කවදා මිදෙමු ද හඩන වැළපෙන ලොවින්?

අසීමිත දරු සෙනෙහසින් යුත් තුරුණු මවක් දරුවා ද කර පින්නාගෙන වීථියක් වීථියක් පාසා, ගමක් ගමක් පාසා අවසිහියෙන් මෙන් දුවන්නී ය. ඇය දුටුවන්ගේ නෙතට ලක් වන්නේ පිස්සියක මෙනි. හමු වන හමු වන අයගෙන් ඇය අසන පැනයකි:

“අනේ! මගේ දරුවා සනීප කර දෙන්න පුළුවන් ද?”

ඇයගේ අෙඳීනාවට කන් දෙන අය සිතන්නේ පිස්සු විකාරෙන් දොඩවන ගැහැනියක බව යි. ඈ සමහරුන්ගේ උසුළු-විසුළුවලට ද ලක් වේ. දරු සෙනෙහස බලවත් වූ නිසා දරුවා මළ බවක් ඇයට නො තේරේ. එහෙත් සත් පුරුෂ එක් මනුෂ්‍යයෙක් ඇයට “නැගණියනි; සැවැත්නුවර ජේතවනාරාමයෙහි එක් වෙදදුරු කෙනෙක් සිටිති. උන් වහන්සේ සියලු රෝගවලට ප්‍රතිකර්ම දන්නා මහා කාරුණිකයාණන් වහන්සේ නමකි.”

තිලොවට තිලක බඳු වූ ඒ භාග්‍යවත්, අරහත් වූ, සියලු රෝගයන්ට ප්‍රතිකර්ම දන්නා වූ මහා කාරුණිකයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයෙහි වැඩ සිට සිව්වනක් පිරිසට දම් දෙසන සේක. ඇය අර සත් පුරුෂයා කී පරිදි දරුවා ද කර පින්නාගෙන මේ පිරිස මැදින් දම්සභා මණ්ඩපයෙහි වැඩ සිටින උතුමාණන් වෙත දිව ආවා ය. අප නිදුකාණන් වහන්සේ ඇය ගැන බුදු නෙතින් බැලූ කල ඇයට රහත් වීමට තරම් පෙර පින් ඇති බව දුටු සේක. ඒ නිසා ම ඇයට බුදු පාමුලට එන්නට මඟ විවර විය. බුදුන් වහන්සේ වෙත ආ ඇය “අනේ ස්වාමීනි! මගේ දරුවා සුවපත් කර දෙන්න හැකි දැ?” යි ඇසුවා ය. එවිට සර්වඥයන් වහන්සේ “නැගණියනි, සුව කළ හැකි ය” යි වදාළ හෙයින් ඇගේ සිත සන්සුන් විය. “ස්වාමීනි, මා ඒ සඳහා කුමක් කළ යුතු දැ?” යි ඕ වහා විමසුවා ය. භාග්‍යවතුන් වහන්සේ “නැගණිය, මට අබ ඇට ස්වල්පයක් අවශ්‍ය යි” වදාළහ. අබ ගෙන ඒම සඳහා සූදානම් වූ ඇයට නිදුකාණන් වහන්සේ “නැගණිය, කිසිවකු නොමළ ගෙයකින් ගෙනෙන අබ යි මට අවශ්‍ය වන්නේ” යි වදාළහ.

ඉක්බිති ඇය මළ දරුවා ද තුරුලු කරගෙන නොමළ ගෙයක අබ සොයමින් සැවැත් නුවර හැම ගෙයක් ගෙයක් පාසා ම ඇවිද්දා ය. මුළු දවස පුරා ම නොමළ ගෙයක අබ සෙවූ ඈ සවස් වන විට හොඳට ම හෙම්බත් විය. ‘කිසිම තැනක නොමළ ගෙයක් නැත. මරණය නම් මෙලොව උපන් සියලු දෙනාට ම පොදු ධර්මතාවකි. එයින් කිසිවකුට බේරීමට නොහැකි ය. ඒ නිසා මේ නිරර්ථක වෑයමක යෙදීමෙන් වැඩක් සිදු නො වේ’ යන අවබෝධය ද ඒ සමඟ ම ඇයට පහළ විය.

ඈ සොහොනට ගොස් මළ කුණ එහි දමා, අනිත්‍යය මෙනෙහි කළා ය. ‘බුදුන් වහන්සේ මා හට යථා පරිදි කරුණු අවබෝධ කරවීමට යි නොමළ ගෙයක අබ සොයා ඒමට කීවේ’ ඈ සිතුවා ය. ‘මෙලොව උපන් සැමට ම අයිති වූ මරණය මගේ දරුවාට ද අයිති වූවකි.’ මේ අනිත්‍යතාව සිතමින් ඈ බුදු පියාණන් වෙත පියනැගුවා ය.

ඈත සිට ම ඇය එනයුරු දකිමින් කාරුණික වූ අප සම්මා සම්බුදුන් වහන්සේ “පින්වත් නැගණිය; අබ ගෙනාවා දැ?” යි ඇසූ සේක.

“භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්ස; මට දැන් අබවලින් වත් දාරක ස්නේහයෙන් හැදූ-වැඩූ පුතුන්ගෙන් වත් වැඩක් නැත. අනිත්‍යය පසක් කරගත්තෙමි. ස්වාමීනි, කිසිවකුත් නැති මට පිහිට වුව මැනවි. මට ඔබ වහන්සේගේ පිහිට පමණ යි” කියමින් ඕ බුදු සිරිපතුල් අබියස වැඳ-වැටුණා ය.

අප තථාගතයන් වහන්සේ මැයට රහත් වීමට තරම් පෙර පින් ඇති හෙයින්:

“තං පුත්තපසු සම්මත්තං
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව
මච්චු ආදාය ගච්ඡති”

යනුවෙන් “දරුවන් ගවමහිෂාදීන් හේතු කොටගෙන දැඩි සේ මත් වූ පුරුෂයා නින්දට බැසගත් ගම්වැසියන් සමූහයක් මහමුහුදට ඇදගෙන යන මහ ගංවතුරක් මෙන් මරණය විසින් සතර අපාය නමැති මුහුදට ඇදගෙන යන්නේ ය” යි වදාළ සේක.

ඒ සතර පද ගාථා ධර්මය මැනැවින් ශ්‍රවණය කළ ඈ උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටියා ය. ඈ බුදු සසුනෙහි පැවිදි බව ලැබීමට කැමැති බව බුදු පියාණන් හට දැන්වූයෙන් මෙහෙණ වරකට යවා පැවිද කළ සේක.

පැවිදි උපසම්පදාව ලැබූ මේ මෙහෙණීන් වහන්සේ දිනෙක පොහොයගෙයි වතාවත් කරමින් පහන් දැල්වූවා ය. එහි දී දැල්වූ පහන් සිළුවක් ඔස්සේ ඇගේ සිත විදර්ශනාවට ළං විය. පහන් සිළ සුළඟට කැඩි-කැඩී නැවතත් ඇති වෙමින් දැල්වෙනයුරු දුටු ඕ එය ම විදර්ශනාවට නඟමින් ‘සියලු සත්ත්වයෝ ඉපදෙති; නැවතත් මැරෙති; නැවත උපත ලබති. ඔවුහු නිවනට ද පැමිණ නොපෙනී යති’ යි මෙනෙහි කළා ය.

එවේලෙහි මහා කාරුණික මුනිඳුන් වහන්සේ මේ තෙරණියගේ සිතෙහි පහළ වූ නිකෙලෙස් උදානය දැක ගඳකිළියෙහි සිට බුදු රැස් මාලාවක් ඈ සිටි තැනට එවා, තමන් වහන්සේ ඉදිරියේ වැඩ සිටිනා සේ දක්වමින් මේ ගාථා ධර්මය වදාළ සේක:

“යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යො
පස්සතෝ අමතං පදං’

“යමෙක් ඒ අමා මහ නිවන නුවණැසින් නොදැක වසර සියයක් ජීවත් වූවත් ඔහුගේ එම ජීවත් වීම උතුම් නො වෙයි. එහෙත් යමෙක් ඒ අමා මහ නිවන නුවණැසින් දැක වාසය කරයි ද ඒ
තැනැත්තා ගෙවන එක දවස උතුම් වන්නේ ය.”

මේ සතරපද ගාථා ධර්මය ශ්‍රවණය කළ මේ මෙහෙණිය සියලු කෙලෙස් ප්‍රහාණය කොට, අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියාපත් ද සමඟින් උතුම් වූ මහ රහත් භාවයට පත් වූවා ය.

එදා පටන් මේ රහත් මෙහෙණිය කසළ ගොඩවල්වල ඇති රෙදි කැබලි, සොහොනෙහි මළ මිනී ඔතා ඇති රළු වූ රෙදි ආදිය එකතු කර කපා, පිළිවෙළට ගෙත්තම් කර සකසාගන්නා ලද රළු වූ ද රූක්ෂ වූ ද සිවුරු ම පෙරවුවා ය.

මේ මෙසේ වෙද්දී එක් දිනෙක බුදුන් වහන්සේ විසින් දෙව්රම් විහාරයේ දී භික්‍ෂුණීන්ට තනතුරු ප්‍රදානය කරන ලදි. එදා සම්මා සම්බුදුන් වහන්සේ:

“ඒතදග්ගං භික්ඛවේ – මම කවිකානං භික්ෂුණීනං ලුඛ – චීවර ධරානං යදිදං කිසා ගෝතමි යනුවෙන් “මහණෙනි, මගේ මේ ශාසනයේ රූක්ෂ වූ චීවරධාරි භික්‍ෂුණීන් අතරින් කිසාගෝතමි තෙරණිය අග්‍ර වන්නේ ය” යි පවසා, කිසාගෝතමි මහරහත් තෙරණිය රූක්ෂ චීවරධාරි භික්‍ෂුණීන් අතරින් අග්‍ර ස්ථානයෙහි පිහිටුවූ සේක.

මේ තෙරණීන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ දී මෙවැනි තනතුරක් දැරීමට පෙරුම් දම් පිරුවේ ගෞතම බුද්ධ ශාසනයට කල්ප ලක්ෂයකට පෙර පහළ වූ පදුමුත්තර බුදුන් වහන්සේ කල ඒ භික්‍ෂුණී ශාසනයේ තනතුරු ප්‍රදානය කළ අවස්ථාවේ දී ය. එකල්හි එක් රහත් මෙහෙණියකගේ ගුණ වර්ණනා කර, එතුමියට මේ තනතුර ම පුදනු දැක ‘මට ද මෙවැනි තනතුරක් මතු බුදු සසුනක දී ලැබේවා !’ යි ඇයගේ පැතුම විය. ඒ පැතුම ද පතාගෙන ම එදා ඕ ලෝකාග්‍ර වූ පදුමුත්තර බුදු පාමුල වැඳ-වැටුණා ය.

එවිට ඒ බුදුන් වහන්සේ ඇගේ ඒ පැතුම අනාගත ගෞතම බුදු සසුනේදී ඉටු වන බවට නියත විවරණ දුන් සේක. එතැන් පටන් ඈ හැකි පමණ පින් දහම් කර, සසර සැරි සරා මේ සමයේ දී ධනයෙන් හීන වූ සිටු ගෙදරක උපත ලබා, ‘ගෝතමී’ නම් ලැබුවා ය. ඇය බාල අවධියේ පටන් ම කෘශ වූ ශරීරයක් ඇති හෙයින් ‘කිසා ගෝතමි’ නමින් ප්‍රසිද්ධ විය. ඇය ගිහි ගෙයි ද නොයෙක් තාඩන-පීඩනවලට ලක් වෙමින්, විවාහ දිවිය ද ගත කර, ලත් එක් පුතණු කෙනකු නිසා කලකිරී පැවිදි දිවියට පත් වී, මෙසේ ගෞතම බුදු සසුනේ රූක්ෂ චීවරධාරී භික්‍ෂුණීන් අතර අගතනතුර ලැබුවා ය.