අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා.

උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වූ තැනදී සම්මා සතිය වැඩෙන්නේ මිච්ඡා සතියක් හැටියටයි. මිච්ඡා සතිය ජීවිත ගතවෙච්ච තැනදි පටිච්චසමුප්පන්නව ඕපපාතිකව ප්‍රේතයෙක්ව උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුරුවෙලා යනවා. පණුවෙක්, ගුල්ලෙක් වෙලා උපදිනවාය කියන විශ්වාසය අපෙන් දුර්වලවෙලා යනවා.

පසුගිය දිනක සම්මා සතියක් නැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, අතීතයේ වැඩසිටිය රහතන් වහන්සේලා ඇත්තටම පිරිනිවන්පෑවාද, උන්වහන්සේලා පිරිනිවන්පෑවාය කියලා මොකක්ද අපට ඇති සහතිකය කියලා. භික්ෂුව එම අසරණ මහත්මයාට ප්‍රකාශ කළේ රහතන් වහන්සේලා පිරිනිවන්පෑවාද කියලා සාක්ෂි අවශ්‍ය නැහැ. උන්වහන්සේලා කාමයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය, රූපයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය, වේදනාවේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය අවබෝධ ගුණයෙහි දැක විමුක්තිය සාක්ෂාත්කොට ගත්තාය කියලා. ඉහත යථාර්ථය කාමයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය යනු කුමක්දැයි නොදන්න මනුෂ්‍යයෙක් කෙලෙස නම් තේරුම් ගන්නද?

අපි මොනතරම් සද්ධර්මය දේශනා කළත්, අපි මොනතරම් සද්ධර්මය ශ්‍රවණය කළත්, උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමට ඇති අදක්ෂභාවයන් නිසාම සමාජය බරපතළ අනතුරක් කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අසත්පුරුෂ පුද්ගලයා, අසද්ධර්මය සරණ යනවාය කියලා. ඔහු පවට බියක් නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. ඔහු සිහිමුළාවට පත්වෙනවාය කියලා. අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා. ශ්‍රද්ධාව දුර්වල සම්මා සම්බුද්ධ ශාසනය හෑල්ලූවට පත්කරන මහණ බමුණන් සොයාගෙන යනවා. ඔවුන් හා මිශ්‍රවෙනවා. ඔවුන්ගේ සහායකයන් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ සිතුවිලිම සිතනවා. ඔහුගේ සිතුවිලි මෙලොව තමාගේ දුක පිණිසත්, අනුන්ගේ දුක පිණිසත් හේතුවෙනවා. අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ මන්ත්‍රණයන්ම සිදුකරනවා. තමාට පීඩා පිණිසත්, අනුනට පීඩා පිණිසත් ඔවුන් මන්ත්‍රණය කරනවා. අනුන්ව බේදභින්න කිරීමට රට තුළ ජාතික, ආගමික අසමගිකම් ඇතිකිරීම උදෙසාම මන්ත්‍රණයන් සිදුකරනවා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ වචනම කතාකරනවා. ඔහුගේ වචන මුසාවාද, පිසුණාවාචා, සම්ඵප්ප්‍රලාපයන්ගෙන් දුෂණය වෙලයි තිබෙන්නේ. කතාවක් කළොත් බොරුවක්මයි, අනුනට මඩ ගැසීමක්මයි, විවේචනයක්මයි, ඇති ගුණ වසන්කොට කථා කිරීමක්මයි, නැති ගුණ හුවාදැක්වීමක්මයි. අසත්පුරුෂ පුද්ගලයා, අසත්පුරුෂ කර්මයන් සිද්ධ කරනවා. ඔහු මහා සංඝරත්නයේ සිත් සතන් මානසිකව හිංසනයට පත්කරවා තම විරුද්ධවාදීන්ගේ සිත් කායිකව, මානසිකව හිංසනයට පත්කරනවා. ඔහු සිත්සේ සොරකම් කරනවා. සිත්සේ කාමයේ වරදවා හැසිරෙනවා. මිච්ඡා ආජීවයේ යෙදෙනවා. මෙවැනි අසත්පුරුෂ කර්මයන් සිදුකරන පුද්ගලයන් ස්වාමීන් වහන්සේලාට මිල මුදල්, ලාභ සත්කාර සහ සංවිධානාත්මකව කාන්තාවන් යොදවා තම අසත්පුරුෂ අරමුණුවලට කොටුකර ගන්නවා.

අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ දානයන් දෙනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන් තොරව දන් දෙනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව, සියතින් සකස් කිරීමෙන් තොරව දන් දෙනවා. තම සමාජ තත්ත්වය ප්‍රකට කිරීම උදෙසා, දේශපාලන අරමුණු උදෙසා, ස්වාමීන් වහන්සේලාගේ සිත් දිනාගැනීම උදෙසා පූජා කරන අසත්පුරුෂ දානයන් සමාජයේ ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේමයි මංගල ප්‍රියසාදයන්හිදි ප්‍රණීත ආහාර ඇති තරම් අනුභව කරන්නට සලස්වා මිල අධික මත් වතුර සිහිවිකල් වෙනතෙක්ම බීමට ඉඩ සලස්වා අවසානයේ සුබ අනාගතයක්, සුබ රාත්‍රියක් කියලා තම ගෙවල්වලට පිටත් කරන, අසත්පුරුෂ දානයන් ද සමාජයේ ඕනෑ තරම් තිබෙනවා.

ඒ වගේමයි අසත්පුරුෂ පුද්ගලයා අසත්පුරුෂ දෘෂ්ටීන් ඇතිකොට ගන්නවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්නේ නැහැ. නැවත පටිච්චසමුප්පන්න උපත, දානයේ සහ ශීලයේ ආනිශංස, මවුපිය ගුණය පිළිගන්නේ නැහැ. අසත්පුරුෂ පුද්ගලයන්ගේ එකම විශ්වාසය වෙන්නේ තමන් නොමැරෙන මිනිසුන්ය යන්නයි. ඒ නිසාම ඔවුනගේ මරණය ඛේදවාචකයක්ම වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහලවෙන්නේ පාපය ලාමක දෙයක් වශයෙන් දැකලා පාපයෙන් මිදෙන්න කියන සැබෑ ලෞකික සැපයටත්, විදර්ශනාත්මක, ලෝකෝත්තර සැපයටත් මාර්ගය ලෝක සත්ත්වයාට මතුකොට දීමටය.

තෙරුවන් සරණයි…!!!

~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~