පින්වත, උතුම් පංචශීලයේ දෙවැනි සිල් පදය බවට පත් වෙන්නේ “අන්සතු දෙය සොරකම් කිරීමෙන් වළකිමි” කියන සිල් පදයයි. පින්වත, මේ ලෝක ධාතුවේ බලවත් ම සොරකම බවට පත් වෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ දසදහස් ගණනක් පටිච්චසමුප්පන්නව තම ඇස්, මස්, හිස්, රුධිරය දන් දීමෙන්, සක්විති රජකම්, රජකම්, සිටුකම්, අඹුදරුවන් දන් දීමෙන් අවබෝධ කොට වදාළ, සම්මා සම්බුද්ධ ඥානයෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය සොර සිතින් තමන්ගේ යැයි අයිති කොට ගැනීමයි. පින්වත, දෙවැනි බලවත් සොරකම බවට පත් වෙන්නේ සාංඝික දේපළ සොරකම් කිරීමයි. පින්වත, තුන්වැනි බලවත් සොරකම බවට පත් වෙන්නේ ජනතාවගේ බදු මුදල් සොරකම් කිරීමයි. පින්වත, උපසම්පදා භික්ෂූන් වන අපිට, අපේ පැවිද්ද සහ උපසම්පදාව අහිමි කරන සතර පාරාජිකාවන්ට අයත් බලවත් ම සිල් පද බිඳීම ලෙස “සොරකම” බුදුරජාණන් වහන්සේ පනවලා තිබෙනවා. පින්වත, අන්සතු දෙය සොරකම් කිරීම අපිට සුගතිය, නිවන පමණක් නොව, උතුම් පැවිදි ජීවිතයත් අහිමි කරනවා. පින්වත, සොරකම් කිරීම කියන සිල් පදය බිඳෙන්නේ අනුනට හිංසා කිරීම යැයි කියන, පළමුවැනි සිල් පදය දුර්වල වීමෙන් මයි. පින්වත, අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකය හටගත් දා පටන් ම මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ වියරුවට පින් සිද්ධ වෙන්න සොරකම ලෝකයේ පැවතුණා. පින්වත, ‘හොරා’ කියන වචනයට ලෝකයේ ආරම්භයේ පටන් ම ලෝකයත් සමග ඥාතීත්වයක් තිබෙනවා. එම නිසා අපි හොරා කියන වචනයට බිය විය යුතු නැහැ. පින්වත, අපි බිය විය යුත්තේ සොරුන්ගෙත් සොරුන් මය කියන කාරණය දැන් දැන් සිදු වෙන ලෝක සිද්ධීන් තුළින් අපිට සිතන්න සිද්ධ වෙලා තිබෙනවා.
පින්වත, ලෝකයේ යුද උණුසුම වැඩි වෙනවා යැයි කියන්නේ යුද්ධයට අදාළ පාර්ශ්වයන්ගේ මිච්ඡා වීර්යය වැඩි වෙනවාය කියන කාරණයයි. පින්වත, මිච්ඡා වීර්යය වැඩි වෙලා, ප්‍රහාර උත්සන්න වෙලා තම සතුරු පාර්ශ්වයන්ගේ දේපළ සහ ජීවිත විනාශ කොට දැමීමෙන් ලබන ප්‍රීතිය සහ සතුට අයත් වෙන්නේ මිච්ඡා ප්‍රීතියට සහ මිච්ඡා සැපයටයි. පින්වත, තම හමුදා සිදු කළ ජයග්‍රාහී ක්‍රියාන්විතයන් ගැන ලෝක නායකයන් මාධ්‍ය තුළින් ලෝකයට කියද්දී, නායකයන්ගේ මුහුණේ ඇඳෙන ජයග්‍රාහී සතුටු සිනා අයිති වෙන්නේ සතර අපා දුකට ම මුල්වෙන මිච්ඡා ප්‍රීතියටයි. පින්වත, යුද සැලසුම්, උපක්‍රම, තාක්‍ෂණය, නියෝග මේ සියල්ල ම අයිති මිච්ඡා සතියටයි. පින්වත, යුද්ධයෙන් ජයග්‍රහණ බලාපොරොත්තු වීම අයිති වෙන්නේ මිච්ඡා ධර්මයන්ටයි. පින්වත, මිථ්‍යා දෘෂ්ටියෙන් උපදින මිච්ඡා සතිය, මිච්ඡා ධර්මයන්ගේ සහ මිච්ඡා වීර්යයයේ ගොදුරු බිම් වෙනවා. පින්වත, වර්තමානයේ අපි හැමෝම මැදපෙරදිග යුද්ධය ගැන සහ ඉරානය ඇමෙරිකාවේ මැදපෙරදිග යුද කඳවුරුවලට පහර දීම ගැන ගොඩාක් දේවල් කතා කළත්, අපි තවමත් සිතන්නේ නැහැ, අනාගතයේ දී චීනයට එරෙහිව යම් යුදමය තත්ත්වයක් ඇති වුණොත්, ඇමෙරිකාව සහ ඉන්දියාව ප්‍රමුඛ මිත්‍රපාක්‍ෂික හමුදා මුලින් ම පහර දෙන්නේ හම්බන්තොට වරායටය කියන කාරණය. අපේ පාලක පින්වතුන්ලාගේ මිච්ඡා සතියට පින් සිදු වෙන්න සුගතිය සහ නිවන අරමුණු කොට ගෙන ජීවත් වන අපිවත් යුද්ධයේ ගොදුරු බවට පත් කරලා. පින්වත, යුද්ධයේ වියරුභාවය දකිද්දී, චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ මොනතරම් නම් ප්‍රණීත ධර්මතාවයක් ද? පින්වත, ලෝක යුද වියරුව තුළින් අපි දැකිය යුත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ උත්තරීතරභාවය මයි. පින්වත් ඔබේ සම්මා දිට්ඨියේ අර්ථවත්භාවයයි. පින්වත, යුද්ධය තුළින් ජය හෝ පරාජය නොව, යුද්ධය තුළින් ධර්මය දකින්න.
පින්වත, ‘ඉවසීම’ දුර්වල වුණ තැන ඇලීම් සහ ගැටීම් වේගවත් වී සංස්කාරයෝ ප්‍රවර්ධනය වෙනවා. පින්වත, අපි තුළ වැඩෙන තෘෂ්ණාව, බැඳීයාම් හෙවත් උපාදානයන්ට දුකේ පාරාදීසයක් ම වෙනවා. පින්වත, කාම බැඳීයාම්, දිට්ඨි බැඳීයාම්, අන්‍යශීලවෘත බැඳීයාම් භවයට හොර ගල් අහුලන උපාදානයන්ගේ සැබෑම හැඩරුව වෙනවා. පින්වත, ඉහත අවිද්‍යාවේ ඥාති ධර්මයෝ නුවණින් තේරුම් ගත්ත ප්‍රඥාවන්ත ගිහි හෝ පැවිදි පින්වතා අනුනගේ බොරු හෝ වැරදි චෝදනා සහ විවේචන ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. පින්වත, ඔහු ඉන්ද්‍රඛීලයක් සේ තමන්ගේ ම නිවැරදි හෘද සාක්‍ෂිය මත නොසැලී සිහිනුවණින් කටයුතු කරනවා. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය හරිම නිරවුල්, ස්වාක්ඛාත වූ ශාසනයක්. පින්වත් නිවැරදි ඔබට එල්ල කෙරෙන බොරු චෝදනා සහ විවේචන කරුණාකර සුන්දර ධර්මයක් බවට පත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, මුළු ජීවිත කාලය පුරාම පින්වත් ගිහි සහ පැවිදි ඔබට එල්ල කරන ලද සෑම බොරු සහ වැරදි චෝදනා සහ විවේචනයන් සිහිපත් කොට ගෙන එම සෑම බොරු චෝදනා සහ විවේචන බාහිර පුද්ගලයෙකුගේ ‘තෘෂ්ණා පච්චයා උපාදානයෝ’ යැයි දැක, එම ධර්මතාවය තුළ චෝදනා සහ විවේචන විසිරුවා දකින්න. පින්වත, ඔබ අනුනගේ අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ උපාදානයන් හෙවත් බැඳීයාම්වලින් නිදහස් වෙන්න. පින්වත, ඔබ ධර්මානුකූලව නොපිළිගත් චෝදනා සහ විවේචන පෙරළා මෙත් සිතින් ම, ඒවා එල්ල කළ සැබෑ අයිතිකරුවන් වෙත ම යවන්න. පින්වත, තෘෂ්ණාවේ ලාටු අඩු ජීවිතවල, අනුනගේ තෘෂ්ණාවේ උපාදානයෝ ඇලෙන්නේ නැති බව සිහිනුවණින් තෙරුම් ගන්න. පින්වත, ඔබට චෝදනා, විවේචන එල්ල කළාය කියලා ඔබ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න යනවා නම්, ඉන් ප්‍රකට කරන්නේ ඔබේ තෘෂ්ණාවෙන් හැඩ වෙන උපාදානයන්ගේ දිග සහ පළලයි.
පින්වත, පසුගිය දවසක මහත්මයෙක් භික්ෂුවට දැනුම් දුන්නා, භික්ෂුව දේශනා කළ නිවැරදි ධර්ම කාරණයකට පින්වත් මහත්මයෙක් චෝදනාත්මක අදහසක් සටහන් කොට තිබුණාය කියලා. පින්වත, භික්ෂුව ඉහත කාරණය එම මොහොතේ ම අදාළ පින්වතාගේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළින් අර්ථවත් ධර්මයක් මයි දැක්කේ. පින්වත, එම දැක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි ධම්මානුපස්සනාවෙන් දකිද්දී, භික්ෂුව පින්වත් අනුනගේ වැරදි චෝදනාවෝ උපයෝගී කොට ගෙන, උතුම් සම්මා ඥානයන් දිශාවට මයි අනුනගේ තෘෂ්ණාවේ උපාදානයෝ මෙහෙය වන්නේ. පින්වත, ගිහි වේවා, පැවිදි වේවා කවුරුන් සිදු කළත් වරද වරදක් මයි. පින්වත, උතුම් පැවිදි අපි ගිහි පින්වතුන්ලාගේ සිවුපසයෙන් යැපෙන නිසා ම, පැවිදි අපි අතින් සිදු වන අකුසල්වල විපාකයෝ වැඩියි. පින්වත, අපි අනුනගේ හරි හෝ වැරදි ගැන කලබල නොවී, ඒවා සංස්කාර අධිකරණයට භාර දෙමු. පින්වත, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව බව අසා, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා හඬා වැටෙද්දී, “දැන් ඉතින් හඬන්න එපා. ඔබලා දැන් සතුටු වෙන්න. අපිට විනය පනවන්න කෙනෙක් දැන් නැහැ. අපිට දැන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්” යැයි අසත්පුරුෂ අදහස් ප්‍රකාශ කළ සුභද්‍ර භික්ෂුව, මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ සඟ පිරිසේ සිටි භික්ෂුවක් බව අපි ධර්මයේ උපේක්‍ෂාවෙන් ම සිහිපත් කොට ගන්න ඕනේ. පින්වත, උතුම් සංඝ සමාජය “තිතට” නිවැරදි කරන්න මත ප්‍රකාශ කරන, ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී ම උතුම් සංඝ සමාජය තුළ සිදු වූ වැරදි හේතුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් විනය ශික්‍ෂා දෙසිය විස්සක් ම පැනවූ බව සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ ගිහි ජීවිතයේ මස්සිනා වෙච්ච දේවදත්ත හාමුදුරුවන්වත් හික්මුණේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ ගිහි ජීවිතයේ දී සේවකයෙක් වෙච්ච ඡන්න භික්ෂුවවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වා ම හික්මුණේ නැහැ. පින්වත, එහෙව් අකුසලයට බර පංච උපාදානස්කන්ධ ලෝකයක වර්තමානයේ අපේ ගෞරවනීය උපාධ්‍යායන් වහන්සේලාට තමන්ගේ සමහර පැවිදි ශිෂ්‍යයෝ හික්මෙන්නේ නැහැය කියන කාරණය, සමස්ත සංඝ සමාජයට ම මඩ ගහන්න උපයෝගී කොට ගැනීම, එවැනි පින්වතුන්ලා සද්ධර්මය නුවණින් මෙනෙහි නොකිරීමේ අදක්‍ෂභාවය ම වෙනවා. පින්වත, අලුත්කඩේ අධිකරණය සහ සෙසු අධිකරණයන් ගැන පමණක් දන්න, ඉන්ද්‍රිය ධර්මයන් අහිමි සමහර පින්වතුන්ලා, සංස්කාර අධිකරණය ගැන දශමයක්වත් දන්නේ නැහැ. පින්වත, ඔබට මේ කැඩෙන, බිඳෙන, විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකයට ඔරොත්තු දෙන්නෙක් වෙන්න අවශ්‍ය නම්, කරුණාකර අනුනගේ හරි හෝ වැරදි ආත්ම දෘෂ්ටියෙන් නොගෙන, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ යැයි පින්වත් ඔබේ ධර්මාවබෝධය උදෙසා නිවැරදි දැක්මක් තුළින් උපදින දිට්ඨි විශුද්ධියක් බවට පත් කොට ගන්න.
පින්වත, ධර්ම දේශනාමය පින්කමක් අවසානයේ දී පින්කම සංවිධානය සිදු කළ පින්වතා භික්ෂුවගෙන් ඇසුවා, “ස්වාමීන් වහන්ස, අපෙන් වරදක් එහෙම සිද්ධ වුණා ද?” කියලා. පින්වත, භික්ෂුව එම පින්වත් මහත්මයාට දැනුම් දුන්නේ, “එකම එක වරදක් සිදු කොට තිබුණා” ය කියන කාරණයයි. පින්වත, එම වරද කුමක් ද දන්නව ද? භික්ෂුව වඩින පාවඩ මත සම්පූර්ණයෙන් මල් අතුරා තිබීමයි. පින්වත, භික්ෂුව මල්වලට බියක් නැහැ, නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල පින්වතුන්ලා සකස් කොට ගන්නා අකුසල්වලට නම් භික්ෂුව කොහෙත්ම කැමැත්තක් නැහැ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියන්නේ, මෙම ලෝක ධාතුවේ ලෞකික සහ ලෝකෝත්තර සැපයට අදාළ උත්තරීතර ධර්මතාවයයි. පින්වත, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පැවිදි අපිට අනුශාසනා කරනවා, “තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දුර්ලභ ලෝක ධර්මතාවයක් නිසා ම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල පින්වතුන්ලාගේ ශ්‍රද්ධාව දුර්වල වෙන ක්‍රියාවන්ට අනුබල දෙන්න එපා” ය කියලා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් පින්වතුන්ලාට වඩා, පැවිදි අපේ ඉලක්කය විය යුත්තේ, ශ්‍රද්ධාව දුර්වල පින්වතුන්ලාගේ සැලෙන ශ්‍රද්ධාව ශක්තිමත් කොට දීමයි. පින්වත, බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් දෙසිය විස්සක් සහිත උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයක් උපසම්පදා අපිට පනවා තිබෙන්නේ පැවිදි අපේ විනයගරුක හැසිරීම් දැකලා, ශ්‍රද්ධාව දුර්වල පින්වතුන්ලාගේ ශ්‍රද්ධාව ශක්තිමත් කොට ගැනීමටත්, ශ්‍රද්ධාව ශක්තිමත් පින්වතුන්ලාගේ ශ්‍රද්ධාව, ආර්ය ශ්‍රද්ධාවක් බවට පත් කොට ගැනීම උදෙසා මයි. පින්වත, තෘෂ්ණාව හේතුවෙන් කාම, දිට්ඨි, අන්‍යශීලවෘත බැඳීයාම් පින්වත් මනුෂ්‍ය ජීවිතවල වැහි වැහැලා තිබෙනවා. පින්වත, අනුන්ව අකුසලයෙන් පරිස්සම් කොට ගන්නා ශ්‍රාවකයා මයි, තමා තමාව පරිස්සම් කොට ගත්තා වෙන්නේ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 මාර්තු 22 ඉරිදා දිවයින පුවත්පතින්.