භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක් ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස් නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය.
තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස් වලින් සුදු ආලෝක දෙකක් නිකුත් වේ. බල්බ දෙකක් සේය. අධික තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තද, අනුනට ධර්මය කියාදීම, අධ්‍යාපනය ලබාදීම වැනි හේතූන් නිසා ඇස්‌වලින් ආලෝකය නිකුත්වනවා වියහැකිය. තවත් අවස්‌ථාවක විකෘති නොවූ ශරීරයක් සහිත, හිස මුඩුකරන ලද, රවුම් පැහැපත් මුහුණක් සහිත, සිවුරක් දරාගත් භික්‍ෂු ප්‍රේතයෙක් ආරණ්‍ය බිමකදී දුටුවේය. පෙර ආත්මයේ ඔහු භික්‍ෂුවක් විය හැකිය. සිවුපසයට අධික තණ්‌හාව හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගත්තද, කරන ලද පිං සහ ආමිස පූජාවන් නිසා විකෘති නොවූ ශරීරයක් ලැබුවා විය හැකිය. මෙම ආරණ්‍ය භූමියේදීම සුදු ජාතික ප්‍රේතයෙක් හමුවිය. ඔහු විදේශීය බටහිර ජාතික ස්‌වරූපයෙන්ම යුක්‌ත විය. ඔහුද විකෘති ස්‌වභායක් නොමැති ශරීරයක් ඇති ප්‍රේතයෙක් වෙයි. ඔහු සමහරවිට ගිහි භාවයෙන් ආරණ්‍යයේ සිටි විදේශිකයෙක් හෝ මෙම ඉඩම්වල අතීත අයිතිකාර විදේශිකයෙක් වීමට පුළුවන්. එහෙත් එම සුදු ජාතික ප්‍රේතයා කරන ලද පිං හේතුවෙන් විකෘති නොවූ ප්‍රේත ආත්මයක් ලැබුවද අවසාන චුති සිතේ ඇතිවූ තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තා විය හැකිය.
ප්‍රේතයන් නිතරම කපුටන් සේ කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කරන පිරිසකි. ඔවුන් දර්ශනය වීමේදී සමහරවිට සිය ගණන් සිනමා පටයක් සේ දර්ශනය වේ.
ප්‍රේත ලෝකයේ මහා අරුමය සත්ව ප්‍රේතයන්ද සිටීමයි. එක් ආරණ්‍ය බිමක භික්‍ෂුව වැඩසිටියදී ප්‍රේත හෝ භූත ස්‌වභාවයේ මීහරකුන් තුන්දෙනෙක් දුටුවේය. තුන්දෙනාගේම පැහැය ලා දුඹුරු පාටය. කිසිදු විකෘතිභාවයක් නොමැතිය. සාමාන්‍ය මීහරක් ස්‌වභාවයේය. එක පේලියට මේ භූත මීහරක් තුන්දෙනා හිස සොලවමින් සිටියහ. මොවුනගේ කටවල් ඇලී තිබිණි. භික්‍ෂුව මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ආරණ්‍ය පිහිටුවීමට පෙර එම ආරණ්‍ය පිහිටි කැළය, මස් සඳහා හොර හරක් සහ මී හරක් මරණ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ව තිබූ බවයි. ඒ මීට වසර 50කට පෙරදීය. අතීතයේ හොර හරක් මැරූ මිනිසුන්, ඒ අය කරන ලද ප්‍රාණඝාත අකුසලය නිසා භූත මී හරක් ලෙස උපත ලබා ඇතැයි අනුමාන කළ හැකිය. බලන්නකෝ කර්මය පසුපසින් එන ස්‌වභාවය. ඔබ ආසා කළ ස්‌වරූපයෙන්ම කර්මය ඔබට විපාක දෙනවා. භූත මීහරකුන්ගේ කටවල් ඇලී තිබුණේ ඔවුනට ආහාර නොලැබීමටය. එයද කර්මයේ විපාකයකි. ඔය භූත ආත්මයෙන් මිදෙන තෙක් එම භූත මීහරක් නිරාහාරව දුක් විඳී. මේ ආකාරයෙන් භූත කුකුලන්ද, වනගත කුටි වලදී භූත මුවන්ද දර්ශනය වී ඇත. මේ සියල්ලන්ම පෙර මිනිස් ආත්ම වල ඉපිද සත්ව ඝාතනය කර හරක්, මී හරක්, කුකුළන්, මුවන් මරා මස් කමින් ජීවත් වූ සතුටු වූ මිනිසුන්ය. ඔවුනට ඔවුන් කළ කර්මය අනුරූපීව ප්‍රතිසන්ධිය ලැබී ඇත. ඔවුන් විසින් කැමැති කළ දෙය ඔවුනට ලැබී ඇත. තමා කෑමට ආසා කළ මස තමාගේම මස බවට පත්වී ඇත. ප්‍රේත ලෝකයේ ජීවත්වන කිසිවෙක් උරණ නොවිය යුතුය. මන්ද තමන් කැමැති කළ දෙය තමන්ට දැන් ලැබී ඇත.
ප්‍රේතයන්ගේ ලෝකයට වඩා ප්‍රේතියන්ගේ ලෝකය හිරිකිතය. භික්‍ෂුවට දර්ශනය වූ එක් ප්‍රේතියක් කාමය වරදවා හැසිරීමේ වරදට ප්‍රේත ලෝකයට වැටුණු කුණු ප්‍රේතියක්‌ය. ඇය කාමය උදෙසා අඩ නිරුවත්ව ජීවත් වේ. ශරීරය හරිම අපුලය. මුහුණ විරූපීය. ශරීරය කුෂ්ඨ පිරී ඇත. බලන්න අප්‍රසන්නය. මිනිස් ස්‌ත්‍රියකගේ ස්‌වරූපයෙන්ම අඟපසඟ දර්ශනය වෙයි. පෙර ආත්මයේ කාමයේ වරදවා හැසිරීම නිසා ඇයට ලැබී තිබුණේ, දැකීමට අප්‍රසන්න ශරීර ස්‌වභාවයක්‌ය. ඇය කාමය යදිමින්, කාමය සොය සොයා ඇවිදී. ඇයගේ අකුසල් කර්මය නිසා ඇයට කාමය නොලැබේ. ඇය කාමය යදින්නේ එනිසාය. මෙවැනි කාම ප්‍රේතියක් මනුෂ්‍ය ලෝකයේ ස්‌ත්‍රියක් ලෙස ජීවත්වීමේදී ලැඡ්ජාවක් බියකින් තොරව වරදේ බැඳීමට ක්‍රියා කිරීමේ පාපයෙන් මෙම ප්‍රේත ආත්මය ලැබී ඇත. මිනිස් ලෝකයේ සේම ප්‍රේත ලෝකයේදීද මෙම ප්‍රේතියෝ මහා අකුසල් සිදුකරගනී. මැය මෙම භික්‍ෂුවගෙන්ද කාමය යැද්දාය. එම සිත ඇයට ඇතිවෙද්දීම ඇය පිච්චී ගියාය. නිරයේ ගිනිදැල් මතටම ඇය වැටුණි. භික්‍ෂුව ඒ බව දැන ගත්තේ ඇය ලතෝනි දෙමින් අතුරුදන්වූ නිසාය. බලන්න හොඳ සිහි බුද්ධියෙන්. මෙම ප්‍රේතිය මිනිස් ලෝකයේ ඉපදිලා ස්‌ත්‍රියක් ලෙස කාමය වරදවා හැසිරිලා, ප්‍රේතියක් වෙලා ප්‍රේත ලෝකයේද කාමය වරදවා හැසිරිලා නිරයේ ගිනිදැල් මතට වැටී පිච්චෙනවා. මොන අභාග්‍යයක්‌ද. මෙය එම ප්‍රේතියගේ කථාව පමණක් නොව ඔබගේද කථාව විය හැකිය.
මේ රටේ මොනතරම් ගණිකා නිවාස තිබෙනවාද? මොන තරම් වැරදි කාම සේවනයන් සිදුවනවාද….. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම කරන අයගේ අනාගත ප්‍රතිඵල තමාම ලියන විභාගයේ ප්‍රතිඵල තමයි.
නවීන තාක්‍ෂණික ලෝකයේ මාධ්‍ය මාරයින් අහිංසක ඔබට දිගුකරන ප්‍රේත ලෝකයේ දෑත, ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න. ඔබත් මාධ්‍ය දරුවනුත් සුවසේ සැනසෙන්න.
තවත් අපූරු ප්‍රේතියක් ගැන සටහනක් තබමි. ඇයගේ මුහුණ විරූපී නොමැත. එය බැලූම් බෝලයක් වගේ රවුම්ය. මිටි මහත ප්‍රේතියකි. ඇය පැහැපත්ය. ඇයට බැරලයක ස්‌වභාවයේ තර ශරීරයක් විය. ඇය සිටියේ ඇඳුමක් ඇඟලාගෙනය. දෑත් දෙපා බරවා රෝගය සෑදුනු අයකුගේ මෙන් මහතය. මේවා කර්මයේ විපාකයි. ඇය මෙම භික්‍ෂුවට දර්ශනය වන මොහොතේ සිටියේ මැද පෙරදිග රැකියාවකට ගොස් එනවිට රැගෙන එන ආකාරයේ විශාල ප්‍රමාණයේ සූට් කේස් එකක් සහ සුවඳ විලවුන් බෝතල් දෙකක් අතේ තබාගෙනය. එක අතක සූට්‌කේසයද, අනෙක් අතේ කුඩා සුවඳ විලවුන් බෝතල් දෙකද විය .මෙම ප්‍රේතිය සුවඳ විලවුන් බෝතල් දෙක දිගු කරමින් කාමය යදී. “ඩුබායි” සූට් කේසයද ඇය අතේය. ඇය නියත වශයෙන්ම මනුෂ්‍ය ලෝකයේ ඉපිද, විදේශ රැකියාවකට මැද පෙරදිග ගොස් පැමිණ දැඩි ලෙස කාමය වරදවා හැසිරීමේ අකුසල විපාකයෙන්, මිනිස් ලොව ජීවත් වන විට තිබූ “මැද පෙරදිග ” සංඥාව සමඟම ප්‍රේතාත්මයක් ලද කාම ප්‍රේතියකි. වර්තමාන සමාජය දෙස බැලීමේදී මේවා සිදුවිය නොහැකි දේවල් යැයි බැහැර කරලිය නොහැක. මෙහි සටහන් තැබුවේ භික්‍ෂුවක් සමාධිය තුළදී දුටු සත්‍ය සිද්ධීන්ය.
ප්‍රේතයන්ගේ ලෝකය අඳුරුය. බිය, තැතිගැන්ම නිසා කලබලකාරීය. ඔවුනුත් සොයමින් ඇවිදින්නේ කාමයයි. ඔවුන්ද යන්නේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ අතීතයේ ජීවත්වීමේදී ඔවුන්ට තිබූ සංඥා විඳීම්, රස වින්දන සඳහාය. එහෙත් ඔවුනට අකුසල් බලය නිසා ලැබෙන්නේ දුකමය. කර්මය සහ විපාකය ඉතා හොඳින් ගැලපෙන ලෙස ලෝකය නිර්මාණය වී ඇත. මනුෂ්‍ය ලොකයේදී ස්‌ත්‍රියක් ලෙස කාමය වරදවා හැසිරීමෙන් සතුටුවේ. එහි විපාක ලෙස කාම ප්‍රේතියක්‌ව ඉපිද, කාම පිපාසය තිබුණිද එය සංසිඳුවාගැනීමට නොහැකිව දුකට පත්වේ. එම නිසාය ප්‍රේතිය සුවඳ විලවුන් දිගුකරමින්, ඩුබායි බෑගය පෙන්වමින් කාමය යදින්නේ කර්මය සහ විපාකය හොඳින් ගැලපෙන නිසාය. නෑනා මස්‌සිනා විවාහය වගේය. මේ හැම සිද්ධියකින්ම නැවත නැවත ඔප්පුවන්නේ ලොව්තුරා ධර්මයේ සත්‍යතාවයි.
ඔබද ලොව්තුරා මඟ නිවැරැදිව හඳුනාගන්න. ඔබ සියල්ල අතහරින්න. එවිට සියල්ල ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. අතහැරීමෙන් ලැබෙන මේ සුන්දර අත්දැකීම ඔබ ඔබේත් අත්දැකීම කරගන්න. බව ගින්නෙන් නිවී යන්න.
තෙරුවන් සරණයි…!!!
~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~