කොරෝනා අකුසලයෙන් මිදීමට අපි කුමක් ද කළ යුත්තේ?

අවසානයක් නොපෙනෙන කොරෝනා අකුසලයෙන් හෙම්බත්ව, දුකට හේතුවෙන ඇලීම් සහ ගැටීම් වලින්ම කොරෝනාව පිළිගන්න. පිංවතුන්ලා නිරතුරුවම විමසනවා, ස්වාමින් වහන්ස, කොරෝනා අකුසලයෙන් මිදෙන්න අපි කුමක්ද කළ යුත්තේ කියලා. මේ ප‍්‍රශ්නයට ධර්මානුකූලව බොහෝම කෙටි පිළිතුරක් තිබෙන්නේ. කරුණාකර පිංවත් ඔබ දුකට එකම හේතුව වන තෘෂ්ණාව, සියුම් කොටගෙන පංචඋපාදානස්කන්ධ ලෝකය බුක්ති විඳින්නය කියලා.

කොරෝනා අකුසලයෙන් මිදීමට පිංවත් ඔබලාට ආයුෂය, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් ශීලය මෛත‍්‍රිය සහ දානයමයි අවශ්‍ය වෙන්නේ. පිංවත් ඔබ තනිවම පංචශීලය ආරක්ෂා කොට ගත්තාය කියලා, මෙත් වැඩුවාය කියලා, දන් පූජා කළාය කියලා, රටටම බලපාන අකුසලයක් යටපත් කරන්න බැහැ. රටේ රාජ්‍ය නායක පිංවතුන්ලා දක්ෂ වෙන්න ඕනේ, රටවාසී ජනතාව කෙරෙහි අනුකම්පාවෙන්, ශීලය, මෛත‍්‍රිය, දානය තුළ ශක්තිමත් වෙන්න. රටේ ඉහල තැන්වලින් මේ පූර්වාදර්ශයන් සමාජයට ගලාගෙන එන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දෙවියන්, බ‍්‍රහ්මයන් වන්දනා කරන, පුණ්‍ය කෙත, මහා සංඝරත්නයයි කියලා. මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරන්නා වූ දානයයි මහත්ඵල මහානිශංස දානය බවට පත්වෙන්නේ. මේ උතුම් දානයේ ආනිශංසයන්මයි, මනුෂ්‍යයාගේ වර්ණය, සැපය, බලයට හේතුවෙන්නේ. මේ උතුම් දැක්මටයි ශ‍්‍රද්ධාව කියලා කියන්නේ. නමුත් වර්තමාන නායක පිංවතුන්ලාගේ මේ දැක්ම, පුස්සක් බවට පත්වෙලයි තිබෙන්නේ. රටේ ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත් කළාය කියලා, රටේ පාලක පිංවතුන්ලාගේ හෝ ජනතාවගේ වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ නැහැ. මහා සංඝරත්නය අරමුණු කොට ගෙන පූජා කරන දානයමයි, පිංවතුන්ලාට ආයුෂය වර්ණය, සැපය, බලය ලබාදෙන්නේ.

වර්තමාන සමාජය දෙස බලද්දී අපිට සක්සුදක්සේ පෙනෙනවා, රජයේත්, පිංවත් ජනතාවගේත් ආයුෂය, වර්ණය, සැපය, බලය පිරිහීමේ දිශාවටමයි ගමන් කරන්නේ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන්, සද්ධර්මයට හිතැති ජනතාවගේ නාමයෙන් මේ වැරදි අපි පෙන්වා දිය යුතුයි. ජනතාව විසින් ලබාදුන් අර්ථවත් ජයග‍්‍රහණයක්, පිංවතුන් කිහිපදෙනෙකුගේ අකීකරුකම් වලට අහිමි කොට ගත යුතු නැහැ. මිථ්‍යාදෘෂ්ඨික ආගම් පතුරවන අන්‍යාගමික උපදේශක පිංවතුන්ලාගේ මිච්චා උපදේශයන්ගෙන් මුළු මාතෘභූමියේම ආයුෂ, වර්ණය, සැපය, බලය දුර්වලවෙන දිශාවට, වැරදි පූර්වාදර්ශයන් සමාජ ගත කළ යුතු නැහැ. පිංවත් ජනතාව විසින් පත්කොටගත් පිංවත් රාජ්‍ය නායකයෙක්, මිථ්‍යා දෘෂ්ඨික ආගම් පතුරවන අන්‍යාගමික පින්වතුන්ලාගේ සිරකරුවෙක් වියයුතු නැහැ.

කරුණාකර, රටේ රාජ්‍ය නායකතුමා ජනතාවට ශීලයේ වටිනාකම, මෛත‍්‍රියේ වටිනාකම, මහා සංඝරත්නය අරමුණු කොට පූජා කරන දානයේ වටිනාකම ගැන, පූර්වාදර්ශයන් දෙන්න. රටක රජතුමා සෑමවිටම ජනතාවට ශීලයෙන්, මෛති‍්‍රයෙන්, දානයෙන් පූර්වාදර්ශීවිය යුතුයි. මේ උතුම් ධර්මයන් සඟවාගෙන කළ යුතු දේවල් නොවේ. වර්තමානයේ රටේ සමහරක් ක්ෂේත‍්‍රයන් අන්‍යාගමික ආගම් පතුරවන මිථ්‍යාදෘෂ්ඨික පිංවතුන්ලාගේ ග‍්‍රහණයට නතුවෙමින් පවතිනවා. මේ සියල්ල සිද්ධවෙන්නෙ පිංවත් රාජ්‍ය නායකතුමාගේ පටන්, පිංවත් ජනතාව දක්වාම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් දුරස්වීම නිසාමයි. නමුත් මහා සංඝරත්නය වන අපි, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, ධර්මානුකූලව ජනතාවට නිවැරදි ධර්ම මාර්ගය සිහිපත්කොටදිය යුතුයි. සත්පුරුෂ ආශ‍්‍රයේත්, අසත්පුරුෂ ආශ‍්‍රයේත් වෙනස සිහිපත් කොට දිය යුතුයි. සම්මා දිට්ඨියේත්, මිත්‍යා දිට්ඨියේත් වෙනස සිහිපත් කොට දිය යුතුයි. එසේ නොවුණොත්, හෙට දවසේ සමාජ මතයක් කලඑළි බසීවි, අපි පව් කරන්නේ නැති නිසා, පිං කරන්න අවශ්‍ය නැහැ. අපි ශිල්පද බිඳින්නේ නැති නිසා පංචශීලය සමාදන් වෙන්න අවශ්‍ය නැහැය කියලා. අපිට සැප සම්පත් සියල්ල ලැබිලා තිබෙන නිසා, දන් පූජා කරන්න අවශ්‍ය නැහැය කියලා. පිංවත් ඔබ හෙට දවසේ සමාජගතවීමට සැලසුම් සකස් වෙන, මේ මිථ්‍යාදෘෂ්ඨියේ නම්, ගෙල වැළලා ගන්න එපාය කියලා, මෙත් සිතින් සිහිපත් කොට දෙනවා.

(උපුටා ගැනීම 2021.02.21 දිවයින ඉරිදා සංග්‍රහය)