පින්වත, ධර්මය සහ අධර්මය අතර තිබෙන වෙනස, සුගතිය සහ දුගතිය අතර තිබෙන වෙනස වගේ මයි. පින්වත, මෙම වෙනස භවය සහ භව නිරෝධය අතර තිබෙන වෙනස වගේ යැයි කියන්නත් පුළුවන්. පින්වත, ලෝක සාමය වගේ ම, යුද්ධයත් ධර්මානුකූලව දකින්න පුළුවන්. පින්වත, ඇවිළෙන මැද පෙරදිග යුද්ධය, ධර්මය තුළින් දකින්න දක්‍ෂ වෙන්න. යුද්ධය අධර්මයෙන් දකින්න එපා. පින්වත, ඔබ යුද්ධය චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ විසිරුවා දැක්කොත්, ඔබ යුද්ධය තුළින් ධර්මය දැක්කා වෙනවා. පින්වත, ඔබ යුද්ධය තුළින් ඇලීම් සහ ගැටීම් මතු කොට දකිනවා නම්, ඔබ යුද්ධය අධර්මයෙන් දැක්කා වෙනවා. පින්වත, යුද්ධවලින් තොර ලෝකයක් දකින්න බැහැ. අවිද්‍යාව තිබෙන තාක් කල්, තෘෂ්ණාව තිබෙන තාක් කල්, යුද්ධය ලෝකයේ ම කොටසක් වෙනවා. පින්වත, අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකය නැවුම්ව යළි හටගත් දා පටන් මනුෂ්‍යයාගේ තෘෂ්ණාවට පින් සිද්ධ වෙන්න යුද්ධ පැවතුණා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, කොසොල් රජතුමා සහ අජාසත්ත රජතුමා අතර ඇති වූ යුදමය අවස්ථාවන් කිහිපයක් ම සූත්‍රගත ධර්මයේ සඳහන්ව තිබෙනවා. පින්වත, ගංගා නම් ගඟේ වතුර මුල්කොට ගෙන ඇති වූ ශාක්‍ය, කෝලිය යුද්ධයට බුදුරජාණන් වහන්සේටත් සාමය උදෙසා මැදිහත් වෙන්න සිද්ධ වුණා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීත් ‘මනුෂ්‍යයාගේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව’ යුද්ධ කළා. පින්වත, බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය අතීතය එසේ නම්, වර්තමානයේ ඇවිළෙන යුද්ධයන් ගැන කිනම් කතාවක් ද? පින්වත, මැද පෙරදිග යුද්ධය තුළින් ඇලීම් හෝ ගැටීම් නොව, චතුරාර්ය සත්‍යය ධර්මයෝ දකින්න.
පින්වත, මැද පෙරදිග යුද්ධය පුරාවට අපි දකින්නේ දුක්ඛ සත්‍යයේ සැබෑ අර්ථය වන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක් වීම සහ පංච උපාදානස්කන්ධ දුක ම නේද? පින්වත, යුද බිමේ දී මිය යන අහිංසක ලොකු, කුඩා ජීවිත තුළින්, දහස් ගණන් තුවාල ලබන ජීවිත තුළින් අපි දකින්නේ දුක්ඛ සත්‍යයයි. පින්වත, තම නෑදෑ හිතවතුන්ගේ වියෝවෙන් හඬා වැටෙන දහස් ගණන් අසරණ ජීවිත තුළින් අපි දකින්නේ ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක ම නේද? පින්වත, විරුද්ධවාදී කණ්ඩායම්වලට හසුවෙන යුද භටයන් තුළින් අපි දකින්නේ අප්‍රියයන් හා එක් වීමේ දුක ම නේද? පින්වත, වියරු යුද බිමේ සක්සුදක් සේ එළි දකින මේ දුක්ඛ සත්‍යයට එකම හේතුව යුද්ධයට අදාළ සියලුම නායකයන්ගේ ඇලීම් සහ ගැටීම් බහුල ‘තෘෂ්ණාව’ ම නේද? පින්වත, වියරු යුද බිම තුළින් දුක්ඛ සත්‍යය දකින්න. පින්වත, දුකට එකම හේතුව යුද්ධ මෙහෙයවන නායකයන්ගේ තෘෂ්ණාව බව දකින්න. පින්වත, එවිට ඔබ යුද්ධය තුළින් චතුරාර්ය සත්‍යය ධර්මයෝ දැක්කා වෙනවා. පින්වත, ඔබ යුද්ධය තුළින් දුක්ඛ සත්‍යය දැක්කා වෙනවා. පින්වත, ඔබ ධර්මය දැක්කා වෙනවා. පින්වත, ඔබ ධර්මය දැක්කා යැයි කියන්නේ, බුදුරජාණන් වහන්සේ දැක්කාය කියන අර්ථයයි. පින්වත, ඉහත ධර්මානුකූල දැක්ම උතුම් ධම්මානුපස්සනාව මයි අපි තුළ පෝෂණය කොට දෙන්නේ. පින්වත, යුද්ධයේ නාමයෙන් කිනම් පාර්ශ්වයකට හෝ ඇලීමෙන් සහ ගැටීමෙන් ඔබත්, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය යුද බිමක් බවට පත් කොට ගන්න එපා. පින්වත, වර්තමානයේ අපේ පින්වතුන්ලා යම් පාර්ශ්වයකට ඇලීමෙන් හෝ ගැටීමෙන් මොනතරම් නම් විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම්වලින් යුද්ධ කරනවා ද?
පින්වත, උතුම් සම්මා දිට්ඨිය නොදත්, කර්මය කර්මඵල විශ්වාසය වඳ බැහැපු පින්වත් ලෝක නායකයන්ගේ ඵස්සය හේතුවෙන් සකස් වන විඳීම් සහ ලෝක නායකයන්ගේ ‘තෘෂ්ණාව’ හේතුවෙන් සකස් වෙන උපාදානයෝ හෙවත් ‘බැඳීයාම්’, අකාරුණික, වියරු යුද බිමේ ධර්මානුකූල හෘද සාක්‍ෂිය වෙනවා. පින්වත, යුද්ධය ඇමෙරිකාව, ඉරානය, ඊශ්‍රායලය හැටියට හෝ එම රටවල නායකයන් හැටියට දකින්න එපා. පින්වත, එවිට ආත්මීය දෘෂ්ටියේ මලකඩ ඔබේ විඳීම් ඩැහැ ගනීවි. පින්වත, තවම අපේ පටිච්චසමුප්පාද දැක්ම පිරිසිදු නැහැ. පින්වත, අපි නිරෝධය කළ යුතු පංච උපාදානස්කන්ධ ධර්මයන්ට තවමත් අපි ලකුණු දෙනවා. පින්වත, ඔබ දැක්ම නිවැරදි කොට නොගත්තොත්, ඔබේ ඵස්සය හේතුවෙන් සකස් වෙන විඳීම්, ඔබත් යුද්ධයේ කොටස්කරුවෙක් බවට පත් කරාවි. පින්වත, ඔබට මැද පෙරදිග යුද බිම සිහිපත් වෙද්දී, සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් හැටියට, තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ හැටියට යුද්ධය දකින්න. පින්වත, එවිට ඔබේ දැක්ම පිරිසිදු වෙනවා. ඔබ, ඔබේ ජීවිතයෙන් යුද ගිනිදැල් නිවා දැම්මා වෙනවා. පින්වත, යුද්ධයේ අකාරුණික විනාශය තුළින් අපි දැකිය යුත්තේ, නවීන අවිආයුධවල වේගවත්, විනාශකාරී ක්‍රියාවලිය නොවේ, අපි දැකිය යුත්තේ, “චතුරාර්ය සත්‍යය නොදැනීම” යැයි කියන අවිද්‍යාවේ විනාශකාරීභාවයයි. පින්වත, තෘෂ්ණාවට කැමති පින්වතුන්ලාට පරිහරණය පිණිස, “යුද්ධය” කියන අර්ථය ලෝකය තුළ තියලා, ඔබ ලෝකයෙන් නිදහස් වෙන්න. පින්වත, වර්තමානයේ සිදු වන යුද්ධ මොන ප්‍රාථමික යුද්ධ ද? පින්වත, අනාගතයේ දවසක් එනවා, මුළු මනුෂ්‍ය ප්‍රජාව ම මෘග සඤ්ඤාවෙන් විකෘති වෙන. එදාට මනුෂ්‍යයා, මනුෂ්‍යයාව මරාගෙන කනවා. පින්වත, සතියක්, දෙකක් නොවේ, අවුරුදු සියගණනක් මෘග සඤ්ඤා ලෝකය දිග්ගැසෙන්න පුළුවන්. පින්වත, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන් වීමෙන් පසුව ඇති වන කල්ප විනාශයේ දී, අවුරුදු දසදහස් ගණනක් ලෝකය උණුසුමෙන් ගිනියම් වෙනවා. පින්වත, එදාට මනුෂ්‍යයාගේ පරමායුෂ තත්පර කිහිපයකට සීමා වෙනවා. මේ උපදිනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා, නැවත පටිච්චසමුප්පන්නව උපදිනවා. පින්වත, එකම දෙය නැවත නැවත සිද්ධ වෙනවා. පින්වත, මැද පෙරදිග යුද්ධය දැකලා බිය වෙන්න එපා. පින්වත, මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඔබේ විඳීම් තුළ සකස් වන ඇලීම් සහ ගැටීම් නමැති අභ්‍යන්තර යුද ගිනිදැල් දැකලා බිය වෙන්න. පින්වත, ඇවිළෙන මැද පෙරදිග යුද ගිනිදැල් සිහිපත් කොට ගෙන සහ යුද්ධයේ මහා විනාශයන් සිහිපත් කොට ගෙන, “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” යන ධම්මානුපස්සනාව ම මතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ සිටින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ, ස්වර්ණමාලී මහා සෑ සමිඳුන් වහන්සේ, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, උතුම් ධර්ම විනය සහ පූජනීය මහා සංඝරත්නය වැඩ සිටින මේ උතුම් පුණ්‍ය භූමියේ පින්වත් ජනතාව තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වුණොත්, සමස්ත ලෝකයේ ම ශීලය, මෛත්‍රිය, ත්‍යාගයේ අර්ථයන් පිරිහී යාම හේතුඵල ධර්මයක් ම බව, අපේ පින්වත් නායක පින්වතුන්ලා වගේ ම, පින්වත් ජනතාවත් සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. වර්තමාන යුද උණුසුම ඊට සාක්‍ෂියක්.
පින්වත, සටන් කරලා කවදාකවත් ජය ගන්න බැහැ. පින්වත, පරාජය ලබන්නා දුකට පත් වෙනවා. පින්වත, ජය ලබන්නා තව තවත් සතුරන් ඇති කොට ගන්නවාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, සටනේ මුල අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන, තෘෂ්ණාවෙන් පණ ලබන ඇලීම් සහ ගැටීම් මයි. පින්වත, මනුෂ්‍යයාගේ ඵස්සය මත ඉදිවෙන යුද බිමේ මෙහෙයුම් මැදිරිය, මනුෂ්‍යයාගේ විඳීම්වලින් පණ ලබමින්, මනුෂ්‍යයාගේ හඳුනා ගැනීම්වලින් සැලසුම් සකස් කරමින්, මනුෂ්‍යයාගේ චේතනාවන් හෙවත් සංස්කාරයන්ගෙන් නියෝග ලබමින්, පෙරළා මනුෂ්‍යයාට ම පරාජයේ හෝ සතුරන් වැඩි කොට ගන්නා ජයග්‍රහණයේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ සකස් කොට දෙන අපූරුව ඔබට පෙනෙනවා නේද? පින්වත, ඔබේ ඵස්සයට යුද්ධ කරන්න, තෘෂ්ණාවේ අවි දෙන්න එපා. පින්වත, ඔබේ ඵස්සයට හේතුඵල ධර්මයෝ දකින සිහිනුවණ දෙන්න. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි. පින්වත, මේ ලෝකයේ දෙවැනි දුර්ලභ අර්ථය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. පින්වත, රටක රාජ්‍ය නායකයෙක් පත් වෙන්නේ පින්වත් ජනතාව ලබා දෙන සිඟමනක් වන ඡන්දයෙන්. එම ජනතා වරමත් වසර පහකට පමණක් මයි. පින්වත, හුඟාක් ම පින්වත් රාජ්‍ය නායකයෝ රාජ්‍ය බලය ගන්නේ, එක්කෝ සල්ලි විසි කරලා එසේත් නැතිනම් ජනතාවට බොරු කියලා. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය වන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ බොරු කරලා, මුදල් විසි කරලා නොවේ, සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දසපාරමී කුසල් ධර්මයන් පූරණය කරලා. පින්වත, ඇස්, මස්, හිස් දන් දීලා, පින්වත, රජකම් නොවේ, සක්විති රජකම් දන් දීලායි බෝධිසත්ත්වවරු දසපාරමී කුසල් ධර්මයෝ උස් මහත් කරන්නේ.
පින්වත, පරණ මහ ගෙවල්වල ජීවත් වන සෑම අම්මා, තාත්තා කෙනෙක් ම හරිම ආසයි, පහසුකම් අඩු පැරණි ගෙවල් වෙනුවට, පහසුකම් සහිත අලුත් නිවසක දැස් පියවෙන්න කළින් ජීවත් වෙන්න. පින්වත, මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් පරිපූර්ණ වයෝවෘද්ධ දෙමාපියන් තමන්ගේ නව නිවසක බලාපොරොත්තුව තුළින් ඉලක්ක කරන්නේ, පහසුකම් සහිත අලුත් නිවසක් තුළින් තම දරුවන්ගේ අනාගත ජීවිතයට වර්ණය, සැපය, බලය ලබා දෙන්න. පින්වත, දෙමාපියන්ට බියක් තිබෙනවා, තමන් මිය ගියාට පස්සේ, තම දරුවෝ පැරණි නිවසේ ම ජීවත් වෙයි ද කියලා. දරුවන්ගේ අනාගත වර්ණය, සැපය, බලය දුර්වල වෙයි ද කියලා. පින්වත, මේවා දෙමාපියන්ගේ මහා බ්‍රහ්ම ගුණයන්. පින්වත, දෙමාපියන් දරුවන්ට හොඳින් ඉගෙන ගන්න, හොඳ ගෙදරක් හදා ගන්න, ලස්සන වාහනයක් ගන්න යැයි කියන්නේ, දෙමාපියන්ට සැප විඳින්න නොවේ, පින්වත් දෙමාපියන් සතුටු වෙන බව පෙන්වා, දරුවන්ගේ අනාගත ජීවිතයට වර්ණය, සැපය, බලය ලබා දෙන්න මයි. පින්වත, භික්ෂුව දන්න වයෝවෘද්ධ තාත්තා කෙනෙක් තම පුතණුවන්ට නිතරම කියනවා, “පුතේ, මේ පිළිවෙළකට නැති පරණ නිවස වෙනුවට අලුත් නිවසක් හදා ගන්න” ය කියලා. පින්වත, හැමදාමත් පුතාගේ පිළිතුර වුණේ, “තාත්තේ, ගෙවල් හදන්න තව කල් තිබෙනවා” ය කියන පිළිතුර පමණක් මයි. පින්වත, අලුත් ගෙදරක් නොදැක ම පසුගිය දවසක තාත්තා පරණ නිවසේ ම මිය පරලොව යනවා. “අනේ! මගේ පුතා අලුත් නිවසක් හදා ගනී දෝ?” යන සැකය, මැරෙන මොහොතේත් එම තාත්තාගේ සිතුවිලි පීඩාවට පත් කරන්න ඇති නේද? පින්වත් දරුවනි, හැකියාව තිබිය දී, දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කිරීමට කල් මරන්න එපා. පින්වත් දරුවනි, එම බලාපොරොත්තු දෙමාපියන් උදෙසා නොවේ, දරුවන් වන ඔබලාගේ අනාගත සැපය උදෙසා මයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 මාර්තු 15 ඉරුදින දිවයින පුවත්පතින්.