කාම මිථ්‍යාචාරය.

කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය.

සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ.

තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ.

හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ.

සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.
____________________________________
🔴 කාමමිත්‍යාචාරය සම්පූර්ණ වීමට බලපාන අංග සතරකි
▪️1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය.
▪️2) සේවන චිත්තය ඇති වීම.
▪️3) සේවනයට උත්සාහ කිරීම.
▪️4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම.
යන අංග සතරය
____________________________________
🔴 කාම මිත්‍යාචාරයේ ප්‍රයෝග

ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදුවේ.
එනම් අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ.
අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.
____________________________________
🔴 කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය

▪️ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ.
ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ.
▪️ගුණ හීනයන් කෙරෙහි දුබලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ.
දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ.
▪️දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දුක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද
ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.
____________________________________
🔴 කාම මිථ්‍යාචාරයේ විපාක

▪️කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති.

▪️සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති.

▪️සමහර විට මරණයට ම ද පත් වෙති.

▪️සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති.

▪️මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති.

▪️නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති.

▪️මිනිස් බව ලැබූ කල්හිත් සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති.
පුරුෂයෝ ස්ත්‍රීහු වෙති.
ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති.
විරූප වෙති.
ජනයාට අප්‍රිය වෙති.
බොහෝ සතුරන් ඇත්තෝ වෙති.
රෝගීහු වෙති.

( අතිපූජ්‍ය රේනුකානේ චන්ද්‍රවිමල මහා නාහිමියන්ගේ ලිපියක් ඇසුරින්. )

🚩මෙසේ කාම මිථ්‍යාචාරය, මහත් දුක් දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ එසේ කිරීමෙන් වළකිත්වා!

උතුම් වූ නිවන උදෙසා සියල්ලෝම නොපමාව කුසල් දහම් වඩත්වා !!!.

සාදූ… සාදූ… සාදූ…

මෙම උතුම් වූ ධර්ම දානමය කාරණා සියල්ලන්ගේම යහපත පිනිස බෙදාහරින්න.

එලෙස සමාජගත කිරීමෙන් රැස් කරගත් සියළු පුන්‍ය සම්පත්තිය, මටත් ඔබටත් පින් කැමති සියල්ලන්ටමත්….;
උතුම් වූ නිවන පිණිසම හේතු වේවා !!!

ඔබ,අප සැමට තෙරුවන් සරණයි!.