කෙටි ආස්වාදයේ සුරපුරය !

පින්වත, අවිද්‍යාව පංච නීවරණයන්ගෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන නිසා ම, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාර සහ සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය හෙවත් දැනීම් කියන ධර්මතාවය, සත්ත්වයාගේ හරිම සංකීර්ණයි, විවිධයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් හික්මෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා කාම, රාගයෝ දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් සේ දකිද්දී, වර්ණය, සැපය, බලයෙන් මොනවට පෝෂණය වූ අතීත රජවරු, කාම, රාගයෝ පරිහරණය කළේ ආස්වාදය නිත්‍යභාවයෙන් දැකලා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී ම, කොසොල් රජතුමාට, බිම්බිසාර රජතුමාට අන්තඃපුර බිසෝවරු ගොඩාක් සිටියා. පින්වත, බුදුරජාණන් වහන්සේ රාජ සම්මත ඉහත ක්‍රියාවන් වළක්වන්න ගියේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේ ඉහත රජවරුන්ට කාමයේ ආදීනවයයි දේශනා කොට වදාළේ. පින්වත, එක බිසවක් පෝෂණය කිරීමෙන් ඇති වන දුක මෙපමණ නම්, බිසෝවරු පස්දෙනෙක් පෝෂණය කිරීමෙන් ඇති වන දුක පස්ගුණයක් වැඩි බවයි බුදුරජාණන් වහන්සේ අවවාද කළේ. පින්වත, කාමයන්ගේ බියකරුභාවය ගැන එම අවවාදයන් පිළිගැනීම හෝ නොපිළිනොගැනීම අදාළ රජවරුන්ගේ වගකීමක් වෙනවා. පින්වත, සූත්‍රගත ධර්මයන්ට අදාළව අපි හොඳටෝම දන්නවා, රජවරු එම අවවාදයෝ පිළිගත්තේ නැහැය කියලා. පින්වත, රාජ්‍ය අධිකරණයේ නායකත්වය රජවරුන් විසින් දැරුවත්, බුදුරජාණන් වහන්සේ දන්නවා, සංස්කාර අධිකරණයේ නායකත්වය දරන්නේ, අවිද්‍යාව හේතුවෙන් තමා ම පටිච්චසමුප්පන්නව සකස් කොට ගන්නා, කුසල් සහ අකුසල් සංස්කාරයෝ යැයි කියලා.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් අබිබවා, රාජ සම්මත සම්ප්‍රදායන්ට අවනතව කාමයන් වැඩූ කොසොල් රජතුමා අවසානයේ මිය යන්නේ අම්බලමක අනාථයෙක් හැටියටයි. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධය ලබා සිටියත්, රාජ්‍ය සම්මත සම්ප්‍රදායන් පෝෂණය කළ බිම්බිසාර රජතුමා මිය යන්නේ තම අජාසත්ත පුතුගේ බලවත් කායික හිංසනයන්ට ලක්වෙලයි. පින්වත, බිම්බිසාර රජතුමා තම ඛේමා අගබිසවට, කල්‍යාණමිත්‍රභාවයෙන් උතුම් පැවිදි උපසම්පදාව පමණක් නොව, මෙහෙණි සස්නේ ප්‍රඥාවෙන් අග්‍ර රහත් උත්තමාවියක් බවට පත් වීමට උපකාර කළ රජ කෙනෙක්. පින්වත, බිම්බිසාර රජතුමා තම අජාසත්ත පුතුගේ කායික හිංසනයන්ට ලක්වී මිය ගියත්, සතර අපායෙන් මිදුණ රජ කෙනෙක් නිසා ම, මරණින් පසු සතර අපා දුකකට පත් වුණේ නැහැ. පින්වත, රජකම කියන්නේ පෙර පිනෙන් උපදින, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ සුරපුරයක්. පින්වත, එම සුරපුරයේ පාලකයා වර්ණය, සැපය, බලයයි. පින්වත, එහි අර්ථය පෙර පිනයි. පින්වත, පෙර පිනෙන් උපන් රජවරු අනාථයන් හැටියට අම්බලම්වල මිය යද්දී, තම පුතුන්ගේ නියෝගයෙන් වධයට පමුණුවා ඝාතනය වෙද්දී, පිනෙන් උපන් වර්තමානයේ හැමෝම බොහෝ ම සිහිනුවණින් තම වර්ණය, සැපය, බලය පරිහරණය කරන්න ඕනේ. පින්වත, අනුවණින් භුක්ති විඳින කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය පසුපස, දීර්ඝ ආදීනවයෝ සැඟවිලා තිබෙනවා. පින්වත, ඔබත් පෙර පිනෙන් උපන් පින්වතෙක්, පින්වතියක් නම්, ඔබ ලබන වර්ණය, සැපය, බලය පෙරළා කාමයන්ට නොව, ප්‍රඥාවට උපකාරක ධර්මයන් බවට පත් කොට ගන්න. පින්වත, ඊට එකම ධර්මාවවාදය උතුම් තෙරුවන්ට කීකරුභාවය මයි.

පින්වත, අතීතය ගැන සිත සිතා ඉන්න එපා. පින්වත, වර්තමානය තුළ සිද්ධ වෙන්නේත් අතීතයේ සිදු වූ දෙය මයි. පින්වත, අතීතය පුරාවට සිදු වුණේ, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ පමණක් ම නේද? පින්වත, වර්තමානයත්, අනාගතයත් යනු ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ ම පමණක් ම නේද? පින්වත, අතීතය හාරා අවුස්සන්න යන්න එපා. පින්වත, අතීතය චිත්තානුපස්සනාවෙන් මකා දමන්න. පින්වත, එවිට උපේක්‍ෂාවට නැමෙන සිත, ජීවිතයට හරිම සැහැල්ලුවක් වෙනවා. පින්වත, තෘෂ්ණාව වැඩි තැන ඡන්දරාගයෝ අවිද්‍යාව නවයොවුන් කරනවා. පින්වත, අවිද්‍යාව නවයොවුන් වෙද්දී, මධ්‍යම ප්‍රතිපදාව කනවැන්දුම් වෙනවා. පින්වත, නවයොවුන් අවිද්‍යාව සුගතිය සහ නිවන හැටියට දකින්නේ සල්ලි සහ බලයයි. පින්වත, “ආගම කන්න ද? ආර්ථිකය හොඳ නම්, කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්” ය කියන මිච්ඡා දැක්ම, නවයොවුන් අවිද්‍යාවේ දැක්මයි. පින්වත, කර්මය කර්මඵලය ගැන විශ්වාසයක් නැති, මැරිලා නැවත පටිච්චසමුප්පන්න උපතක් ගැන විශ්වාසයක් නැති, දානයේ සහ ශීලයේ ආනිශංසයෝ කෙරෙහි විශ්වාසයක් නැති නවයොවුන් අවිද්‍යාවේ පරම විශ්වාසය, “මරණින් පසු සියල්ල ඉවරයි” කියන මිච්ඡා විශ්වාසයයි. පින්වත, නවයොවුන් අවිද්‍යාව සංඝ සමාජයේ සමගියට කැමති නැහැ. පින්වත, සංඝ සමාජය භේදභින්න වීම නවයොවුන් අවිද්‍යාවට වර්ණය, සැපය, බලයක් මයි වෙන්නේ. පින්වත, සිංහල බෞද්ධ සංස්කෘතියෙන් අපිට උරුම වූ යහපත් සදාචාර ධර්මයෝ බෙලහීන කොට මතු වන ආගන්තුක විකෘතීන්ගෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.

පින්වත, හැමෝම සතුටු කරන්න අපිට බැහැ. පින්වත, සතුට යැයි කියන්නේ පිනට අදාළ සංස්කාරයක්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට පිනට අදාළ සංස්කාරයෝ දුර්වල නම්, පින්වත් ඔබ කෙසේ නම් භික්ෂුව සතුටු කරන්න ද? පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ පිනට අදාළ සංස්කාරයෝ ශක්තිමත් නම්, පින්වත් ඔබ සතුටු නොකළත් භික්ෂුව සතුටින් මයි වැඩ සිටින්නේ. පින්වත, දුකට බර ලෝකය තුළ සතුට අනුනගෙන් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, සතුට ඔබේ ම ජීවිතයේ කොටසක් කොට ගන්න. පින්වත, සතුට අහිමි ජීවිත, සතුට උදෙසා මොනතරම් නම් පංච නීවරණයන්ගේ ග්‍රහණයට කොටු වෙනවා ද? පින්වත, පංච නීවරණයෝ කෙටි ආස්වාදයට පණ දී සතුට ඔබෙන් තවත් දුරස් කරනවා. පින්වත, මෙම රාත්‍රියේ භික්ෂුව ලබන්නේ සතුටක් නොව විවේකයක්. පින්වත, එම විවේකයට පස්සද්ධිය, සමාධිය, උපේක්‍ෂාව යැයි කීවත් වරදක් නැහැ. පින්වත, මේ සියලු ධර්මතාවයෝ සප්ත බොජ්ඣංගයෝ නමැති එකම අම්මාගේ දරුවෝ. පින්වත, හැඩරුවින් වෙනස් වුවත්, ඉහත ධර්මයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොඉඳුල් ජානයෝයි. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉඳුල් කොට ගෙන උපදින මිච්ඡා විවේකයකුත් තිබෙනවා. පින්වත, මිච්ඡා විවේකය යනු, සළායතනයෝ පිනවන, පංච නීවරණයෝ උපදින විවේකයයි. පින්වත, ලෝකයෙන් මිදුණ විවේකය ආර්ය විවේකයයි. පින්වත, ආර්ය විවේකය තුළ අවිද්‍යාව නැහැ. පින්වත, අවිද්‍යාව නැති තැන, තෘෂ්ණාව කෙසේ නම් පවතින්න ද? පින්වත, ආර්ය විවේකය පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය අවබෝධයෙන් උපදින ධම්මානුපස්සනාවේ නිකෙලෙස් ආර්ය හැඩරුවයි. පින්වත, එහි ඉතිරිය නිවී ගිය පටිච්චසමුප්පාද ධර්මයෝ පමණක් මයි.

පින්වත, මොනතරම් ආදරයෙන් අල්ලා ගත්තත්, එම දෑත්, ඇස් දෙක පියවෙන මොහොතේ අතහැරී යනවා. පින්වත, ආදරණීය දෑත් අතහැරිලා පටිච්චසමුප්පන්නව අවසන් ගමන් යන්නේ, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ කියන ධර්මතාවයේ බැඳීම දිශාවට මයි. පින්වත, ජීවත්ව සිටින තාක් කල් අපි මොනතරම් ආදරයෙන් බැඳී සිටියත්, එම ආදරණීය බැඳීම යට සැඟවුණ ධර්මානුකූල අර්ථය, තෘෂ්ණා පච්චයා උපාදානං කියන අර්ථය මයි. පින්වත, අවිද්‍යාව, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයට, ආත්මීය දෘෂ්ටියේ ආදරණීය සළුපිළි අන්දවලා ආදරයේ නාමයෙන්, අවිද්‍යාව පෝෂණය කරන පංච නීවරණ ආහාරයෝ ප්‍රවර්ධනය කරනවා. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ අවිද්‍යාවේ පැවැත්මට ආදරය ජීවත් කරවනවා. පින්වත, අද නැකැත් දවසක්, මලින් සැරසුව වාහන කිහිපයක් ම මඟතොටේ දී භික්ෂුවගේ නෙත ගැටුණා. පින්වත, සුඛෝපභෝගී මංගල රථ දකිද්දීත්, භික්ෂුවට සිහිපත් වුණේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය මයි. පින්වත, මෙම මංගල රථ ඇතුළේ ගමන් කරන පින්වත් යුවතිපතීන් සිතනවා ඇති, ‘මම ඔබ මයි’, ‘ඔබ මම මයි’ කියලා. පින්වත, ඉන් අදහස් වෙන්නේ අපි දෙදෙනා, දෙදෙනෙක් නොව, එක් අයෙක් කියලායි. පින්වත, තෘෂ්ණාවේ උපාදානයන්ට පුළුවන් ආදරණීය දෙදෙනෙක් එක් අයෙක් කරන්න. පින්වත, අවිද්‍යාවේ ලෝකය මොනතරම් නම් මායාවක් ද? පින්වත, අපි හැමෝටම අවිද්‍යාවෙන් මිදෙන්න බැහැ. පින්වත, අවිද්‍යාව තුළ ජීවත් වන, කාමයන්ට ප්‍රිය ගිහි ඔබ දක්‍ෂ විය යුතුයි, හිස් තැන් නැති, පිරුණ ආදරයක උරුමය අයිති කොට ගන්න. පින්වත් ඔබ දෙපළ, දෙදෙනෙක් නොව, එක් අයෙක් වෙන්න. පින්වත, එතැනයි හිස් තැන් නැති, දුක සතුටට පෙරළන, ආදරයක සැබෑ සතුට තිබෙන්නේ.

පින්වත, හොඳ සහ නරක කියන කාරණා දෙකම අයිති ලෝකයට. පින්වත, හොඳ කර්මයන් මෙලොව සහ පරලොව සැපයටත්, පින්වත, නරක කර්මයන් මෙලොව සහ පරලොව දුකටත් පාර කියනවා. පින්වත, ඔබ අනුනගේ නරක ක්‍රියාවන් දැකලා ගැටෙන්න එපා, හොඳ ඔබට අහිමි වෙලා යාවි. පින්වත, ධර්මානුකූලව ‘හොඳ’ යැයි සම්මත දේවල් කරන්න මැළි වෙන්න එපා. පින්වත, ඔබ වර්තමානයේ දී සිදු කරන සෑම හොඳ ක්‍රියාවක ම අග්‍ර ම ඵලය ලබන්නේ වර්තමානයේ දී නොව අනාගතයේදීයි. පින්වත, ඔබට අනාගතයේ දී සතුටු වෙන්න අවශ්‍ය නම්, වර්තමානයේ ඔබට අවස්ථාව ලැබෙන සෑම හොඳ ක්‍රියාවක් ම නොපිරිහෙලා අකුරට ම ඉටු කරන්න. පින්වත, වර්තමානයේ ඔබ හොඳ ක්‍රියාවන්ගෙන් ප්‍රමාදී නම්, ඔබේ අනාගතය සතුටේ ඉඩෝරයක් ම වේවි. පින්වත, භික්ෂුව ගිහි ජීවිතයේ දී තම අම්මාට හොඳින් උපස්ථානය කළා. පින්වත, එහි සතුට එදාට වඩා භික්ෂුව විදර්ශනාත්මකව වර්තමානයේදීයි ලබන්නේ. පින්වත, මීට මාස දෙකකට පෙර භික්ෂුව දුරබැහැර ගමක කුටියකට වැඩිය අවස්ථාවේ, එම ගමේ ආරණ්‍යයේ වැඩ සිටින වයෝවෘද්ධ නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ගෞරවයෙන් වන්දනා කොට උන්වහන්සේව සතුටු කළා. පින්වත, පසුගිය දවසක උන්වහන්සේ ගිලන්ව අපවත් වුණා. භික්ෂුව එම නායක ස්වාමීන් වහන්සේගේ දේහයට අවසන් ගෞරවයන් දක්වද්දී, භික්ෂුවට ලොකු විදර්ශනාමය සතුටක් ඇති වුණා. පින්වත, එම සතුට භික්ෂුව තුළ ඇති වුණේ, මීට මාස දෙකකට පෙර උන්වහන්සේව මුණගැසී උන්වහන්සේට ජීවත්ව සිටිය දී ම ගරුබුහුමන් දැක්වීමට හැකි වීම නිසා මයි. පින්වත, වර්තමානයේ ඔබ සිදු කරන සෑම යහපත් ක්‍රියාවක ම අග්‍ර ම ප්‍රතිලාභයෝ ඔබට ලැබෙන්නේ අනාගතයේ දී බව සිහිනුවණින් තේරුම් ගන්න.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 මාර්තු 08 ඉරිදා දිවයින පුවත්පතින්.