍යයටවත් මේ වසංගතය පැතිරුණේ නැහැ. විශාලා මහනුවර කියන්නේ මුහුදෙන් වටවූ දූපතක් නොවේ. සිවු දෙසින්ම ගොඩබිමෙන් සමස්ත දඹදිව සමගම සම්බන්ධ වූ බිම් කඩක්.

අතීතයේ විශාලා මහනුවර මහා වසංගතය ඉදිරියේ දඹදිව අති බහුතරයක් ජනතාව ආරක්ෂා වුණේ, උතුම් තෙරුවන්ගේ ශක්තියෙන් උපන් යහපත් මනෝ කර්මයන් වන අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන්ගේ ශක්තිය නිසාමයි. ගෞරවනීය පිංවත, ඉන්දියාවේ, රුසියාවේ, චීනයේ කොරෝනා එන්නත සරණ යෑමෙන් වැළකිලා තාවකාලික ආරක්ෂාව උදෙසා එම එන්නත විදගෙන, කරුණාකර තෙරුවන් සරණ යන්න. එන්නතකට පුළුවන් එක්කෝ ඔබව ජීවත් කරවන්න, එක්කෝ ඔබව මරා දමන්න. උතුම් ශ්‍රී සද්ධර්මය කියන්නේ ඔබව ජීවත්වීමත්, මරණයත් කියන අර්ථයන් දෙකින්ම නිරෝධය සාක්ෂාත් කොටදෙන උත්තරීතර ධර්මතාවයක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් නිසාම, ශීලයේ ශක්තියෙන් සමාධිය පුහුණුකොට රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සම්පත් ලැබූ ඍෂිවරයකුට, ශාපයක් කිරීම තුළින් මේ ලෝකය අළු කරන්න පුළුවන්ය කියලා. මේ ඍෂිවරයා කියන්නේ තෙරුවන් සරණ පිහිටි පුද්ගලයෙක් නොවේ. ඔහු ශීලයේ ශක්තියෙන් සමාධිය පුහුණු කළ පුද්ගලයෙක් පමණක්මයි. තෙරුවන් සරණ නොගිය එවන් ඍෂිවරයෙකුට එවන් ශක්තියක් තිබෙනවා නම්, ගෞරවනීය පිංවත, උතුම් සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන් ශක්තිමත්, සාමීචිපටිපන්න ගුණයෙන් ශක්තිමත් උතුම් සංඝ සමාජයේ අපිත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තම ජීවිතවලට එකතුකොටගත් බෞද්ධ ගිහි උපාසක, උපාසිකාවන්ගේ ධර්මයේ ශක්තියත්, ඒ වගේම ශිල්වත්ව ජීවත්වෙන අන්‍යාගමික පිංවතුන්ලාගේ ශීලයේ සහ මෛත්‍රියේ ශක්තියත් එකට කැටිකොට ගත්තොත්, එය ඍෂිවරයෙකුගේ අධ්‍යාත්මික ශක්තියට වඩා කොතෙක් නම් බලසම්පන්න වෙයි ද?

මේ නිමේෂයේදීත්, මෙතරම් ධර්මයේ ශක්තියක් අප සතුව තබාගෙන ධර්මය කෙරෙහි සතිය සිහියේ දුර්වලභාවයන් නිසාම, පංච නීවරණයන්ට ජීවිතය බාර දී, එන්නතක සරණ සොයන ගෞරවනීය පිංවතුනේ, ගිහි පැවිදි අපි සැවොම එකට එකතු වී අපේ ජීවිත වලින් අපි පුහුණු කළ යහපත් මනෝ කර්මයන් සිහිපත් කොටගෙන සත්‍යක්‍රියා කරන්න. අපේ රටවාසී පිංවත් ජනතාවට නිරෝගීභාවය ලැබේවා කියලා. මේ නිමේෂයේදීම මෙත් සිතින් ඒ සත්‍යක්‍රියාව සිදු කරන්න. දුකට එකම හේතුව ඔබ තුළම සකස් වූ තෘෂ්ණාව බව සිහියට නගාගෙන කරුණාකර අපි විනයගරුක වෙමු. මේ මොහොතේ ලද දෙයින් සතුටු වෙමු. පිංවත් ඔබ දක්ෂනම් අවංකභාවයෙන් ඉහත ධර්මයන් ජීවිතයට එකතුකොට ගන්න. හෙට පටන් මුළු රටම නිරෝගීභාවය දිශාවට ගමන් කරන බව භික්ෂුවට හොඳටෝම විශ්වාසයි.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – 2021.05.16 වන ඉරුදින දිවයින පුවත්පත