දැක්ම වරදින විට මතුවෙන පුහු වීරත්වය!

පින්වත, “සත්ත්වයා කර්මය දයාද කොට ගෙන උපදියි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, කර්මය යැයි කියද්දී, කුසල් සහ අකුසල් කියන කාරණා දෙකම අයිති වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට නම් මේ කාලයේ දී කුසල් සංස්කාරයෝ විපාක දෙනවා වැඩියි. පින්වත, විපාක දෙන කුසල් සංස්කාරයෝ හේතුවෙන් විපාකයට පැමිණීමට නොහැකිව ළත වෙන අකුසල් සංස්කාරයෝ අවස්ථාවක් පැමිණෙන තෙක් සීරුවෙන් සිටින හැටි භික්ෂුව සිහිනුවණින් දකිනවා. පින්වත, මෙම සටහන ලියන මොහොතෙත් භික්ෂුව, සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින්, අතීත අකුසල් සංස්කාරයන්ට ධම්මානුපස්සනාවෙන් වැට බඳිමිනුයි වැඩ සිටින්නේ. පින්වත, මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකයේ අපි ඉපදුණේ දිනන්න මිසක් පරදින්න නොවේ. පින්වත, ජීවිතය දින්නාය කියලත් දුකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. පින්වත, ජයග්‍රහණයත් යළි පරාජයට විවෘතවයි තිබෙන්නේ. පින්වත, අවිද්‍යාවේ නිරෝධය, ලෝකය තුළ තෘෂ්ණාවේ උපාදානයෝ නිවා දමනවා. පින්වත, උපාදානයෝ අහිමි ‘පංචස්කන්ධයේ නිරුවත’ අවසානයේ අයිති වෙන්නේ බාහිර සතර මහා ධාතුවට මයි. පින්වත, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික්කරුවා දුකට පක්‍ෂව, නිවනට අදාළ මැජික් පෙන්වනවා. පින්වත, මෙම මැජික්වල, අතහැරීමේ නාමයෙන් නිවනේ රසය, කෙටි ආස්වාදයේ පින්සලෙන් තවරා ඇති නිසා ම, අපි බුදුරජාණන් වහන්සේටත් අකීකරු වන අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා. පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, “ස්වාමීන් වහන්ස, පසුගිය දිනක ‘කුමන’ අධිරක්‍ෂිත කැලෑවක දී කොටියෙකුට ගොදුරු වී, ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූවේ ඇයි ද?” කියලා. පින්වත, භික්ෂුවගේ කෙටි පිළිතුර වුණේ, “නපුරු සතුන් සහ නපුරු සතුන් සිටින ස්ථාන, මඟහැර යන්න” යැයි සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් අවවාදයට එම ගෞරවනීය විදේශීය ස්වාමීන් වහන්සේ අකීකරු වීමයි.

පින්වත, මෙය සටහන් තබන භික්ෂුව නම් පැවිදි වුණේ, මනුෂ්‍යයන් දමනය කරන්න, අලි, ඇතුන්, කොටි දමනය කරන්න නම් නොවේ. පින්වත, භික්ෂුව පැවිදි වූයේ මනුෂ්‍යයන්, අලි, ඇතුන්, කොටි ඉදිරියේ විඳීම් සොයන භික්ෂුවගේ සිත දමනය කරන්නයි. පින්වත, තෘෂ්ණාවේ ආධිපත්‍යයට යට වූ ඵස්සය අලි, කොටි, වලසුන්ගෙන් පමණක් නොව, නිවන තුළත් විඳීම් සොයනවා. පින්වත, ‘මමත්වයේ දැඩිභාවය’ මනුෂ්‍යයාට වගේ ම තිරිසන් සතාටත් පොදුයි. පින්වත, ‘කාම, රාග, පටිඝයෝ’ මනුෂ්‍යයාට වගේ ම තිරිසන් සතාටත් පොදුයි. පින්වත, කිනම් හෝ ආගමක, දහමකින් හික්මුණ පින්වත් මනුෂ්‍යයා මමත්වයේ දැඩිභාවය සහ කාම, රාග, පටිඝයෝ ඉදිරියේ යම් පමණකට හෝ විනයගරුක වුවත්, තිරිසන් සතුන්ගෙන් එම විනයගරුකභාවය කෙසේ නම් අපි බලාපොරොත්තු වෙන්න ද? පින්වත, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දේශනා කොට තිබෙනවා, “දර්ශනයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයන්, සංවර වීමෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයන්, දුරු කිරීමෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයන්, මඟහැර යෑමෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයන්, සමථ විදර්ශනාවෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයන් සිහිනුවණින් ප්‍රහීණ කරන්න” ය කියලා. පින්වත, පැවිදි අපි, මමත්වයේ දැඩිභාවය දුර්වල වෙන දිශාවට අපේ දැක්ම නිවැරදි කොට ගන්න ඕනේ. පින්වත, පැවිදි අපි, අපි තුළ උතුම් තෙරුවන්ගේ ශක්තිය තිබෙනවා, ශීලයේ, සමාධියේ, මෛත්‍රියේ ශක්තිය තිබෙනවා යැයි වරදවා දකින්න හොඳ නැහැ. පින්වත, අපි දැක්ම වරද්දා ගත්තොත්, මනුෂ්‍යයෝ, අලි, කොටි දමනය කරන්න පුළුවන් යැයි අපිට සිතෙන්න පුළුවන්. නපුරු සතුන් ගහන මහා කැලයේ වීර චරිතයක් වෙන්න සිතෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, මෛත්‍රිය, සමාධිය අනිත්‍ය වී යන සංස්කාරයෝ හැටියට ම දකින්න. පින්වත, එවිට තෘෂ්ණාවේ වීරයා පරාජය වෙනවා.

පින්වත, උතුම් පැවිදි ජීවිතයේ දී, ‘වීර කතා’ සහ ‘වීර චරිත’ තහනම් වචන වෙනවා. පින්වත, ඵස්සය තුළ ආධිපත්‍යය දරන තෘෂ්ණාවේ කාඩ්බෝඩ් වීරයාගේ අවිද්‍යාවේ නිරුවත, ඥාන දර්ශනයන්ගේ කැඩපතින් විවෘත කොට දැක, සම්මා විමුක්තියේ බුදුරජාණන් වහන්සේගේ “නිදහස්”, නික්ලේශී ශ්‍රාවකත්වය, පැවිදි අපේ ඉලක්කය වෙනවා. පින්වත, වියරු වැටුණ නාලාගිරි හස්ති රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය වුණේ, බුදුරජාණන් වහන්සේලා සතු අයෝමය මහා දසපාරමී පුණ්‍ය ශක්තියේ බලවත්භාවය නිසා මයි. පින්වත, දසපාරමී පුණ්‍ය ශක්තිය නිසා ම, බුදුරජාණන් වහන්සේලාට කිසිම ජගතෙකුට මරණීය අනතුරක් කරන්න බැහැ. එය බුදුරජාණන් වහන්සේලා විෂයයෙහි ධර්මතාවයක් ම වෙනවා. පින්වත, ශ්‍රාවක පැවිදි අපිට දසපාරමී පුණ්‍ය ශක්තීන් නොමැති නිසා ම, මරණීය අනතුරුවලට විවෘතවයි අපි වැඩ සිටින්නේ. පින්වත, ඉහත හේතුව නිසා මයි, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට අවවාද කරන්නේ, “නපුරු සතුන් මඟ හැර යන්න” ය කියලා. පින්වත, නපුරු සතුන් ඉදිරියේ එම සතුන් මඟ හැර යනවා මිස, නපුරු සතුන් ඉදිරියේ පැවිදි අපේ මමත්වයේ දැඩිභාවය පරීක්‍ෂා කරන්න යන්න හොඳ නැහැ. පින්වත, පැවිදි අපි මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට, උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනා තාක් කල් ම බුදුරජාණන් වහන්සේට කීකරුභාවය දක්වනවාට වඩා, තමන්ගේ ම මමත්වයේ දැඩිභාවයට කීකරු වීමට දක්වන රුචිකත්වය අපි, අපි තුළින් ම හඳුනා ගන්න ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂු අපිට අවවාද කරන්නේ, “ගොදුරු ගමට ළඟත් නොවූ, ගොදුරු ගමට අසීමිත දුරත් නොවූ, සමීප සහ අතිදුරස්ථ කියන අන්තයන් දෙකට යට නොවූ මධ්‍යස්ථ දුරක, විවේකී කුටියක, සෙනසුනක වැඩ සිටින්න” ය කියලා. පින්වත, අන්තයන්ට ගොදුරක් නොවූ මධ්‍යස්ථභාවය මයි, පැවිදි අපි තුළ සකස් වන විඤ්ඤාණයේ මැජික්කරුවාගේ ඇලීම් සහ ගැටීම් සන්දර්ශනවලින් මිදී ‘සබ්බාසව සූත්‍රයට’ අදාළව බුදුරජාණන් වහන්සේ කෙරෙහි කීකරුභාවය ඇති කොට දෙන්නේ.

පින්වත, භික්ෂුව තබන මෙම සටහනට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් විවේචන යොමු වෙන්න පුළුවන්. පින්වත, භික්ෂුව එම විවේචන බෝහෝම මෙත් සිතින් පිළිගන්නවා. පින්වත, ඉහත සටහනේ වරදක් ඇතොත් සමාව අවසර ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙය සටහන් තබන භික්ෂුවගේ අදහස් පසෙක තබා, උතුම් පැවිදි ජීවිතයේ අත්පොත වන, උතුම් සබ්බාසව සූත්‍රයට අදාළව, ඉහත කාරණය දකින්න කියලා සටහන් තබනවා. පින්වත, නපුරු සතුන් දිවා කාලයේදීත් ගැවසෙන අධිරක්‍ෂිත කැලෑවල බණ භාවනා කරන ගෞරවනීය දේශීය සහ විදේශීය ස්වාමීන් වහන්සේලාගේ වීර්යයට අපි දෙවරක් නොසිතා ම ගරු කරන්න ඕනේ. එම වීර්යය අයෝමය වීර්යයක් වෙනවා. පින්වත, එම අයෝමය වීර්යය, වීර්යය බොජ්ඣංගයක් බවට පත් වෙන්න නම්, එම වීර්යය සති සම්බොජ්ඣංගයෙන් සහ ධම්ම විචය බොජ්ඣංගයෙන් මොනවට පෝෂණය වෙන්න ඕනේ නේද? පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි සති සම්බොජ්ඣංගය, පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට එකම හේතුව, ‘තෘෂ්ණාව’ යැයි කියන සතිය සිහිය, පින්වත, උතුම් තෙරුවන් කෙරෙහි කීකරුභාවය, උතුම් සූත්‍රගත ධර්මය කෙරෙහි කීකරුභාවය උතුම් ධම්ම විචය බොජ්ඣංගයට ජීවය දෙනවා. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් උපදින චතුරාර්ය සත්‍යය කෙරෙහි සතිය සිහිය, ධම්ම විචය බොජ්ඣංගය තුළින් උපදින චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ප්‍රායෝගික දැක්ම තුළින් මයි, වීර්යය බොජ්ඣංගයෝ උපදින්නේ. පින්වත, උතුම් භව නිරෝධය උදෙසා ඔබ තුළ උපදින වීර්යය බොජ්ඣංගය, උතුම් සබ්බාසව සූත්‍රයේ ඉගැන්වීම්වලින් ඉක්මවා යන්නේ නැහැ නේද?

පින්වත, මෙය සටහන් තබන භික්ෂුව තමාගේ භික්ෂු ජීවිතය විග්‍රහ කොට ගන්නා ධර්මානුකූල ක්‍රමවේදයක් තිබෙනවා. පින්වත, භික්ෂුව තමා තුළින් දකින්නේ, භික්ෂුව කිනම් හෝ උතුම් අධිගමයන් සාක්ෂාත් කොට ගෙන ද කියන කාරණය නොවේ. භික්ෂුවට එවැනි සිතක් ඇති වුණොත් එම සිතුවිල්ල භික්ෂුව භාර දෙන්නේ ධම්මානුපස්සනාවටයි. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර රූපයත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් එකතුවෙන් සකස් වන අනිත්‍ය වූ ඵස්සය අයිති ධම්මානුපස්සනාවට මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව කැලයේ වැඩ සිටියත්, ගමේ වැඩ සිටියත්, නගරයේ වැඩ සිටියත් සෑම මොහොතක ම සිහිනුවණින් පසු වෙන්නේ, භික්ෂුව උතුම් තෙරුවන්ට, උතුම් ධර්ම විනයට කීකරුභාවයෙන් වැඩ සිටිනවා ද කියන කාරණයයි. පින්වත, භික්ෂුවගේ එම සම්මා දැක්ම භික්ෂුවගේ, භික්ෂු ජීවිතයට අලාභයක් සිදු කොට නැහැ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව වනවාසීවත් වැඩ හිඳලා තිබෙනවා. ගමේ සහ නගරයේත් වැඩ හිඳලා තිබෙනවා. අනාගතයේදීත් එය එසේ ම සිදු වෙනවා, පින්වත, නමුත් භික්ෂුව නපුරු සතුන් දිවා කාලයේත් ගැවසෙන ගොදුරු ගමට අසීමාන්තික දුරස්ථ අධිරක්‍ෂිත කැලෑවල නම් වැඩ සිටින්නේ නැහැ. පින්වත, ඊට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “නපුරු සතුන් මඟ හැර යන්න” කියන උතුම් ධර්මයට ඇති කීකරුභාවය මයි. ගෞරවනීය පින්වත, ඔබ බල ධර්මයන්ගෙන් ශක්තිමත් පින්වතෙක් නම්, ඔබගේ ධර්ම මාර්ගය ඔබ ඉලක්ක කරන්නේ ඔබේ පෞද්ගලිකත්වය උදෙසා පමණක් නොව, උතුම් බල ධර්මයන් වඩවා ගැනීමට වීර්යය වඩන දහස් ගණනක් ගෞරවනීය සහෝදර ස්වාමීන් වහන්සේලාට නිවැරදිව මධ්‍යම ප්‍රතිපදාව වැඩීමට දිරි දෙන පූර්වාදර්ශයන් උදෙසා මයි. පින්වත, උතුම් සංඝ සමාජය තුළ වීරයෝ නැහැ. උතුම් සංඝ සමාජය යැයි කියන්නේ තෘෂ්ණාවේ වීරත්වය, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ශක්තියෙන් පරාජය කළ සහ පරාජය කිරීමට සම්මා වීර්යය හෙවත් මධ්‍යස්ථ වීර්යය පුහුණු කරන ගෞරවනීය පිරිසයි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 අප්‍රේල් 19 ඉරිදා දිවයින පුවත්පතින්.