පින්වත, භික්ෂුව ධර්ම දේශනයකට විහාරස්ථානයකට වැඩිය අවස්ථාවක දී, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ආවාසයට වැඩියා. එම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වස් හතළිහකට වැඩි නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ භික්ෂුව දුටු හැටියේ ම තම ආසනයෙන් නැගිට්ටා. භික්ෂුව බොහොම ගෞරවයෙන් කිව්වා, “නායක ස්වාමීන් වහන්ස, මම වස් දහ අටක පුංචි භික්ෂුවක්, ඔබවහන්සේ වැඩ සිටින්න” ය කියලා. පින්වත, වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම මොනතරම් නම් සිත සතුටින් පිරී යන කාරණයක් ද? පින්වත, වැඩිහිටියෙකුට ගරු බුහුමන් දක්වද්දී, මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහකින් ජීවිතය පිරී ඉතිරී යනවා. පින්වත, එම මෛත්‍රී චිත්තය, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි විදර්ශනාවෙන් දැක්කොත්, ගණනය කළ නොහැකි විදර්ශනාමය කුසලයක් ජීවිතයට එකතු වෙනවා.
පින්වත, සත්‍යකින් ම, වර්තමානය මිථ්‍යා ධර්මයන්ගේ විකෘතියක්. අපි වටිනා ධර්මයෝ ජීවිතවලට එපා කියලා, නොවටිනා ධර්මයෝ ජීවිතගත කොට ගන්නවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පංච ශීලයේ ආරක්‍ෂාවෙන් සහ ත්‍යාගවන්ත සිතින් ඔබේ වැඩිහිටියන්, දෙමාපියන්, ගුරුවරුන්, ස්වාමිපුරුෂයා, බිරිඳ සහ පැවිදි උතුමන්ට ගරු බුහුමන් දක්වයි ද, එම මහා පුණ්‍ය කර්මයේ ශක්තියෙන් ඔබ මරණින් මතු පටිච්චසමුප්පන්නව දිව්‍ය ලෝකයේ මනාපකායික දෙවියන් වෙලා උපදිනවා” ය කියලා. පින්වත, දිනෙන් දින වැඩිහිටියන්ට, ස්වාමිපුරුෂයාට, බිරිඳට ගරු බුහුමන් දැක්වීම පිරිහී යන සමාජයක, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු බුහුමන් එපා යැයි පොළඹවන සමාජයක, අනාගතය අකුසලයේ කාන්තාරයක් ම වේවි නේද? පින්වත, සතර අපා සඤ්ඤාවන්ට තෝතැන්නක් ම වේවි නේද?
පින්වත, මහණ බමුණන්ට, වැඩිහිටියන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, බිරිඳට, ස්වාමිපුරුෂයාට ගරු බුහුමන් දක්වන්න මැළි වෙන්න එපා. පින්වත, වැඩිහිටියන්ව සතුටු කිරීම ඔබව දිව්‍ය සතුටකට ඔසවා තබාවි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීමේ පිනෙන් දිව්‍ය ලෝකයේ උපන් මනාපකායික දෙවියන් සහ දිව්‍යාංගනාවන් හරිම පුණ්‍යවන්තයි, විචිත්‍රයි” කියලා. පින්වත, මේ මොහොතේ රන්වන් පැහැති දිව්‍ය වස්ත්‍ර දරා සිටින මනාපකායික දෙවියන්ගේ දිව්‍ය වස්ත්‍ර තවත් මොහොතකින් නිල්වන් පැහැයට පත් වෙනවා. පින්වත, තවත් මොහොතකින් එම දිව්‍ය වස්ත්‍ර කහවන් පැහැයට පත් වෙනවා. පින්වත, මනුෂ්‍ය ලෝකයේ දී වැඩිහිටියන්ට, බිරිඳට, ස්වාමිපුරුෂයාට ගරු බුහුමන් දැක්වූ සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා ම, මනාපකායික දෙවියන්ට නේක වර්ණ දිව්‍ය වස්ත්‍ර පහළ වෙනවා. පින්වත, පව හරිම දුර්වර්ණ වුවත්, පින හරිම විචිත්‍රයි, සුන්දරයි. පින්වත, මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන පින්වත් ඔබ පාට පාට විචිත්‍ර ලස්සන ඇඳුම් පැලඳුම් සතුටු සිතින් නිරතුරුව ම පරිහණය කරන පින්වතෙක් ද? පින්වත, ඔබ පෙර පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතයේ දී, වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වලා තිබෙනවා. ඒ නිසා මයි ඔබ වර්ණවත් විචිත්‍ර ජීවිතයක් ලබන්නේ. පින්වත, පෙර පින බුක්ති විඳලා පමණක් ඉවර කර ගන්න එපා. පින්වත, ඔබේ පෙර පින, පෙරළා පින උදෙසා ම ආයෝජනය කරන්න. පින්වත, දෑස් පනාපිට ගරා වැටෙන උතුම් මනුෂ්‍ය ධර්මයන් ඉදිරියේ ඔබ දුකට පත් වෙන්න එපා. පින්වත, මනුෂ්‍ය ධර්මයන්ගේ ගරා වැටීම සහ ප්‍රවර්ධනය වීම පවේ සහ පිනේ හේතුඵල ධර්මයන් හැටියට ම දකින්න. පින්වත, එවිට ඔබේ සිතුවිලි ධර්මයේ උපේක්‍ෂාවට පත් වේවි. පින්වත, එතැනයි සංසිඳුණ සිතක, උත්තම ධර්මයෝ අවදි වෙන්නේ.
පින්වත, ලෝකය යැයි කියන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ට බව ඇත්ත, ඒත් ඔබ ලෝකයට බිය වෙන්න එපා. ලෝකය ඉදිරියේ කෙළින් සිට ගන්න. පින්වත, වර්තමාන සමාජය ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය ඉදිරියේ සැලෙනවා; කම්පිත වෙනවා. පින්වත, දුක්ඛ දෝමනස්සයන් ඉදිරියේ ජීවිත කඩා වැටෙනවා. පින්වත, ඔබ රාත්‍රී නින්දේ දී, නපුරු සිහිනයක් දැක්කාය කියලා ජීවිතය කඩා වැටෙන්න දෙන්න එපා. උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, උතුම් තෙරුවන්ගේ ගුණයන් සිහිපත් කොට ගෙන නැගී සිටින්න. පින්වත, ලෙඩක්, දුකක් හැදුණාය කියලා මුහුණ ඇඹුල් කොට ගෙන ඉන්න එපා. ‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා!’ යැයි සිනාමුසු මුහුණින් නැගී සිටින්න.
පින්වත, ඔබේ බලාපොරොත්තු බිඳ වැටුණාය කියලා ජීවිතය වැටෙන්න දෙන්න එපා, සිල්වත්භාවයෙන් ඔබේ බිඳුණ බලාපොරොත්තු ඉදිරියේ කෙළින් සිටගන්න. පින්වත, ඔබේ ජනප්‍රියභාවය පිරිහුණාය කියලා ඔබේ යහපත් බලාපොරොත්තු පිරිහිලා යන්න දෙන්න එපා. වර්ණය, සැපය, බලයට උල්පත වූ ත්‍යාගවන්ත සිතෙන් නැගී සිටින්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතය ඉදිරියට පැමිණෙන කිනම් ජරා, ව්‍යාධි, මරණ ධර්මතාවයක් ම, අභියෝගයක් ම, විවේචනයක් ම භික්ෂුව භාර දෙන්නේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට, මෛත්‍රියට, ශීලයට, ත්‍යාගවන්තභාවයටයි. පින්වත, මේ සියලු ධර්මතාවයෝ විදර්ශනාවෙන් පෝෂණය වෙද්දී, ලෝක ධර්මයන් ඉදිරියේ භික්ෂුව කෙළින් සිටගෙනයි සිටින්නේ. පින්වත, ධනයෙන්, බලයෙන් සහ නිලයේ ශක්තියෙන් කෙළින් සිටගැනීමත්, උතුම් ආර්ය ධර්මයන්ගේ ශක්තියෙන් කෙළින් සිට ගැනීමත් යැයි කියන්නේ අහසයි, පොළොවයි අතර පරතරයටත් වඩා විශාල වෙනසක්ය කියන කාරණය අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “වස විෂ වෙළඳාම මිච්ඡා ආජීවයක්” ය කියලා. පින්වත, උතුම් ආජීව අට්ඨමක ශීලය අපිව වස විෂ වෙළඳාමෙන් බැහැර වීමට සතිය සිහිය සකස් කොට දෙනවා. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය තෘෂ්ණාව විසින් ගිල ගත්ත සමාජයක, උතුම් ආජීව අට්ඨමක ශීලය අභියෝගයට ලක් වෙලා තිබෙනවා. පින්වත, තෘෂ්ණාව තරම් තවත් වස විෂක් නැහැ. පින්වත, තෘෂ්ණාව ජාති, ජරා, ව්‍යාධි, මරණ, පංච උපාදානස්කන්ධ වස විසේ නිර්මාතෘ වෙනවා. පින්වත, සද්ධර්මයේ අර්ථයන් නොදත් මනුෂ්‍යයාගේ තෘෂ්ණාව වස විෂ සහිත ආහාර හේතුවෙන් සමාජය ම රෝගීභාවයට පත් කරලා. පින්වත, රජයේ සෞඛ්‍ය සේවය කඩා වැටෙනවා. පෞද්ගලික රෝහල් ගාස්තු, ඖෂධ මිල අහිංසක මනුෂ්‍යයෝ තවත් ලෙඩ කරනවා. පින්වත, උතුම් සද්ධර්මයේ සරණ හැර වෙනත් සරණක් ජාතියට නැහැ. පින්වත, අපේ කරුමෙට සද්ධර්මයේ සරණත් තෘෂ්ණාවට බිලි වෙලා. පින්වත, අපි බුදු දහමේ අයිතිය දරාගත් නම්බුකාර අනාථයෝ. පින්වත, අද සෙනසුරාදා දවසක්, උදෑසන පිණ්ඩපාත ශාලාවට සියයකට වැඩි පිරිසක් දානය බෙදන්න පැමිණ සිටියා. නිවාඩු දවස නිසා පාසල් දරුවෝ ගොඩයි. භික්ෂුව පැයක් පමණ සමථ, විදර්ශනා භාවනා කෙරෙව්වා. පාසල් දරුවෝ හැමෝම හරිම ලස්සනට භාවනා කළා. පින්වත, මේ හැමෝම පුණ්‍යවන්ත දරුවෝ. පෙර පටිච්චසමුප්පන්නව සද්ධර්මයට අදාළ යහපත් පුරුදු මේ ළමා ජීවිත තුළ සැඟවිලා තිබෙනවා. පින්වත, වැඩිහිටි අපේ තෘෂ්ණාව, මේ පුණ්‍යවන්ත අහිංසක ළමා පරපුරට වස විෂක් වෙන්න නම් එපා.
පින්වත, සමහර පින්වතුන් අපිව මහා ඉහළින් වර්ණනා කරනවා. තවත් සමහර පින්වතුන් අපිට විවේචන චෝදනා කරනවා. පින්වත, ඉහත මනුෂ්‍ය හැසිරීම් දෙක ඉදිරියේ දී ම ‘සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා’ ය කියලා දකින්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, ප්‍රශංසා සහ විවේචන කියන අර්ථයන් දෙකම අයිති වෙන්නේ ලෝකයට. පින්වත, පසුගිය දවසක පින්වත් මහත්මයෙක් පිරිස ඉදිරියේ දෑත් එකතු කොට ගෙන භික්ෂුව ගැන ලොකු ප්‍රශංසාවක් සිදු කළා. සත්‍යකින් ම එම ප්‍රශංසාව අහලා භික්ෂුවට නම් පුංචි හෝ සතුටක් දැනුණේ නැහැ. පින්වත, අනේ මේ අපූරු ප්‍රශංසාව අනාගතයේ දවසක විවේචනයක් වෙනවාය කියන ධම්මානුපස්සනාව මයි භික්ෂුව තුළ මතු වුණේ. පින්වත, පුංචි ගැටෙන සිතකට, ප්‍රශංසාව චෝදනාවක් බවට පත් කරන්න පුළුවන්.
පින්වත, ලෝකය යැයි කියන්නේ අවිද්‍යාවෙන් පණ ලබන තෘෂ්ණාවේ රඟමඬලක්. පින්වත, වරෙක ප්‍රශංසාවේ විකට ඇඳුම් හැඳ ගන්න තෘෂ්ණාව, තවත් වරෙක විවේචනයේ විකට ඇඳුම් හැඳ ගන්නවා. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් නමැති දෙබිඩි හැසිරීම් ඉදිරියේ උතුම් ධම්මානුපස්සනාව හරිම පහසුවක්. පින්වත, අද ඉරිදා දවසක්, දහම් පාසල් දිනයක් නිසා පිණ්ඩපාත ශාලාවේ දරුවන් අඩුයි. වැඩිහිටියන් ගොඩාක් ඇවිත් සිටියා. හැමෝගේ ම මුහුණුවල, හැසිරීම්වල තිබුණේ ලොකු ගෞරවයක්. පින්වත, ලොකු ගෞරවය පුංචි වැරදි වැටහීමකින් ලොකු අගෞරවයක් බවට පෙරළෙන්න පුළුවන්. පින්වත, අපි තෘෂ්ණාවේ රඟමඬල දෙස බැලිය යුත්තේ, ‘දැක්කා’, ‘ඇසුණා’, ‘දැනුණා’ යැයි කියන ආරක්‍ෂිත ක්‍රියාන්විතය තුළින් මයි. පින්වත, මේ ලැබෙන ගෞරවයන් අයිති පැවිදි අපිට නොවේ, උතුම් තෙරුවන්ට මයි. පින්වත, තෘෂ්ණාව බිමින් තියලා පින්වත් ජනතාව අතරට ගිහිල්ලා, තෘෂ්ණාවේ නොතැවරී පින්වත් ජනතාවගෙන් නික්මී යන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ.
පින්වත, ඇලීම් සහ ගැටීම් බරෙන් පීඩිත පංච උපාදානස්කන්ධ ලෝකය තුළ උතුම් ධම්මානුපස්සනාව යැයි කියන්නේ හරිම සැහැල්ලු, නිදහස් දහමක්. පින්වත, ‘මගේකම’ පුරවා ගත්ත ජීවිතවල මගේකම උතුම් ධම්මානුපස්සනාවෙන් හිස් කොට දෙනවා. පින්වත, තෘෂ්ණාවේ රඟමඬල ඉදිරියේ ඇලීම් සහ ගැටීම් විකට ඇඳුම් උනා දමන ධම්මානුපස්සනාව, සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්මෙන් ධර්මයේ උපේක්‍ෂාවට නිකෙලෙස් පාවඩයක් වෙනවා. පින්වත, අර්ථවත්ව ධම්මානුපස්සනාව යැයි කියන වචනය සිහිපත් වෙන කොට ම, තාවකාලිකව කෙලෙස් ලෝකයෙන් ඔබ නිදහස් වෙනවා. පින්වත, මේ ධම්මානුපස්සනාවට අදාළ සටහන කියවද්දී, ඔබේ සිතුවිලි සංසිඳිලා නේද තිබෙන්නේ? පින්වත, ධම්ම විචය බොජ්ඣංගයෙන් සංසිඳුණ සිත බොහෝම දුර්ලභ සිතක්. පින්වත, ඔය සංසිඳීම සති සම්බොජ්ඣංගය ආහාරයක් කොට ගෙනයි මතු වෙන්නේ. පින්වත, ඔබේ ඔය සංසිඳුණ සිත, උතුම් ධම්මානුපස්සනාවට ආයෝජනය කරන්න. පින්වත, සුලභ මනුෂ්‍ය ධර්මයන්ගෙන් පිරුණ ජීවිතවලට, මේ විදර්ශනා සිත් යනු හරිම දුර්ලභ ධර්මතාවයක්. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන් තුළ උතුම් ධම්මානුපස්සනාවට යටත් නොවන ධර්මතාවයක් නැහැ. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය සහ නිරෝධය යන අර්ථයන් දෙකම උතුම් ධම්මානුපස්සනාවෙන් විනිවිද දැකිය හැකි ධර්මයෝ මයි.
පින්වත, මමත්වයේ දැඩිභාවය යැයි කියන්නේ “මම” අංක එකට ගැනීමයි. පින්වත, ඔබේ ජීවිතයට ලෝභ, ද්වේශ, මෝහ බර පටවන්නේ මමත්වයේ දැඩිභාවය මයි. පින්වත, ඔබ මේ බර හරිම සතුටින් මයි පිළිගන්නේ. පින්වත, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුට්ටුවකටවත් මායිම් නොකරන මමත්වයේ දැඩිභාවය, අන්‍යශීලවෘතයන්ට සහ තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාවට දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. පින්වත, මමත්වයේ දැඩිභාවයෙන් උපදින ලෝභ, ද්වේශ, මෝහයෝ උතුම් ධම්මානුපස්සනාවෙන් පුච්චා දමනවා. පින්වත, මොහොතක් ධම්මානුපස්සනාවෙන් ලෝකය දකින්න. පින්වත, බුදුරජාණන් වහන්සේ යැයි කියන්නේ පිරිනිවී ගිය අනිත්‍ය වූ ධර්මතාවයක්. මේ උතුම් ධර්ම රත්නය, මේ උතුම් සංඝ රත්නය අනාගතයේ යම් දවසක අතුරුදන් වෙලා අබුද්ධෝත්පාද කාලයක් උදා වෙනවා. පින්වත, උතුම් ධර්ම රත්නය, සංඝ රත්නය යැයි කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයෝ මයි. පින්වත, අපි පුහුණු කරන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව යැයි කියන්නේ ද අනිත්‍ය වී යන ධර්මතාවයෝ මයි. පින්වත, ඉහත ධර්මයන් මොනවට පුහුණු කිරීම තුළින් අපි කවදාහරි ලබන උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත්ඵල අවබෝධයන් යැයි කියන්නේ ද, අනිත්‍ය වී යන ධර්මතාවයන්ට මයි. පින්වත, සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවබෝධ කොට වදාළ උතුම් රහත් ඵලය කියන අර්ථය ලෝකය තුළ තියලා උන්වහන්සේ පිරිනිවී ගියා. පින්වත, අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේ, ලෝකය තුළ තබා පිරිනිවී ගිය උතුම් රහත් ඵලය කියන අර්ථය අල්ලා ගෙන රණ්ඩු කරනවා, අසවලා රහත් වෙලා, අසවලා රහත් වෙලා නැහැ, අසවලා හොර රහතෙක්. පින්වත, අපි මේ රණ්ඩු කරන්නේ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ ලෝකය තුළ තබා පිරිනිවී ගිය අනිත්‍ය වූ ලෝක ධර්මයන් සමගයි. පින්වත, මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාව තුළ ජීවත් වෙන්න දක්‍ෂ වෙන්න.
පින්වත, අරියඥාන හාමුදුරුවන්ට බෙහෙත් අරගන්න, මල් සැරසිලි කරන්න සහ කුටි හදන්න යැයි සම්මාදම් එකතු කරන පින්වතුන්ලා ගැන භික්ෂුවට නිතර පැමිණිලි ලැබෙනවා. “කරුණාකර මෙවැනි ඉන්ද්‍රිය ධර්මයන් හීන පින්වතුන්ලාට අනුබල දෙන්න එපා” කියලා කාරුණිකව දැනුම් දෙනවා. භික්ෂුවට යමක් අවශ්‍ය නම් එය භික්ෂුව විසින් ම විවෘතව සමාජයට දැනුම් දෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2025 සැප්තැම්බර් 07 ඉරිදා දිවයින පුවත්පතින්.