• පහංකර තෙරුන් වහන්සේගේ කතා පුවතින්.
බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ.
දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදිනුයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වල් වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි.
එය දැක වන කාර්මිකයා “චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍යය එළි නොකොට අනිත් කටයුත්තක යෙදීම නුසුදුසුය” යයි සිතා තමා ගිය කාරිය නවත්වා අකුල් කපා ගස්වැල් කපා ඉවත් කොට සෑය අවට තණ ඉවත් කොට බිම පිරිසිදු කොට අට තැනක හිඳ චෛත්‍යය වැඳ නික්ම ගියේය.
ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සැට යොදුන් උස තිස් යොදුන් පලළ රන් විමනක් පහළ විය.
ඔහු කල්ප ලක්ෂයක් ඒ පිනෙන් දෙව් මිනිස් ලොව දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස් ලොව ඉපද අප බුදුසස්නෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා රහත් විය.
පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නම විය. උන්වහන්සේ විසින් ඒ පිනෙන් අතීතයේ ලත් ඵල මෙසේ ප්‍රකාශ කර තිබේ.
“කුෂ්ඨ ගඩු සුදු කබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟ කැසීමද යන මේ රෝග මට නැත. මෙය චෛත්‍ය එළි කිරීමේ ඵලය ය.”
“කුට්ඨං ගණ්ඩො කිලාසොච අපමාරො විතච්ඡිකා, දද්දු කච්ඡුච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං.”
“බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මාගේ කයෙහි තල කැලැල් හටගත් බවක් නො දනිමි.”
“අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපස්ස සොධනෙ, නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං.”
“බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ම සැරිසරමි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, ද්වෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ”
“බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම සෑම භවයක ම රන්වන් ශරීර ඇත්තෙමි. ප්‍රහාවත් වෙමි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, සුවණ්ණවණ්ණො සබ්බත්ථ සප්පහාසො භාවාමහං.”
“බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් අමනාප අප්‍රිය දෑ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රියමනාප දෑ මා කරා එළඹෙයි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, අමනාපං විවජ්ජති මනාපං උපතිට්ඨති.”
“බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මාගේ සිත පිරිසිදු වෙයි. එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි.”
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, විසුද්ධං හොති මෙ චිත්තං එකග්ගං සුසමාහිතං.”
“බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මම ඒකාසනයෙහි හිඳ අර්හත්වයට පැමිණියෙමි.”
[මේ ගාථාවෙන් දැක්වෙන්නේ භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් වූ බවය.]
“අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ, එකාසනෙ නිසීදිත්වා අරහත්ටමපාපුණි.”
“කල්ප ලක්ෂයකට පෙර යම් කර්මයක් කලෙමිද එදා සිට දුගතියක් නොදනිමි.”
“සතසහස්සිතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං.”
(පහංකරත්ථෙරාපදානයෙනි)
– අතිපූජ්‍ය රේනුකානේ චන්ද්‍රවිමල මහනායක ස්වාමින්වහන්සේ –
සියල්ලන්ටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!
නමෝ බුද්ධාය..!