පින්වත, තවත් සිංහල අලුත් අවුරුද්දක් හෙට දවසේ උදා වෙනවා. පින්වත, සිංහල බෞද්ධකම අර්ථවත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, මෙලොව සහ පරලොව පිළිබඳ විශ්වාසයෙන් පෝෂණය වූ කර්මය කර්මඵල ගැන දන්නා ජාතියක, විනයගරුක මංගල්‍යයටයි සිංහල අලුත් අවුරුද්ද යැයි කියන්නේ. පින්වත, මෙම මංගල්‍යය පුරාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රස සහ ගුණ යස අගේට තැවරිලා තිබෙනවා. පින්වත, සිංහල අලුත් අවුරුද්දේ නැකතට කැවුම්, කිරිබත් රස බලනවා වගේ ම, අවුරුදු නැකැත් චාරිත්‍ර තුළින් විකසිත වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, සතිය සහ නොවිසුරුණ සිතුවිලිවලින් උපදින සමස්ත ජාතියේ ම ආධ්‍යාත්මික රසයත් අලුත් අවුරුදු උදාවේ දී ජීවිතවලින් අත්දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ලෝකයේ කිසිම සහෝදර ජාතියක් සතුව ඉහත සියලුම ආධ්‍යාත්මික රසයන් මතු කොට දෙන අවුරුදු චාරිත්‍රයක් තිබෙනවා යැයි කියලා භික්ෂුව නම් විශ්වාස කරන්නේ නැහැ. පින්වත, දුර්ලභ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ පෝෂණයෙන් උපන් සිංහල අලුත් අවුරුදු මංගල්‍යය වර්තමානයේ යුද උමතුවෙන් වැනසෙන ලෝකයක එකිනෙකාට ගරු කරන, මනුෂ්‍යත්වයේ සහ සාමයේ, ආධ්‍යාත්මික පණිවිඩය සමස්ත ලෝකයට ම කියලා දෙන පාඩමක් වෙනවා. පින්වත, ඔබේම පිනට, ඔබේ උරුමය බවට පත් වූ අවුරුදු මංගල්‍යයේ අර්ථවත් නැකැත් ධර්මයන්, මිථ්‍යා දෘෂ්ටික විකෘතීන්ගෙන් ගලන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ ගොදුරු බිම්වල බෙලහීන කොට දමන්න එපා. පින්වත, විනයගරුක, සතිමත් ජාතියකට මඟ කියන මේ අප්‍රමාදී අවුරුදු නැකත් ධර්මයෝ ලෝකයට ම ප්‍රවර්ධනය කරන්න. පින්වත, දුර්ලභ පිනැති ජාතියක්, සුලභ කෙටි ආස්වාදයේ මංමුළා වූ ජාතියක් බවට පත් වෙන්න එපා. පින්වත, ලෝකයට ම නායකත්වය දිය හැකි දහමක් සිංහල බෞද්ධ ජාතිය සතුව තිබෙනවා.
පින්වත, මෝහය ප්‍රවර්ධනය කරන, සම්මා දිට්ඨිය දුර්වල ලෝක විකෘතීන් ඉදිරියේ, උතුම් සම්මා දිට්ඨිය මුල්කොටගත් ජාතියක් හැටියට සමස්ත ජාතියේ ම සෞභාග්‍යයට හේතු වන මෙතෙක් පැවති සමාජ සම්මත චාරිත්‍ර ධර්මයන්, ජාතියේ ම අදහස් නොවිමසා වෙනස් කරන්න යන්න හොඳ නැහැ. පින්වත, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර යැයි කියන්නේ එක ජාතියකට පමණක් අයිති විය යුතු දෙයක් නොවේ. එම චාරිත්‍රයෝ සමස්ත ලෝකයාට ම සතියෙන්, වීර්යයෙන් ජීවත්වීමට සතිය, සිහිය පුහුණු කොට දෙන ජීවන දහමක් වෙනවා. පින්වත, සියලු වැඩ අතහැර ආගමික කටයුතු තුළින් තම ආධ්‍යාත්මික පිරිසිදුභාවය ඇති කොට ගන්නා නොනගත කාලයෙන් ආරම්භ වී, සුභ නැකතින් හිස තෙල් ගා ස්නානය කිරීමෙන් අර්ථවත් වෙන්නේ, “උදා වෙන වසර පුරාම සියලු කටයුතු යහපත් වෙන්න නම්, කායික සහ මානසික නීරෝගීභාවය මයි මුල් විය යුත්තේ” ය කියන සිහිනුවණ ඇති කොට දීමයි. පින්වත, යම් පින්වතෙක් නොදන්නාභාවය නිසා ම හිමිදිරි උදෑසන හිස තෙල් ගා ස්නානය කළොත් වා, පිත්, සෙම් කිපීමේ රෝගී තත්ත්වයන් ඇති වී ඔහුව ලෙඩ වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, කායික සහ මානසික සෞඛ්‍යයට අදාළ වැරදි පූර්වාදර්ශයෝ තුළින් සිංහල අලුත් අවුරුද්ද ආරම්භ කළොත්, උදා වන වසර පුරාවට ජාතියේ ම නීරෝගීභාවය අනතුරට පත් වෙන්න පුළුවන්. පින්වත, ආර්ථික සෞභාග්‍යය උදෙසා මහා ඉහළින් සැලසුම් හදන අපේ නායක පින්වතුන් නීරෝගී ජීවිතයකට මඟ කියන, ජාතියේ යහපත් සෞඛ්‍ය පුරුදු, පුහුණු ගැන අපිට සිහිය ඇති කොට දෙන, සිංහල, අවුරුදු චාරිත්‍රයන්ට මීට වඩා ගොඩාක් ගරු කරන්න ඕනේ. මේ සෞභාග්‍යයේ ධර්මතාවයෝ ජාතියට එපා කරවන්න හොඳ නැහැ. සෞභාග්‍යයේ කොඳු නාරටිය කඩා බිඳ දමන්න හොඳ නැහැ.
පින්වත, අද උදෑසන භික්ෂුව සුභ නැකතින් කුටියෙන් එළියට බැස්සා. පින්වත, භික්ෂුව පසුගිය දවසක සුභ නැකතින් ධර්ම දේශනාවකට වැඩියා. පින්වත, භික්ෂුවගේ ‘සුභ නැකත’ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි සතිය සිහියයි. පින්වත, භික්ෂුව පැවිදි වූවේත්, උපසම්පදා දිවියට පත් වූවේත්, අපවත් වෙන මොහොත දක්වා ජීවත් වෙන්නේත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ නමැති සුභ නැකත මුල්කොට ගෙන මයි. පින්වත, මේ උතුම් නැකතෙන් අද දක්වා භික්ෂුවට පුංචි හෝ වරදක් සිද්ධ වෙලා නම් නැහැ. පින්වත, භික්ෂුවගේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නැකත ඒ තරමට ම සුභයි. පින්වත, මෙලොව සහ පරලොව සැපය වගේ ම සම්මා විමුක්තියේ නිදහසත්, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නැකතේ සැබෑ ම ප්‍රතිලාභයෝ අපි හැමෝටම හිමි කොට දෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයාගේ ජීවිතයේ ‘තෘෂ්ණාව’ යම් තැනක ද, එතැන එම ශ්‍රාවකයාගේ ‘රාහු කාලය’ ම වෙනවා. පින්වත, පැවිදි අපි තෘෂ්ණාවෙන් උපදින රාහු කාලය තුළ පටන් ගන්නා සෑම වැඩකටයුත්තක දී ම, පංච නීවරණයෝ සක්‍රිය කරන ජාති, ජරා, ව්‍යාධි, මරණ අසුභ ප්‍රතිලාභයෝ ජීවිතවලට මදි නොකියන්න අපල කරනවා. පින්වත, ඉහත සටහන ලියන මේ රාත්‍රිය භික්ෂුවට නම් හරිම සුභ රාත්‍රියක්. පින්වත, මෙම රාත්‍රියේ රාහු කාලයක සෙවණැල්ලක්වත් දකින්න නැහැ. පින්වත, මේ නිමේෂයේදීත්, විදර්ශනාමය සප්ත බොජ්ඣංගයෝ චතුරාර්ය සත්‍යය සුභ නැකතේ ඉහළ ම සුභ ප්‍රතිඵල භික්ෂුවට ලබලා දෙනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඔබේ සුභ නැකත බවට පත් කොට ගත්තොත්, අනිවාර්යයෙන් ම ඔබේ ජීවිතය, සද්ධර්මයේ අර්ථයක් බවට ම පත් වෙනවා.
පින්වත, ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ යැයි කියන ධර්මතාවය අපිට අතීත පටිච්චසමුප්පන්න හොඳ සහ නරක පුරුදු සහ පුහුණු මේ ජීවිතයේ දී මතු කොට දෙනවා. පින්වත, මෙම ජීවිතයේ දී, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණොත්, අතීතයේ යහපත් පුරුදුත්, මෙම ජීවිතයේ දී අසත්පුරුෂ ආශ්‍රය ලැබුණොත් අයහපත් පුරුදුත් මතු වෙලා එන්න පුළුවන්. පින්වත, මේ ජීවිතයේ දී කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබෙන්නේත් ඊට අදාළ අතීත සංස්කාරයෝ තිබුණොත් පමණක් මයි. පින්වත, මහා සංඝ රත්නයට අපහාසාත්මකව චෝදනා කරන සිදුවීම් දැන් දැන් ගොඩාක් වැඩියි නේද? පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේත් බොහෝම සිහිනුවණින්. පින්වත, වචනයක් වැරදුණොත් අපහාසයෝ ගොඩාක් වැඩියි. පින්වත, අනුනගෙන් චෝදනාවක් නොලබපු මනුෂ්‍යයෙක්, මේ මනුෂ්‍ය සමාජයේ නැහැය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, සුගතියෙන් සහ දුගතියෙන් හැඩවුණ මේ භවාත්‍රය තුළ ප්‍රශංසාවත්, චෝදනාවත් සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ශ්‍රද්ධාව නොහඳුනන පින්වතුන්ලාට, අකුසල් ආහාර නොදීම, ශ්‍රද්ධාවැති පින්වතාගේ කල්‍යාණමිත්‍රභාවය වෙනවා. පින්වත, මානසික දුර්වලතාවයකින් පෙළෙන පින්වත් දරුවෙක් අද දෙමාපියන් සමග පැමිණියා. එම දරුවාට භික්ෂුව කිහිපවතාකවක්ම කිව්වා, “භික්ෂුව දෙස බලන්න” ය කියලා. එම දරුවා භික්ෂුව දෙස නොබලා වටපිටාව බලමින් මයි හැසිරුණේ. පින්වත, මෙවැනි අසාමාන්‍ය හැසිරීම් අතීත අකුසල් සංස්කාරයෝයි. පින්වත, පෙර ජීවිතවල අශ්‍රද්ධාවැති පින්වතුන් සමග එකතු වෙලා මහා සංඝ රත්නයට අපහාස, චෝදනා කිරීමේ අකුසල් විපාකයෝ, මේ ජීවිතයේ දී මහා සංඝ රත්නය දෙස බලන්න සිහිය සකස් කොට දෙන්නේ නැහැ. පින්වත, සමහර පින්වතුන් සිටිනවා, මහා සංඝ රත්නය දකිද්දී, ගැටෙන සිත් ඇති කොට ගන්නවා, නමුත් අරක්කු කඩයක් දකිද්දී, දිව, කට, නහර පිනා යනවා. පින්වත, තවත් සමහර පින්වතුන් මහා සංඝ රත්නයට අපහාස චෝදනා කරනවා, නමුත් නිරාගමිකභාවය ඉදිරියේ ඇස් කන් පියාගෙන සිටිනවා. පින්වත, මෙවැනි වර්තමානයේ සුලභ මනුෂ්‍ය චර්යාවෝ ගැටෙන්න හෝ එකට එක කරන්න අවශ්‍ය දේවල් නොව, අපේ නිවැරදිභාවයන් උදෙසා උපයෝගී කොට ගත යුතු සුන්දර හේතුඵල ධර්මයෝ මයි. පින්වත, අපි හැමදාමත් වරද්ද ගන්නවා. පින්වත, අපිට වරදින්නේ අවබෝධ කළ යුතු හේතුඵල ධර්මයෝ සමග ගැටීම හෝ ඇලීම නිසා මයි.
පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලය සහ මිථ්‍යා දෘෂ්ටියෙන් පෝෂණය වූ ශීලය යැයි, ශීලයේ ස්වභාවයන් දෙකක් තිබෙනවා. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, නැවත පටිච්චසමුප්පන්න උපත සහ දානයේ, ශීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය හොඳින් පෝෂණය වෙලා තිබෙනවා. පින්වත, ඔහු සිල් පද සමාදන් වෙන්න පෙරාතුව සිහිනුවණින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, තෙරුවන් සරණ පිහිටලයි සිල් පද සමාදන් වෙන්නේ. පින්වත, මිථ්‍යා දෘෂ්ටියේ ශීලය යැයි කියන්නේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදන්න, නැවත උපතක් විශ්වාස නොකරන, දානයේ සහ ශීලයේ ආනිශංස ගැන නොදන්නා පින්වතා රකිනවා යැයි කියනා ශීලයයි. පින්වත, නිරාගමික පින්වතෙක් සිටිනවා. එම පින්වතාට තෙරුවන් කෙරෙහි අබමල් රේණුවක තරම්වත් ගෞරවයක් නැහැ. තමන් මැරිලා, නැවත උපදිනවා යැයි කියලාවත් ඔහුට විශ්වාසයක් නැහැ. පින්වත, මෙම නිරාගමික පින්වතා කවදාකවත් තෙරුවන් සරණ පිහිටලා පංචශීලය සමාදන් වෙලත් නැහැ. මෙම පින්වතා කියනවා, “හැමෝටම වඩා තමන් සිල්වත්” ය කියලා. පින්වත, ඔය කියන ශීලය අයිති වෙන්නේ මිථ්‍යා දෘෂ්ටික ශීලයට. පින්වත, වර්තමානයේ මෙම ප්‍රවණතාවය හුඟාක් වැඩි වෙනවා. පින්වත, මිථ්‍යා දෘෂ්ටික ශීලයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ශීලය යැයි කියන විකට ඇඳුම් අන්දවනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමට පෙරත් දඹදිව ශීලය කියන අර්ථය තිබුණා. එම ශීලය අයිති වුණේ මිථ්‍යා දෘෂ්ටියටයි. පින්වත, එම මිථ්‍යා දෘෂ්ටික ශීලය ප්‍රවර්ධනය කළේ මිච්ඡා සතියයි, මිච්ඡා සමාධියයි. පින්වත, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්, නිරාගමික පින්වතෙක්ව මහා සිල්වතෙක් යැයි හඳුන්වපු අවස්ථාවක් ගැන භික්ෂුවට දැනගන්න ලැබුණා. පින්වත, එම ශීලය මිථ්‍යා දෘෂ්ටික ශීලයයි. පින්වත, පැවිදි අපි මිථ්‍යා දෘෂ්ටික ශීලය වර්ණනා කිරීම, සම්මා දිට්ඨියේ ශීලයේ අතුරුදන් වීම උදෙසා හේතු වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, ගිහි සමාජය කොයිහැටි වෙතත්, සංඝ සමාජයේ අපිවත් සම්මා දිට්ඨියේ සම්මා ශීලය සහ මිථ්‍යා දෘෂ්ටියේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නොහඳුනන ශීලය අතර අයෝමය වෙනස දැන ගන්න ඕනේ. පින්වත, කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව, සිල් පද සමාදන් නොවී, ශීලයේ ආනිශංසයන් ගැන මෙලෝහසරක් නොදන්නා පින්වතෙක් කියනවා නම්, තමන් සිල්වත්ය කියලා, එම ප්‍රකාශය අයිති වෙන්නේ මිථ්‍යා දෘෂ්ටියටයි. පින්වත, ඔය මිථ්‍යා දෘෂ්ටික ශීලය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අයිති නැහැ. පින්වත් දරුවන්ගේ ගුණාත්මක අනාගතයක් ප්‍රාර්ථනා කරන, මහා බ්‍රහ්ම ගුණැති දෙමාපියන් තම දරුවන්ට දිනපතා සම්මා දිට්ඨියේ අර්ථයන් මුල්කොට ගත්, පංචශීලය සමාදන් වී ආරක්‍ෂා කරන සම්මා ශීලයේ පූර්වාදර්ශයෝ ලබා දීම දෙමාපියන් සතු ශාසනික යුතුකමක් වෙනවා. පින්වත, එසේ නොවුණොත් නාමික ශීලය ඉතුරු වෙලා චතුරාර්ය සත්‍යය ධර්මයෝ අතුරුදන් වෙලා යාවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 අප්‍රේල් 12 ඉරිදා දිවයින පුවත්පතින්.