පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට උපකාරයක් සිදු කරද්දී, කර්මය කර්මඵල විශ්වාසයෙන් එම උපකාරය සිදු කරන්න. පින්වත, මහා සංඝ රත්නයේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන්ගෙන් පෝෂණය වූ සාමීචිපටිපන්න ගුණය යැයි කියන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන ජීව රුධිරයයි. පින්වත, මහා සංඝ රත්නය තම සාමීචිපටිපන්න ගුණයෙන් දේශනා කරන නිවැරදි චතුරාර්ය සත්‍යය ධර්මයෝ සම්මා සම්බුද්ධ ශාසනය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වර්ණවත් කරනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව වසර පහළොවක පමණ පටන් සමාජයට ධර්ම දේශනා කරනවා. පින්වත, මුල් කාලයේ දී නම් සද්ධර්මය විකෘති කරනවා, බොරු කියනවා, මල් කුමාරයා, හොර රහතෙක් වැනි චෝදනාවන්ට ලක්වෙමින් සද්ධර්මය දේශනා කළා. වර්තමානයේ නම් මේ තත්ත්වය හොඳටෝම යහපත් වෙලා තිබෙනවා. පින්වත, නමුත් සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අපි ලෝකයෙන් නිදහස් වෙලා යනවා මිසක්, චෝදනා සහ පැසසුම් “ලෝකයෙන්” නිදහස් වෙන්නේ නැහැ. ඒවා ලෝකයේ ම සාමාජිකයෝ මයි. පින්වත, ලෝකයෙන් නිදහස් වෙන තෙක් ම අපි දක්‍ෂ විය යුතුයි, ලෝකයේ නොතැවරී, ලෝකය උපක්‍රමශීලීව සිහිනුවණින්, අපේ නිවීම උදෙසා කමටහනක් කොට ගන්න.
පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ හරිම දුර්ලභ ශාසනයක්. පින්වත, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ හරිම දුර්ලභ දහමක්. පින්වත, අපි දක්‍ෂ විය යුතුයි, මේ දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනයේ ගන්න තිබෙන පුංචි හෝ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට, ශීලයට, ත්‍යාගයට, සතියට, සමාධියට, මෛත්‍රියට අදාළ ප්‍රතිලාභයන් වේ නම් අප්‍රමාදීව ජීවිතයට එකතු කොට ගන්න. පින්වත, අසුරු සැණක් හෝ ‘අනිත්‍යයි’ කියන සිතුවිල්ලක් ඇති කොට ගන්න ඔබට හැකි නම්, එය ශාසන අග්‍ර ම ප්‍රතිලාභයක් වෙනවා. පින්වත, දුර්ලභ ශාසනයක පූර්වාදර්ශයෝ දුර්ලභයි. පින්වත, අනුන් ධර්මය තුළ හැසිරෙනවා ද කියලා නොවේ, ඔබ සෙවිය යුත්තේ. අනුන් ධර්මය තුළ හැසිරෙනවා ද කියලා ඔබ තුළ සකස් වන සිතයි, ඔබේ කමටහන විය යුත්තේ. පින්වත, අනුන් ගැන සොයන්නා, තමා තුළින් ප්‍රමාදී පින්වතෙක් වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව වසර පහළොවක පමණ පටන් සමාජයට ධර්මය දේශනා කරනවා. පින්වත් ඔබ කියවන මේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ ධර්ම ලිපි පෙළට වසර දහහතක් පමණ වෙනවා. පින්වත, ඔබ සිතන්න, වසර පහළොවක් පුරාවට භික්ෂුව දේශනා කළ සද්ධර්මයෙන්, සටහන් තැබූ සද්ධර්මයෙන් කිසිම පින්වතෙක් ප්‍රයෝජනයක් නොගත්තාය කියලා. පින්වත, එය එසේ නොවුණත්, අපි එසේ සිතමුකෝ. පින්වත, මෙතෙක් භික්ෂුව දේශනා කොට වදාළ සම්බුදු දහම කවුරුවත් ම ප්‍රයෝජනයට නොගත්තත්, පින්වත, භික්ෂුවට එක දශමයක හෝ අලාභයක්, වෙහෙසක්, කාලය නාස්ති වීමක් වෙලා නැහැ. පින්වත, ඔබලාට අතීතයක් පුරා දේශනා කොට වදාළ, සටහන් තැබුව සෑම බණ පදයක් තුළින් ම භික්ෂුව ලැබූ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, ඥාන දර්ශන ඇතෙක් බරට නොව, පින්වත, ඇතෙක් බරට තිබූ භික්ෂුවගේ තෘෂ්ණාවේ බර සැහැල්ලු කොට ගැනීමට ම හේතු වෙලා තිබෙනවා. පින්වත, පින්වත් ඔබට භික්ෂුව අතීතයක් පුරාවට සද්ධර්මය දේශනා කරලා, සද්ධර්මය සටහන් තබලා භික්ෂුව තුළ වැඩුණ දසකුසල් ශක්තිය, සමථ විදර්ශනාමය ශක්තිය වසවර්ති මාරයාටවත් නැවත උදුරා ගන්න බැහැ. පින්වත, විදර්ශනාමය සිතින් කෙලෙස් මකාගෙන යන ගමනක මෙතෙක් මැකුණ කෙලෙස් යළි උපදින්නේ නැහැ. පින්වත, මැකුණ දෙය මැකී ගියා මයි. පින්වත, පෙරළා සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරයන් ගැන නොසිතා, ඔබේ යුතුකම් අවංකව ම සමාජයට ඉටු කරන්න. පින්වත, අතීත අකුසල් හේතුවෙන් භික්ෂුවගේ ජීවිතය ඉදිරියේ අතීතයේ දිගහැරුණ විවේචනවලට බිය වී භික්ෂුව ආපසු හැරුණා නම්, සැබවින් ම භික්ෂුව අද පරාජිතයෙක්. පින්වත, අනුන් අශ්‍රද්ධාවට ගරු කරනවාය කියලා, ඔබත් අශ්‍රද්ධාවට, මෝහයට ගරු කරන්න එපා. පින්වත, අනුන් ශීලයට, ත්‍යාගයට, මෛත්‍රියට ගරු නොකරනවාය කියලා ඔබත් ලෞකික සැපයට අදාළ මේ උතුම් ධර්මයන්ට ගරු නොකරන්න එපා. පින්වත, අනුන් සමාධියට, ප්‍රඥාවට ගරු නොකරනවාය කියලා ඔබත් පංච නීවරණයන්ගේ ගොදුරු බිමක් වෙන්න එපා. පින්වත, දුර්ලභ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ, ප්‍රමාදී අනුන් වෙනුවෙන්, ඔබ අප්‍රමාදී වෙන්න. පින්වත, ප්‍රමාදීභාවයන් ඉදිරියේ ඔබ අප්‍රමාදීභාවයෙන් පූර්වාදර්ශී වෙන්න. පින්වත, ලෝකයෙහි නොතැවරී, ලෝකය උපයෝගී කොට ගෙන, ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පින්වත, ලෝකය තිබෙන්නේ කවුද නිවැරදි, කවුද වැරදි කියලා සිතන්න නොවේ. ලෝකය තිබෙන්නේ හරි සහ වැරදි දෙකෙන් ම නිදහස් වෙන්න.
පින්වත, තෘෂ්ණාව සක්‍රියව තිබෙන තාක් කල් ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ තිබෙනවා. පින්වත, තෘෂ්ණාවේ නිරෝධයෙන් වේදනාවෝ නිවී යනවා. පින්වත, වේදනාවෝ නිවී ගිය ජීවිත පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය තුළයි පවතින්නේ. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධයේ දී සළායතනයෝ නිවී යනවා. පින්වත, ‘දැක්කා’, ‘ඇසුණා’, ‘දැනුණා’ නිවුණ සළායතනයන්ගේ නික්ලේශී ක්‍රියාන්විතය වෙනවා. පින්වත, මොහොතක් අපි, අපේ විඳීම් හේතුවෙන් ඇවිළෙන සළායතනයෝ නිවා ගනිමු. පින්වත, අපිට නොතේරුණාට ඵස්සයේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන විඳීම් මහා සංස්කාර ගිනි ජාලා සකස් කොට දෙනවා. පින්වත, ඔබේ ඇසට අරමුණු වෙන සෑම ආධ්‍යාත්මික සහ බාහිර රූපයක් ම සිහිපත් කොට ගෙන, “දැක්කා” යැයි කියන තැන නවතින්න. පින්වත, එම නැවතුණ “ඵස්සය” කියන තැනත් ධම්මානුපස්සනාවෙන් ම ‘අනිත්‍ය’ යැයි දකින්න. පින්වත, ඔබේ කනට අරමුණු වන සෑම ශබ්දයක් ම සිහිපත් කොට ගෙන “ඇසුණා” කියන තැන නවතින්න. පින්වත, ඇසුණ දෙය තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා. පින්වත, ඔබේ නාසයට, දිවට, ශරීරයට, මනසට දැනෙන සෑම දැනීමක් ම, “දැනුණා” යැයි කියන තැන නවතින්න. පින්වත, උතුම් සද්ධර්මයේ හෘද සාක්‍ෂියට අවංකව ඔබ ජීවත් වෙන්න. පින්වත, සද්ධර්මයේ හෘද සාක්‍ෂියට අවංකව ජීවත් වෙනවා යැයි කියන්නේ, ඔබේ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම්, අනුනට පීඩාවක් නොවන, තමන්ටත් පීඩාවක් නොවන, ඇලීම් සහ ගැටීම්වලින් බැහැර වී, ධර්මයේ උපේක්‍ෂාවෙන් ඔබේ ජීවිතය චතුරාර්ය සත්‍යයෝ දිශාවට මෙහෙයවීමයි.
පින්වත, ඇලීම්, ගැටීම් සහිත යුද්ධය අයිති පංච නීවරණන්ට. පින්වත, උපේක්‍ෂාවේ රස සහ ගුණ ඇති සමාධිය අයිති උතුම් සප්ත බොජ්ඣංගයන්ට. පින්වත, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෙන් මිදීම අයිති උතුම් සම්මා විමුක්තියටයි. පින්වත, සම්මා විමුක්තිය යැයි සටහන් තබද්දී ම, අපේ ජීවිතවලට දැනෙන්නේ පුදුමාකාර නික්ලේශී නිදහසක්. පින්වත, අවිද්‍යාවේ බරෙන් අපි නිදහස් වෙද්දී, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිවී, නිදහස් වෙලා යනවා. පින්වත, එවිට පංච උපාදානස්කන්ධ දුක් ගොඩ ම තෘෂ්ණාවේ ආහාර අහිමි වීමෙන්, පංචස්කන්ධය ඉතිරි වී උපාදානස්කන්ධයෝ නිරෝධය වෙලා යනවා. පින්වත, පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, “ස්වාමීන් වහන්ස, නිවන තිබෙන්නේ කොහේ ද?” කියලා. භික්ෂුව එම මහත්මයාට දැනුම් දුන්නේ, “නිවන තිබෙන්නේ, ‘අවිද්‍යා නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ’ කියන ධර්මතාවය තුළයි” කියලා. පින්වත, නිවුණ පටිච්චසමුප්පාද දහමක් තුළ, කුමක් නම් තිබෙන්න ද? පින්වත, නිවන තිබෙන තැන සොයන්නා, පෙරළා සොයන්නේ තෘෂ්ණාවේ උපාදානයෝ මයි. පින්වත, අපි හැමෝම ‘භව නිරෝධයට’ ගොඩාක් කැමතියි වගේ ම, අපි හැමෝම භවයේ සැප විඳීමටත් ගොඩාක් කැමතියි. පින්වත, මේ දෙයාකාරයේ ම කැමැත්ත මෙහෙය වන්නේ ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ කියන ධර්මතාවය මයි. පින්වත, නිවන කියන අර්ථය තෘෂ්ණාවෙන් ගන්න එපා. පින්වත, නිවන කෙරෙහි තෘෂ්ණාව සමථ විදර්ශනාවේ උපක්ලේශයන්ට ප්‍රණීත ආහාරයක් වෙනවා. පින්වත, සමථ විදර්ශනාවේ උපක්ලේශයෝ මඟ සහ නොමඟ අපිට පටලනවා. පින්වත, “දුකට එකම හේතුව තෘෂ්ණාවයි” කියන සැබෑ මඟ, කවදාකවත් ඔබව නොමඟ යවන්නේ නැහැ.
පින්වත, කායික සහ මානසික නීරෝගීභාවය ලෞකික සහ ලෝකෝත්තර සැපය උදෙසා පරම ලාභයක් වුවත්, දිනෙන් දින ම මේ පරම ලාභය බංකොලොත් වෙන දිශාවට මයි ගමන් කරන්නේ. පින්වත, රෝගීභාවය වයස් භේදයකින් තොරව ම මහා වේගයකින් සංවර්ධනය වෙනවා. පින්වත, මධ්‍යම ප්‍රතිපදාවෙන් පණ ලබන අල්පේච්ඡභාවය, ලද දෙයින් සතුටු වීම අපේ ජීවිතවලින් උදුරා දමද්දී, කාමයන් කෙරෙහි කෙටි ආස්වාදය මනුෂ්‍ය ජීවිතවල යස අගේට රෝපණය වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආහාර ප්‍රත්‍යවේක්‍ෂාව, දහවල් දොළහෙන් පසුව ආහාර ගැනීමෙන් වළකින ශික්‍ෂා පදය පැවිදි අපේ නීරෝගීභාවය උදෙසා අපිට සුන්දර කමටහනක් වෙනවා. පින්වත, ඉහත කමටහන දිවිහිමියෙන් පුහුණු කරද්දී, මේ සටහන ලියන රාත්‍රියේ දී භික්ෂුවගේ ජීවිතයට දැනෙන්නේ හරිම සැහැල්ලුවක්. පින්වත, එම සැහැල්ලුව, සිවුපසය ප්‍රත්‍යවේක්‍ෂාව කෙරෙහි සහ ශික්‍ෂා පද කෙරෙහි ඇති කොට ගන්නා සති සම්බොජ්ඣංගයෝ හේතුවෙන් සකස් වන, ප්‍රීති සහ පස්සද්ධි සම්බොජ්ඣංගයෝ මයි. පින්වත, මේ සියලු ධර්මතාවයෝ ‘අනිත්‍ය’ යැයි දකිද්දී, උපදින ධම්මානුපස්සනාව පැවිදි අපේ සම්මා ඥානයන්ට විදර්ශනාමය ආහාරයක් මයි වෙන්නේ. පින්වත, නීරෝගීභාවය යැයි කියන්නේ පෙර පිනක්. පින්වත, ඔබේ සළායතනයන්ගේ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම්වලට ඔබේ නීරෝගීභාවයට අදාළ පින, රෝගීභාවයේ කුණු කූඩයට දමන්න දෙන්න එපා. පින්වත, ආහාර කෙරෙහි සහ දිව පිනවීම කෙරෙහි තෘෂ්ණාව, නීරෝගීභාවයේ පරම සතුරා වෙනවා. පින්වත, අපි ආහාර තෘෂ්ණාවට යට වෙනවා නම්, කායික රෝගාබාධවලට දොස් තැබීම, අපි, අපිම රවට්ටා ගැනීමක් වෙනවා. පින්වත, ජීවිතය නීරෝගීව භුක්ති විඳින්න නම් කරුණාකර රස තෘෂ්ණාව ඉදිරියේ මධ්‍යස්ථ වෙන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 අප්‍රේල් 05 ඉරිදා දිවයින පුවත්පතින්.