අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට වැඩි නිවසේ, සිටුවා තිබූ රෝස මල් පඳුරක, සුදු පැහැ ලස්සන රෝස මලක් පිපිලා. උදෑසන රෝස පෙති මත වැටුණු පිනි කැට වලින් රෝස මල තවත් ලස්සන වෙලා. අකීකරු බඹරුන් මැද විකසිත වුණ නෑඹුල් රෝස මලේ ඔබ, පංච නීවරණ සුළඟේ දැවටෙන මාර දූතයෙක් හෝ මාර දූතියක් නම් වෙන්න එපා. නික්ලේශී සම්බුදු පුදසුනක් මත, බුදුසමිඳුන්ට ශ්‍රද්ධාවෙන් පූජා වී, පරවී යන්න ආයෙමත් කිසිදාක නොපිපෙන්නම. වර්තමානයේ රෝස මල් වලටත් වසවිස ගහනවා. රෝස මල් තව තව ලස්සන කරන්න. නොසෑහීමෙන් පිරි ලෝකයක, ආයෙමත් පිපෙන්න නම් එපා. පරවී යන්න, කිසිදාක නොපිපෙන්නම.
අවිද්‍යාවේ සරලම අර්ථය වෙන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීමයි. පිංවත් ඔබ ලෝකයෙන් ආදරය බලාපොරොත්තු වෙන්න එපා. ආදරය අයිති අවිද්‍යාවටයි. පිංවත් ඔබ ලෝකයෙන් ද්වේශය බලාපොරොත්තු වෙන්න එපා. ද්වේශය අයිතිත් අවිද්‍යාවටයි. පිංවත් ඔබ ලෝකයෙන් පැසසුම් හෝ විවේචන බලාපොරොත්තු වෙන්න එපා. මේවා අයිතිත් අවිද්‍යාවටයි. පිංවත් ඔබ කැමති පිංවතා සහ ඔබ අකමැති පිංවතා යැයි ලෝකය වර්ග කරන්නට යන්න එපා. කැමැත්ත සහ අකමැත්ත යන දෙකම අයිති අවිද්‍යාවටයි. පිංවත් ඔබ, මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකයෙන් නිවී යන්න, යළි කිසිදාක නොඉපදෙන්නම.
තෘෂ්ණාවෙන් පෝෂණය වෙන සිතුවිල්ලක් පාසාම, තව තවත් අවිද්‍යාවම පෝෂණය වෙනවා. පිංවත් ඔබ තුළ සකස්වෙන සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් පෝෂණය කොටගන්න. පිංවත් ඔබ සිතන්න යන්න එපා, සිතුවිලි ප්‍රඥාව උදෙසා විදර්ශනාවට දන් දෙන්න. මේ නිහඬ රාත්‍රියේ දී භික්ෂුවගේ හෘද ස්පන්දන හඬවත් භික්ෂුවට ඇසෙන්නේ නැහැ. ජීවිතය නැවතිලා ද? එසේත් නැතිනම් භික්ෂුවගේ කාය සංස්කාරයෝ, සප්ත බොජ්ඣඬ්ඟයන්ට ආහාරයක් වෙලා ද? එසේත් නැතිනම් භික්ෂුවගේ කන්වල ආබාධයක් ද?
අඩි හයක් උස මේ ජීවිතය තුළ මුළු ලෝකයම තිබෙනවා. පටිච්චසමුප්පන්න ක්‍රියාන්විතයම තිබෙනවා. අඩු වැඩි වශයෙන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම තිබෙනවා. ජීවිතයක් තුළින් තවත් මොනවා නම් බලාපොරොත්තු වෙන්න ද? ඒ සිතුවිල්ලත් චිත්තානුපස්සනාවෙන්ම භික්ෂුව සෝදා හරිනවා. මේ මොහොතේ භික්ෂුවට බුදුරජාණන් වහන්සේව සිහිපත් වෙනවා. භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ රූපකාය කායානුපස්සනාවෙන් විනිවිද දකිනවා. බුදුරජාණන් වහන්සේගේ රූපය, දෙතිස් කුණපයක්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවක් හැටියට දකිනවා. බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපකාය අට්ඨික සංඥාවක්, ඉරියව් පැවැත්වූ අනිත්‍ය වූ කයක්, කුසිනාරාවේ පූජනීය ධාතූන් වහන්සේලා ගොඩක්, අළු ගොඩක් බවට පත් වූ මරණානුස්සතියක් හැටියට දකිනවා. භික්ෂුව තුළ බුදුරජාණන් වහන්සේගේ රූපය කෙරෙහි කායානුපස්සනාව වැඩුණා වූ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකිනවා. ඉඳිකටු තුඩක තරම්වත් පුංචි ඉඩක් අවිද්‍යාවට දුන්නොත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය දක්ෂයි, ඒ පුංචි විවරය තුළ බැස ගන්න. මේ මොහොතේ භික්ෂුව තුළ මෝදු වී තිබෙන විදර්ශනාත්මක සප්ත බොජ්ඣඬ්ඟයෝ ද භික්ෂුව ධම්මානුපස්සනාවෙන්ම පිරිසිදුකොට දමනවා. එවිට භික්ෂුවගේ ඵස්සය තුළ ලෝකය නැවතිලා. ඒ නැවතුන ලෝකය තුළ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ශ්‍රී සද්ධර්මයේ අර්ථයන් ඒහිපස්සිකව බබළනවා.
අද උදෑසන තාරුණයෙන් පිපී තිබූ සුදු පාට රෝස මල, මේ රාත්‍රියේ නැවත නොපිපෙන්නම පරවෙලා ගිහින් ඇති. ඒත් අද දවසේ අපේ ජීවිත මොනතරම් නම් සංස්කාරයෝ රැස්කොට ගත්තා ද, ආයෙමත් පටිචච්සමුප්පන්නව ජාති, ජරා, ව්‍යාධි, මරණ කටු පඳුරේ දිව්‍ය, මනුෂ්‍ය, සතර අපා ජීවිතයක් වී උපදින්නට. වේදනාවේ රේණු මතින් ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ මල් පැණි උරා බී කොතෙක් නම් අද දවසේ සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ අපේ භව ගිණුමට එකතු වෙන්න ඇති ද? මේ ලෝකයට ලස්සන දීලා වැඩක් නැහැ. මේ ලෝකයට සුවඳ දීලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකය යැයි දේශනා කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වූ සළායතනයන්ටයි. මේ සළායතන ලෝකය විදර්ශනා නුවණින්ම දකින්න. අද දවස ගෙවී ගියත්, පිංවත් ඔබ ප්‍රමාද නැහැ, අප්‍රමාදීභාවයට ඔබව පත්කරන චතුරාර්ය සත්‍යය ධර්මයෝ අපේ පිනට තවම ජීවමානව තිබෙනවා. පිංවත් ඔබ මේ ගෙවීයන අද දවස තාවකාලිකව අවිද්‍යාවෙන් හිස්කොට ගන්න.
පිංවත් ඔබ අද දවසේ ඔබේ ඇසත්, ඇසට අරමුණු වූ සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන්ම දකින්න. සිහිපත් කරන්න උදෑසන පටන් ඇසෙන් දැක්ක රූප, අම්මා, තාත්තා, බිරිඳ, සැමියා, දුව, පුතා, නිවස, වාහනය, ආහාර, ඇඳුම්, පැළඳුම් මේ සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න අවශ්‍ය නම් කායානුපස්සනාව ප්‍රයෝජනයට ගන්න. ඔබේ සළායතනයන්ට අරමුණු වූ සෑම රූපයක්ම අනිත්‍ය නම්, රූපය ඇසුරෙන් සකස්වුණ ඵස්ස, වේදනා, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම්වල අනිත්‍යභාවය නුවණින් දකින්න. අද දවස තාවකාලිකව අවිද්‍යාවෙන් හිස්කොට දමන්න. ඒ හිස්භාවයට ඔබ බැඳෙන්න එපා. අවිද්‍යාව අයෙමත් උපේක්ෂාව තුළින් හෝ සැප වේදනාවන් තුළින් බලාත්මක වේවි. පිංවත් ඔබට දැනෙන හිස්භාවයත් කරුණාකර ධම්මානුපස්සනාවෙන් දකිමින්, ඔබගේ ජීවිතය අවිද්‍යා පච්චයා සංඛාරා ආදී වශයෙන් පටිච්චසමුප්පාද ක්‍රියාන්විතය තුළම විසිරුවා දකින්න. එවිට ධම්මානුපස්සනාව තව තවත් අර්ථවත් වේවි.
නිවනට පක්ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝම වෙනස් වෙලා යනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ උතුම් ඵලය වන චතුරාර්ය සත්‍යය අවබෝධය ද, පිරිනිවීමෙන් අනිත්‍ය වෙලා යනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමට උපකාරී වූ කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයෝ අනිත්‍ය වෙලා යන්නේ ධම්මානුපස්සනාවේ ඇත්ත, අපිට විදර්ශනාත්මකව මතුකොටදීලයි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය වරෙක ඉබි ගමනින් ද තවත් වරෙක අශ්ව කුලප්පුවෙන් ද වෙනස් වෙලා යද්දි, ධම්මානුපස්සනාව අපි තුළ ශක්තිමත් වෙන්න නම්, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිද්දී, පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයේ සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන සියලු පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අනිත්‍යභාවය ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වාම අපි නුවණින් දකින්න ඕනේ.
ශීල විශුද්ධියෙන්, අපේ චිත්ත විශුද්ධිය හෙවත් සම්මා සමාධිමත් සිත ශක්තිමත් වෙලා, අපි තුළ වැඩෙන්න ඕනේ දිට්ඨි විශුද්ධියයි. දිට්ඨි විශුද්ධිය කියන්නේ දැක්මේ පිරිසිදුභාවයයි. පංච උපාදානස්කන්ධ ධර්මයෝ මමය, මගේය, මගේ ආත්මය යැයි දකිනා වැරදි දැක්ම; අතීතයේ මම සිටියා, වර්තමානයේ මම සිටිනවා, අනාගතයෙත් මම සිටිනවා යැයි දකිනා වැරදි දැක්ම; සක්කාය දිට්ඨියේ පිය උරුමය, මමත්වයේ දැඩිභාවයේ කුණු හැව, අධර්මානුපස්සනාවේ රස ගුණ පිරි මේ වැරදි දැක්ම, නිවැරදි දැක්මක් බවට පත්කොට දෙන්නේ, පටිචච්සමුප්පාද ධර්මයන් තුළ ජීවිතය විසිරුවා දැකීමෙන්මය. පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිවැරදි දැක්මෙන් පෝෂණය නොවූ විදර්ශනාව, භාවනා ආශ්වාදයේ ළදරු පාසලක් වීම ධර්මතාවයක්මය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් නොකොටගත් සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික රෝගීභාවයකින් පෙළෙනවාය කියලා. ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයටම මේ ධර්මතාවය පොදුයි. මේ මානසික රෝගීභාවය ඇතිකොට දෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති තෘෂ්ණාවමයි. තෘෂ්ණාවේ අඩු සහ වැඩිභාවයන් මත, මානසික රෝගීභාවයන් අඩු සහ වැඩි වෙනවා. මේ රෝගය ඖෂධ වලින් සුවපත් කරන්න බැහැ. මේ මානසික රෝගය නිට්ටාවටම සුව කරන එකම ඖෂධය වෙන්නේ, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිවැරදි දැක්ම ජීවිතයට එකතුකොට ගැනීමමයි.
මෙය සටහන් තබන භික්ෂුව, දෑස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයන්ට සිත යොමු කරනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ කොතෙක් නම් මේ මානසික රෝගීභාවයෙන් භවාත්‍රයේ පටිච්චසමුප්පන්නව මම පිස්සු නැටුවා ද? සත්‍යකින්ම මම, භවාත්‍රයේ පරම්පරාගත මානසික රෝගියෙක්. පිංවත් ඔබ මට පිස්සෙක් යැයි කිව්වට මම කම්පා වෙන්නේ නැහැ. එයයි ඇත්ත. වසර හතලිස් හතරක මගේ මානසික රෝගී ගිහි ජීවිතයේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් මමය, මගේය, මගේ ආත්මයය යැයි දකිමින් නැටූ ලැජ්ජා නැති පිස්සු, වර්තමානයේ භික්ෂුව ධම්මානුපස්සනාවටම භාරදීලයි තිබෙන්නේ.
පිංවත් ඔබ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසාම හටගන්නා මේ මානසික රෝගයෙන් පෙළෙනවා යැයි සිතන්න අකමැති ද? පිංවත් ඔබේ සිත අකමැති නම් එම ධර්මානුකූල ඇත්ත පිළිගන්න, එයම රෝගයේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. අපේ මුළු ජීවිත කාලයම අපි මොකක්ද කරලා තියෙන්නේ? අනිත්‍ය වූ රූප, අනිත්‍ය වූ සැප, දුක්, අනිත්‍ය වූ හඳුනා ගැනීම්, අනිත්‍ය වූ සංස්කාර, අනිත්‍ය වූ දැනීම් සිදුරු සහිත කලයකට වතුර පුරවන්නා සේ ජීවිතයට එකතුකොට ගැනීම නේද? අවසානයේ අප තුළ ඉතිරි වෙලා තිබෙන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම කියන අවිද්‍යාවම නේද? අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ම නේද? මේ සියල්ල හේතුවෙන් සකස්වෙන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ම නේද? ලස්සන අඩුවෙලා, වයසට යන ජීවිතයක්ම නේද? ඇසට පෙනෙන මේ සැබෑ ඇත්ත, තවමත් අපි නොදකින්නේ, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව විසින් සකස්කොට දෙන මේ මානසික රෝගීභාවයන් නිසාමයි.
පිංවත සමාජය හරිම වේගවත්. වේගය වැඩිවෙනකොට සංස්කාරයන් රැස් වෙනවා වැඩියි. සංස්කාරයෝ රැස් වෙන්න රැස් වෙන්න අවිද්‍යාව නැවත නැවත ශක්තිමත් වෙනවා වැඩියි. ඉන් අදහස් වෙන්නේ, චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජයෙන් ඈත්වෙලා යන වේගය වැඩියි කියලා. වර්තමානයේ අපි දානය තුළිනුත්, මෛත්‍රිය, ශීලය, සමාධිය, භාවනාව තුළිනුත් රූප, වේදනා, හඳුනා ගැනීම්, සංස්කාර, විඤ්ඤාණයන්මයි තෘෂ්ණාවෙන් පෝෂණය කොටගන්න හදන්නේ. හරිම අභාග්‍යයක්. චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ දුකට හේතුව වන තෘෂ්ණාව නිදි ගන්වලා හරි හරියට පිංකම් කරනවා, දන් පූජා කරනවා, භාවනා කරනවා. ඒ විතරක් නොවේ, තෘෂ්ණාව සඟවා තබාගෙන අපි උතුම් අධිගමයනුත් ලබනවා. පිංවත් ඔබ අමනාප වෙන්න එපා මෙහෙම සටහන් තැබුවාට. අපි උතුම් ධර්ම දානය දෙන්නේත්, මේ ධර්මය මමය, මගේමය, මගේ ආත්මය යැයි, මේ උතුම් ශ්‍රී සද්ධර්මයත් තෘෂ්ණාවෙන්ම මගේ කොටගෙනය. මේ සියල්ලෙන්ම අපි අවසානයේ ජීවිතයට එකතුකොටගෙන තිබෙන්නේ, අවිද්‍යාවම යැයි කීවොත්, එය මොනතරම් නම් අවාසනාවක් ද?
පිංවත් ඔබ හිතන්න, අවිද්‍යාවෙන් පිරි ජීවිතයක්, අනිත්‍ය වූ සංස්කාර ගොඩක්, මැරෙන ආයතන හයක්, තෘෂ්ණාවෙන් ඔද්දල් වූ විඳීමක්, උපාදානයේ මර තොණ්ඩුවක්, භවාත්‍රයේ යළි උපතක්, ජරා, ව්‍යාධි, මරණ දුක් ගොඩක්, මෙයම නේද ජීවිතය කියන්නේ? පිංවත ඇත්ත ඇති සැටියෙන් දැක, ජීවිතයට ගසාගෙන ඇති මමය, මගේය, මගේ ආත්මය යන අවිද්‍යාවේ ලේබල් උතුම් ධම්මානුපස්සනාවෙන්ම පුළුස්සා දමන්න. තෘෂ්ණාවෙන් උපදින මානසික රෝගීභාවයන්ගෙන් සුවපත් වී, බල ධර්මයන් තුළින් ලෝකය දකින්න චිත්තයක් ඇතිකොට ගන්න.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
(උපුටා ගැනීම – 2021.04.11 ඉරිදා දිවයින සංග්‍රහය)