කල්පයක් ආයුෂ ලැබීමට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා.

යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්.

සතර සෘද්ධිපාද ධර්මයන් යනු
01. ඡන්දය
02. වීර්යය
03. චිත්තය
04. විමංසා යන කාරණායි

ඡන්දය,
ඡන්දය යනු කැමැත්තයි. කුමක් කෙරෙහි ඇතිකොට ගන්නා කැමැත්ත ද? දස කුසල් ධර්මයන් ජීවිතයෙන් වැඩීම සදහා ඇතිකොට ගන්නා කැමැත්තයි. දස කුසල් ධර්මයන් යනු,

01. සතුන් මැරීමෙන්, සතුන්ට හිංසා කිරීමෙන් වැළකීම
02. සොරකම් කිරීමෙන් වැළකීම
03. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම
04. බොරු කීමෙන් වැළකීම
05. පිසුණු වචන කීමෙන් වැළකීම
06. පරුෂ වචන කීමෙන් වැළකීම
07. හිස් වචන කීමෙන් වැළකීම
08. ලෝභ සිත් ඇතිකර නොගැනීම (අලෝභය)
09. ද්වේෂ සිත් ඇතිකර නොගැනීම (අද්වේෂය)
10. ධර්මයන්ට පටහැනිව නොසිතීම(අමෝහය)

ඉහත දස කුසල් ධර්මයන් වැඩීම තුළ පින්වත් ඔබව පංච ශීලයෙන්ද ආරක්ෂා කොට දෙන අතර, සත්ත්වයාට බලවත් අකුසල් සිදු කොට දෙන මනෝකර්ම වන ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන්ගෙන් ද ඔබව ආරක්ෂා කොට දෙනවා.

වීර්යය,
වීර්යය යනු ඡන්දයේ ඵලයයි. කුමක් කෙරෙහිද ඔබ වීර්යය ඇතිකර ගන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම කෙරෙහි. ඔබ දැන් සම්මා දිට්ඨියේ අර්ථයන් ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙ⁣නෙක්.

චිත්තය,
චිත්තය යනු අධිෂ්ඨානය යි. මම මේ ජීවිතයේ ඇස්දෙක පියවීමට පෙරාතුව උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන අධිෂ්ඨානය ඇති කොට ගන්නවා.

පින්වත් ගිහි ඔබට ගොඩක් අනාගත බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හැම අනාගත බලාපොරොත්තුවකටම ඉදිරියෙන් ඔබ මේ ජීවිතයේදී ම උතුම් සෝවාන් ඵලයට පත්වෙනවාය කියන අධිෂ්ඨානය ඇතිකර ගන්න කියලා.

වීමංසාව,
වීමංසාව කියන්නේ විනිවිද දකිනවා. විදර්ශනා නුවණින් දකිනවා.

පින්වත් ඔබ කුමක්ද විමංසාවෙන් දකින්නේ ?

ඡන්දය හේතුවෙන් දස කුසල් ධර්මයන් වැඩීමෙන් සකස්වන කුසලයනුත්, චිත්තය හේතුවෙන් ඔබ අධිෂ්ඨාන කළ උතුම් සෝවාන් ඵලයත් අනිත්‍ය වූ ධර්මතාවයක් ම බව විදර්ශනා නුවණින්, විමංසාවෙන් ඔබ දකිනවා.

බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට දීර්ඝායුෂය පෙන්වා පින්වත් ඔබව භව නිරෝධය දෙසට තල්ලු කරන උපක්‍රමශීලී ධර්මයක් තමයි සතර සෘද්ධිපාද ධර්මය.

ඉහත දැක්මයි පින්වත් ඔබව උතුම් සෝවාන් ඵල අවබෝධයට ඔසවා තබන්නේ.