දෙමව්පියන්ගෙන් දුරස්වීම අකුසලයක් ද?

පින්වත, ඔබ කිනම් ක්ෂේත්‍රයක වුව ද ඔබ දක්‍ෂයෙක් නම්, ඔබ කවුද කියලා සමාජයට කියන්න යන්න අවශ්‍ය නැහැ. පින්වත, තෘෂ්ණාව හරිම දක්‍ෂයි, කාමයේ සහ රූපයේ ආස්වාදයන්ට ආත්මීය දෘෂ්ටියේ ලස්සන සළුපිළි අන්දවලා අපිව සමාජගත කරන්න. පින්වත, තෘෂ්ණාවට වශී වෙන්න එපා. තෘෂ්ණාව දුකේ මුල බව හඳුනා ගන්න. පින්වත, තෘෂ්ණාව ඇතුවත් බැහැ, තෘෂ්ණාව නැතුවත් බැහැ. පින්වත, අපි දක්‍ෂ විය යුතුයි, තෘෂ්ණාව සම්මා ඥානයන්ගේ පාලනයට යටත් කොට ගන්න. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධයේ දී අපි ඵස්සය හේතුවෙන් සකස් වන තෘෂ්ණාව සම්මා ඥානයන්ගේ පාලනයට යටත් කොට ගන්නවා. පින්වත, එවිට තෘෂ්ණාව සප්ත බොජ්ඣංගයන්ට වශී වෙලා බල ධර්මයන් සමගයි සංස්කාරයන්ට තවදුරටත් ජවය දෙන්නේ. පින්වත, ඔබ කවුරුන් වේවා, ඔබ කවුද කියලා සමාජයට අණ බෙර ගහන්න යන්න අවශ්‍ය නැහැ. පින්වත, ඔබෙන් සමාජයට විය යුතු යුතුකම් සහ වගකීම් අකුරට ඉටු කරන්න. පින්වත, සමාජයෙන් ඔබට ලැබිය යුතු අයිතිවාසිකම් සිහිනුවණින් පරිහරණය කරන්න. පින්වත, එවිට ඔබ තුළ වැඩෙන කුසල් සංස්කාරයෝ විසින් ම ඔබ කවුද කියලා දැනීම් සමාජයට සකස් කොට දේවි. පින්වත, කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙනුයි හොඳ සහ නරක දැනීම් සකස් කොට දෙන්නේ. පින්වත, ඔබේ හැකියාවන් ඉදිරියේ ඔබ කලබල වුණොත් සහ අධිවේගී වුණොත්, ඔබ තුළ වැඩෙන්නේ පංච නීවරණයෝ මයි. පින්වත, බොහෝම ඉක්මනට ජනප්‍රිය වෙලා, බොහෝම ඉක්මනට මැලවිලා යන චරිත, සමාජය තුළ මොනතරම් නම් තිබෙනවා ද? පින්වත, ඔබව වට්ටන්න පුළුවන් වෙන්නේ අනුනට නොව, ඔබ තුළ වැඩෙන අකුසල් ධර්මයන්ට පමණක් මයි. පින්වත, ඔබේ හැකියාවන් පංච නීවරණයන්ට නොව සප්ත බොජ්ඣංගයන්ට ආහාරයක් කොට දෙන්න දක්‍ෂ වෙන්න.

පින්වත, පාපමිත්‍ර ආශ්‍රය යැයි කියන්නේ දුක්ඛ සත්‍යයට අයිති ලෝකයේ බොහෝම සුලභ කාරණයක්. පින්වත, පාපමිත්‍ර ආශ්‍රයට පුළුවන්, ලෝකය උඩු යටිකුරු කරන්න. පින්වත, උතුම් සම්මා දිට්ඨිය, මිථ්‍යා දෘෂ්ටියට පෙරළන්න පුළුවන්. පින්වත, පාපමිත්‍ර ආශ්‍රයට සත්පුරුෂ ධර්මයෝ, අසත්පුරුෂ ධර්මයන්ට පෙරළන්න පුළුවන්. පින්වත් අම්මා කෙනෙක් කඳුළු සලමින් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, විදේශීය රටක ඉහළ වෘත්තියක් කරමින් සිටි මගේ අවිවාහක පුතා අදාළ රටේ මිථ්‍යා දෘෂ්ටික ආගමික නිකායක පැවිදි වෙලා” ය කියලා. පින්වත, අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්මය ශ්‍රවණය, අනුවණින් මෙනෙහි කිරීමේ ඵලය බවට පත් වෙන්නේ මිථ්‍යා දෘෂ්ටියේ උපතයි. පින්වත, ලෝකයේ බුද්ධෝත්පාද කාලයන්ට වඩා අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් ගොඩාක් වැඩියි. පින්වත, දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල අපි පුහුණු කොට තිබෙන්නේ අසද්ධර්මයන් මයි. පින්වත, ඉහත හේතුව නිසා ම, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ අපි හැමෝගේ ම අතීත සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් තුළ අසද්ධර්මයේ රුවගුණ සැඟවී තිබෙන්නට පුළුවන්කම තිබෙනවා. පින්වත, සමහර පින්වතුන්ලා අපිට ඇවිත් කියනවා, “ස්වාමීන් වහන්ස, මම බුද්ධ වන්දනාවෝ සිදු කරන අවස්ථාවල තෙරුවන් කෙරෙහි ද්වේශ සිතුවිලි ඇති වෙනවා” ය කියලා. පින්වත, අතීතයේ පුහුණු කළ අශ්‍රද්ධාවේ පංච නීවරණ ධර්මයෝ, වර්තමානයේ සමාධිමත් සිතකට කැමති නැහැ. පින්වත, පරණ පුරුදු කාමච්ඡන්දයන්ට මයි සිතුවිලි දිගේලි කරන්නේ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, වීර්යය, පවට ඇති ලජ්ජාව, බිය කියන අර්ථයන් තුනෙන් තොරව, අතීත අසද්ධර්මයන්ගේ පුරුදු සහ පුහුණු සංස්කාර හොල්මන් මකා දමන්න නම් ලැබෙන්නේ නැහැ.

පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, “ස්වාමීන් වහන්ස, මගේ දෙමාපියන් මිථ්‍යා දෘෂ්ටිකයි. මගේ දෙමාපියන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට ගරු නොකරන, කාමච්ඡන්දයන්ට සහ අන්‍යශීලවෘතයන්ට මයි ප්‍රියභාවය දක්වන්නේ. ඉහත හේතුව නිසා ම, මම දෙමාපියන්ගෙන් ඈත් වෙලයි ජීවත් වෙන්නේ.” “ස්වාමීන් වහන්ස, දෙමාපියන්ගෙන් දුරස්වීම තමන්ට අකුසලයක් ද?” කියලයි මෙම මහත්මයා විමසන්නේ. පින්වත, අනාගාමී උග්ග ගෘහපතිතුමා තම ශ්‍රද්ධානුසාරී බිරින්දෑවරු හතර දෙනා සහෝදරියන් හැටියට තම නිවසේ තබාගෙනයි ජීවත් වුණේ. පින්වත, සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගත් විශාකා උපාසිකාව තම ශ්‍රද්ධානුසාරී ස්වාමිපුරුෂයා සමගයි ජීවත් වුණේ. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් වූ සිටු කුමරියක් දෙමාපියන්ට අකීකරු විවාහයක් සිදු කොට ගෙන, මස් වැද්දෙක් සමග ජීවත් වුණාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, අනුනගේ හෝ දෙමාපියන්ගේ මිථ්‍යා දෘෂ්ටිකභාවය හෝ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය අපිට මොකට ද? පින්වත, අනුනගේ හෝ දෙමාපියන්ගේ මිථ්‍යා දෘෂ්ටිකභාවය ඔබගේ සම්මා දිට්ඨියේ ශක්තිය උදෙසාත්, අනුනගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත්භාවය උදෙසාත් කමටහනක් කොට ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, තම දෙමාපියන්ගේ මිථ්‍යා දෘෂ්ටිකභාවයන් දැකලා දරුවන් දෙමාපියන්ගෙන් දුරස් වෙනවා නම්, ඉන් ප්‍රකට වන්නේ දරුවන්ගේ ඇලීමේ සහ ගැටීමේ ප්‍රවණතාවයයි. “මම සම්මා දිට්ඨිය තුළ සිටිනවා” යැයි කියලා තමාට ඇලෙනවා. “දෙමාපියන් මිථ්‍යා දෘෂ්ටිකයි” කියලා දෙමාපියන් සමග ගැටෙනවා. පින්වත, දෙමාපියන් මිථ්‍යා දෘෂ්ටියට කැමති වුවද, දරුවන් තම දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන් අමතක කරන්න එපා.

පින්වත, සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙරාතුවයි තම අම්මා වූ මිථ්‍යා දෘෂ්ටික සාරී බැමිණ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කරුණා ගුණයෙන් සම්මා දිට්ඨියට පත් වුණේ. පින්වත, තම දෙමාපියන්ගේ යම් මිථ්‍යා දෘෂ්ටිකභාවයන් දැකලා, තම දෙමාපියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් දැකලා දෙමාපියන්ගෙන් දුරස් වෙන්න එපා. තම දෙමාපියන් අතහරින්න එපා. පින්වත, ඔබ එහෙම කළොත්, ඔබ සම්මා දිට්ඨියෙන් දුරස් වෙන්න පුළුවන්. පින්වත, වර්තමානයේ ඔබේ දෙමාපියන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට ගරු නොකළත්, ඔබ වැනි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හඳුනන දරුවෙක් ලෝකයට බිහි කළ ඔබේ දෙමාපියෝ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණැති මහා බ්‍රහ්මයෝ මයි. පින්වත, ප්‍රියයන්ගෙන් වෙන් වීම වගේ ම අප්‍රියයන් හා එක් වීම, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්ය සත්‍යය වන දුක්ඛ සත්‍යයේ සුන්දර ම අර්ථයක් වෙනවා. පින්වත, මිථ්‍යා දෘෂ්ටිය වඩන ඔබේ ආදරණීය දෙමාපියන් තුළින්, ඥාතීන්, හිතමිතුරන් තුළින් මිථ්‍යා දෘෂ්ටිය නොව දුක්ඛ සත්‍යය දකින්න. පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල ඔබේ දෙමාපියන්, ඥාතීන්, හිතමිතුරන් තුළින්, ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවය නොව, දුක්ඛ සත්‍යයේ අර්ථය දකින්න. පින්වත, ඔබේ මහා බ්‍රහ්ම ගුණැති දෙමාපියන් මිථ්‍යා දෘෂ්ටියේ සහ දුර්වල ඉන්ද්‍රිය ධර්මයන්ගේ කුණු කූඩයට දමන්න එපා. පින්වත, දෙමාපියන්ගේ අවසාන හුස්ම රැල්ලේ දී හෝ “දෙමාපියන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පත් කරනවා” ය කියන කෘතවේදී අධිෂ්ඨානයට එන්න. පින්වත, වරද දෙමාපියන්ගේ නොවේ, වරද අවිද්‍යාවේයි. පින්වත, අවිද්‍යාවයි, තම දෙමාපියනුයි පටලවා ගන්න එපා. පින්වත, ඔබේ අවිද්‍යාව යටපත් කොට, දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන් දකින්න. “පින්වත් දරුවෙනි, ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් අවිද්‍යාවට නොව, දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන්ට සලකන්න.”

පින්වත, උතුම් පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් තම ජීවිතය නොදකින්නා, පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් අනුනගේ ජීවිත නොදකින පින්වතා පැටලුණ නූල් බෝලයක් වගේ යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන් නොදන්න පින්වතා කෙලෙසක නම් අවිද්‍යාවේ “මුල”, විඳීමේ “මැද” සහ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගේ “අග” සිහිනුවණින් තේරුම් ගන්න ද? පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොදන්නාභාවය නිසා ම, අපි හරිම දක්‍ෂයි අවිද්‍යාව ‘මම ය’, ‘මගේ ම’ යැයි දකින්න. පින්වත, අවිද්‍යාවේ මහා බර පොදිය ජාති, ජරා, ව්‍යාධි, මරණයෝයි. පින්වත, ධනවත්භාවය, දුප්පත්භාවය, ලස්සන, අවලස්සන, උගත්භාවය, නූගත්භාවය යන සියල්ල ම අයිති අවිද්‍යාවේ ලෝකයටයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට අයිති දේවල් ජීවිතයට ගන්න කොට හරිම පරිස්සමින්, සිහිනුවණින් ගන්න ඕනේ. පින්වත, තෘෂ්ණාවේ ලෝකය, ඇලීම් සහ ගැටීම්වලට ප්‍රණීත වටිනාකමක් දෙනවා. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයෝ ජීවිතවලට අයිති කොට දෙන්නේ විතර්කයන්ට නිවාඩු දෙන උපේක්‍ෂාවයි. පින්වත, ඔබට තිබෙන්නේ ලස්සන රූපයක් නම් අවිද්‍යාව හේතුවෙන් සකස් වුණ සංස්කාරයෝ හැටියට ලස්සන රූපය දකින්න. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින් ජීවිතය දකිද්දී, ජීවිතය හරිම නිදහස්. පින්වත, එම නිදහස තුළ ජීවිතයේ තාවකාලික රූප නොව සද්ධර්මයේ නික්ලේශී රසයයි තිබෙන්නේ. පින්වත, එම ලස්සන ජීවිතය තුළ දෘෂ්ටි විකෘතියට නොව, දිට්ඨි විශුද්ධියට මාර්ගයයි තිබෙන්නේ.

පින්වත, සත්ත්වයාගේ ලස්සන හෝ අවලස්සන මනින්න මිම්මක් නැහැ. පින්වත, ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම් සහ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ සත්ත්වයාගේ ලස්සන සහ අවලස්සන ආත්මීය දෘෂ්ටියේ හුණ්ඩුවෙන් මැනලා දෙනවා. පින්වත, මේ මනුෂ්‍ය ලෝකයේ කවුද සිතන්නේ තමන්ගේ රූපය අවලස්සනයි කියලා. පින්වත, ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය ඕනෑම අවලස්සන රූපයක් ලස්සන කොට දෙනවා. පින්වත, ගොඩාක් විරූපී පින්වත් අහිංසක මහත්මයෙක් සිටියා. කාල වර්ණ ඔහුගේ ශරීරයේ සෑම තැනක ම කුඩා නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ ගෙඩි හටගෙනයි තිබුණේ. පින්වත, මෙම චර්ම රෝගයකින් පෙළෙන අහිසංකයාගේ ශරීරය හරිම අවලස්සනයි. පින්වත, මොහු නිතර ම උඩුකය නිරාවරණය කොට ගෙනයි සිටියේ. පින්වත, මෙම අසරණ පින්වතා සිතාගෙන සිටින්නේ ශරීරයේ හටගෙන තිබෙන කර්ම රෝගය සෞභාග්‍යයේ ලක්‍ෂණයක්ය කියලා. පින්වත, ශරීරයේ හටගත් බලවත් කර්ම රෝගයක්, අතීත අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් නිසා ම, හරිම සතුටින් ඔහු පිළිගන්නවා. පින්වත, අතීත අකුසල් සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම්වලට පුළුවන්, ඕනෑම විරූපී රූපයක් හරිම ලස්සනයි කියලා දකින්න. පින්වත, ලස්සන සහ අවලස්සන තිබෙන්නේ රූපය තුළ නොවේ, සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් තුළින් මතු කොට ගන්නා විඳීම් තුළයි. පින්වත, රූපසුන්දරියක් තමන්ගේ රූපය ආස්වාදයෙන් විඳින්නේ යම් සේ ද, රූපය දුර්වල පින්වතා ද තම රූපය ආස්වාදයෙන් ම විඳිනවා. පින්වත, අපේ ඵස්සය තුළ තෘෂ්ණාව තිබෙන තාක් කල් “මමත්වයේ දැඩිභාවය” උතුම් සෝවාන්ඵල අවබෝධය දක්වාත්, “මමත්වය”, උතුම් රහත්ඵල අවබෝධය දක්වාත් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ හොල්මන් කරනවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 මාර්තු 29 ඉරිදා දිවයින පුවත්පතින්.