ගිනි ගෙන දැවෙන ප්‍රේත පිඹුරා.

අප කරන පින් පව් වල විපාකය ඒ මොහොතේදීම ඵල දෙන්නේ නැහැ. කිරි දොවපු ගමන් මිදෙන්නේ නැහැ වගේ. පාපය වැඩිපුර බර පහළට තල්ලු කරන්නයි. කළුකර්ම වලින් අප පහළට ඇද වැටෙනවා. දිනක් මුගලන් මහරහතන් වහන්සේත්, ලක්ඛන මහ රහතන් වහන්සේත් ගිජ්ඣකූඨ පර්වතයේ වඩිමින් සිටිද්දී මහා පිඹුරෙක්ව දුටුවා. ඒ පිඹුරාගේ හිසෙන් පටන්ගෙන වලිගය දක්වා ගිනිගෙන දැවෙනවා. නැවත වලිගයෙන් පැන නඟින ගිනි ජාලාව රැල්ල මෙන් දිගටම හිස දක්වාම පුච්චාගෙන එනවා. නොකඩවාම සිදුවෙන මේ සිදුවීමෙන් පිඹුරා අධික වේදනාවෙන් දැවෙනවා. ඒ දුටු සිදුවීම ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියා. එවලෙහි උන්වහන්සේ ස්වාමින් වහන්සේලාට සසර බිය ඇතිකළ යුතු නිසාත්, හිත වැරැදුන විට තමාට වරදින බවත් පෙන්වාදීමට ඒ කථාවේ අතීත කතාව වදාළා.
මහණෙනි, මේ දුක් විඳින පිඹුරා පෙර ජීවිතයේ මනුස්සයෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරාතුව සිදුවූ සිදුවීමක්. ඒ කාලයේ මනුෂ්‍ය ලෝකයේ පසේබුදු නමක් වැඩ සිටියා. මේ පුද්ගලයා හොඳ ගොවියෙක්. එදා මිනිසුන් ඒ පසේබුදුවරයාණන් වහන්සේට දන් පූජා කළා. පැන් පූජා කළා. වන්දනාමාන කරමින් පින් රැස්කර ගත්තා. ඔවුන් ඒ සඳහා ගියේ මේ කුඹුර මැදින්. ගොවියාට යම් ශ්‍රද්ධාවක් තිබුණත් කුඹුරේ ගොයමට හානි සිදුවන නිසා එතැනින් යන පාර වසා දැමුවා. මිනිසුන් ඒ වැසූ පාර ඇරගෙන කුඹුර මැදින් ගියා. ගොවියාට කේන්ති ගියා. ක්‍රෝධයක් ඇතිවුණා. ඔහු පසේබුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවකදී ආරාමය කඩා විනාශ කොට ගිනි තැබුවා. එහි ප්‍රතිවිපාකයක් ලෙස මොහු අට මහ නිරයේම දුක් වින්දා. බොහෝ කල් දුක් වින්දා. එයින් චුත වී ඉතිරිය මෙසේ විඳවනවා කියා තථාගතයන් වහන්සේ වදාළා. පාපය යනු දිට්ඨධම්මවේදනීය යි. සමහර පව් මේ භවයේදීම තමා සොයාගෙන පැමිණෙනවා. දෙවැනි භවයේදීත් පව තමා සොයාගෙන එනවා. එහෙම නැත්නම් ඕනෑම භවයකදී ඒ පව තමා සොයාගෙන පැමිණෙනවා. එය ඵල නොදී අහෝසි වීමක් නැහැ. එය අහෝසි කර ගන්නටනම් අප මේ භවයේදීම සසරින් එතෙර විය යුතුය. ඒ නිසා කර්මය මත යක්ෂ, පේ‍්‍රත, භූත, ලෝකවලටත්, සිත දියුණු කිරීම මත මනුස්ස, දේව, බ්‍රහ්ම ලෝක වෙත යා හැකි බවත් ශාස්තෘන් වහන්සේ වදාළා.