කඨින පිංකම සැබෑ සම්මා වායාමයක් බවට පත් කොට ගන්න.

පින්වත, ඔබ වරදට දඬුවම් දිය යුත්තේ ද්වේශයෙන් හෝ පළිගැනීමේ චේතනාවෙන් නොවේ, ඔබ වරදට දඬුවම් දිය යුත්තේ වරදකරු කෙරෙහි මෛත්‍රී චේතනාවෙන් මයි, වරදකරු යළි වැරදි නොකරන ස්වභාවයට පත් කොට ගැනීමේ චේතනාවෙන් ම ය. පින්වත, ඔබේ වැරදි, සීමාවන් ඉක්මවා යාමේ දී, අනුනගේ වැරදිවලින් ඔබේ වැරදි වසා ගැනීම සමාජය නිවැරදි කිරීමක් නම් නොව, සමාජය භේදභින්න වීමට උපකාරක ධර්මයන් සකස් කොට දීමක් මයි. පින්වත, ජයග්‍රාහී ඔබ තම විරුද්ධවාදියාට මෙත් වඩන්න, එවිට මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහකින් ඔබේ ජයග්‍රහණය තව තවත් ශක්තිමත් වේවි. පින්වත් ඔබ ඔබේ විරුද්ධවාදියාට ද්වේශ කළොත්, ඔබේ විරුද්ධවාදියාගෙන් පළිගත්තොත්, ද්වේශයට අදාළ නරක, නපුරු විපාකයෝ එකොළහකින් ඔබ ලැබූ ජයග්‍රහණය අනතුර දිශාවට ම ගමන් කරාවි. පින්වත, ඉහත ධර්මය කර්මය කර්මඵල විශ්වාසය නොදත් යම් පින්වතෙකුට මහා ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන්, නමුත් ලෝකය ජයගත්ත යම් නායකයෙක් වේ නම්, ඔහු ලෝකය සහ තම ජනතාව ජයගත්තේ ඉහත ධර්මය තුළින් බව කාරුණිකව තේරුම් ගන්න. මෙය සටහන් තබන භික්ෂුව තමා ඉදිරියට පැමිණි සෑම අභියෝගයක් ම, විවේචනයක් ම ජය ගත්තේ ශීලයෙන්, මෛත්‍රියෙන් සහ විර්දශනාවෙන් ම ය. භික්ෂුව ඔබට විවෘතව කියනවා, ඉදිරියේ දී භික්ෂුවට කිනම් අභියෝගයක්, විවේචනයක් පැමිණියත් ඉහත ධර්මයන් තුනෙන් භික්ෂුව අභියෝග සහ විවේචන ජයගන්නවා මයි. පින්වත, ජයග්‍රහණයන් ඉදිරියේ දී පමණක් නොවේ, අභියෝගයන්හිදීත් මෛත්‍රියේ ආනිශංස එකොළහ කෙරෙහි විශ්වාසය තබන්න දක්‍ෂ වෙන්න. එසේ නොවුණොත්, සමාජය ඉදිරියේ දී අසමගියේ ගිනි පුපුරක් ම වේවි. එහි අවසාන වාසිය පාතාලයට සහ අන්තවාදයටයි.

පින්වත, ඔබේ නිවසේ මිල කළ නොහැකි වටිනා කුසල් නිධියක් තිබෙනවා. එම කුසල් නිධිය මැණික්, දියමන්ති, රත්තරන් නිධිවලට වඩා ගොඩාක් වටිනවා. පින්වත, ඔබ රත්තරන් නිධියක් අයිති කොට ගත්තොත් ඔබට ඇති වෙන්නේ බියක්, සැකයක්, කාමච්ඡන්දයක් මයි. පින්වත, ඔබේ නිවසේ තිබෙන කුසල් නිධිය ඔබ සිහිනුවණින් ගරා ගත්තොත්, ඔබට අයිති වෙන්නේ පිනක් මයි; ආරක්‍ෂාවක් මයි; පූර්වාදර්ශයක් මයි. පින්වත, ඔබේ නිවසේ තිබෙන කුසල් නිධිය යැයි ධර්මානුකූලව කියන්නේ, මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් ඔබේ පින්වත් අම්මා සහ තාත්තා යන දෙපළයි. පින්වත, ඔබට ආනාගතයේ පටිච්චසමුප්පන්නව තව්තිසාවේ ශක්‍ර දෙවියන් වෙන්න අවශ්‍ය නම්, ඊට අදාළ පිනේ උපකාරක ධර්මයන් ඔබ මතු කොටගත යුත්තේ, ඔබේ දෙමාපියන් නමැති කුසල් නිධිය තුළින් මයි. පින්වත, ඔබේ නිවසේ මැණික්, දියමන්ති, රත්තරන්වලට වඩා වැඩි සම්පතක් තියාගෙන, සම්පත් සොයා ගෙන මහ පොළොවේ පතල් හාරන්න එපා. පින්වත් දරුවන්ගේ කීකරුභාවයන් නිසා, දරුවන්ගේ උපස්ථානයන් නිසා සතුටු වන අම්මා තාත්තාගේ සිත, දරුවන්ට වර්ණය, සැපය, බලයේ පුණ්‍ය නිධානයක් ම වෙනවා. පින්වත, ධනවත් මහත්මයෙක් තමන්ගේ නිවසේ ඇති කරන පුණ්‍යවන්ත මිල අධික සුනඛ සුරතලාට කෑම හදලා දුන්නේ නැහැය කියලා, තමන්ගේ අම්මාට නරක ම නරක පරුෂ වචනයෙන් බැණ වැදුණාය කියලා, නිවසේ රියදුරු මහත්මයෙක්ගෙන් දැන ගන්නට ලැබුණා. පින්වත, බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයාත්, සතර අපායේ තිරිසන් ලෝකයත් අතර වෙනස, අවිද්‍යාව අපෙන් වසන් කරනවා. පින්වත, අම්මාට වඩා බල්ලා වටින සමාජයක් බිහි වෙන්නේත් අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයන් නිසා මයි. පින්වත, තම වයෝවෘද්ධ දෙමාපියන්ට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් අවංකව උපකාර කරන දරුවෝ බ්‍රහ්ම දරුවෝ මයි. පින්වත, තම දෙමාපියන්ට පරුෂ වචනයෙන් බැණ වදින යම් දරුවෙක් වේ ද, එම දරුවාගේ ඊළඟ පටිච්චසමුප්පන්න උපත දෙමාපියන්ගේ උණුසුමක් නොලබන බ්‍රොයිලර් කුකුල් පැටවෙක් වෙන්න පුළුවන්.

පින්වත, අකුසල් මූලයන්ගෙන් සහ දුශ්ශීලභාවයෙන් පියාපත් ලබන “රාගය” කාමයේ සහ රූපයේ කෙටි ගොදුරු බිම් සොයාගෙන ඉගිලී යන්න හරිම දක්‍ෂයි. පින්වත, රූපය කෙරෙහි ඇති කොට ගන්නා වූ තෘෂ්ණාව රාගයේ උපත වෙනවා. පින්වත, විඳීම්, හඳුනා ගැනීම්, චේතනා සහ දැනීම් රාගයේ රස මවන රිද්මයන් වෙනවා. පින්වත, දෙතිස් කුණපයකට මෝහයේ ඇඳුම් අන්දවන රාගය, කාම ලෝකයේ මහා බලවතා වෙනවා. පින්වත, උතුම් අනාගාමීඵල අවබෝධයේ දී පරිපූර්ණ වශයෙන් නිරෝධය වන රාගය, රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම තලවල දී, ධ්‍යානවල ආස්වාදයෙන් තාවකාලිකව යටපත් වෙනවා. පින්වත, උතුම් සකෘදාගාමීඵල අවබෝධයේ දී අනුශය සීමාවන්ට යටත් වන රාගය, උතුම් සෝවාන්ඵල අවබෝධයේ දී ආර්ය ශීලයේ, අචල ශ්‍රද්ධාවේ පාලනයට යටත්ව විනයගරුකව හැසිරෙනවා. පින්වත, ඉන් මෙහා ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී සහ පෘථග්ජන පින්වතුන්ලා රාගය ඉදිරියේ නරක ළමයින් සේ හැසිරෙන්න පුළුවන්. පින්වත, රාගය යැයි කියන්නේ ශීලාචාර මනුෂ්‍ය ධර්මයන් ඉදිරියේ හරිම එපා කරපු යහළුවෙක්. පින්වත, රාගයට පුළුවන් ආදරයේ ඇස් වහලා, ආදරණීය ජීවිතවලට හැමදාමත් කඳුළු දෙන්න. පින්වත, රාගයට යහපත සහ අයහපත හඳුනා ගැනීමේ සම්මා දිට්ඨිය නැහැ. රාගය නිවැරදි දෙය උදුරාගෙන වරද මයි සමාජගත කරන්නේ.

පින්වත, අපි හැමෝම කැමතියි නිදහස්, සාමාකාමී, ස්වයංපෝෂිත රටක ජීවත් වෙන්න. පින්වත, ඊට අදාළ කැමැත්ත තිබිලා විතරක් හරි යන්නෙ නැහැ. එම කැමැත්ත සඵල වෙන්න නම්, ඊට අදාළ පිනත් අපිට තිබෙන්නට ඕනේ. පින්වත, පින සහ පව කියන කාරණය හැමෝම පිළිගන්නේ නැහැ. පින්වත, පින සහ පව හෙවත් කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්න නම්, උතුම් සම්මා දිට්ඨිය අපිට තිබෙන්නට ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේ දානයට ආනිශංස තුනක් පනවනවා, ශීලයට ආනිශංසයෝ පහක් පනවනවා, මෛත්‍රියට ආනිශංසයෝ එකොළහක් පනවනවා. පින්වත, අකුසල් යටපත් කොට ගෙන කුසලයෙන් නැගී සිටින ඉහත පුණ්‍ය ප්‍රතිලාභයෝ, රටක් ස්වයංපෝෂිතභාවයෙන් නැගී සිටින පුණ්‍ය නිධානයෝ ම වෙනවා. පින්වත, ඔබ ඊයේ දවසේ අවස්ථා කීයක දී ගැටෙන සිත්, කේන්ති සිත් ඇති කොට ගත්තා ද? පින්වත් ඔබ කේන්ති සිතක් ඇති කොට ගන්නා මොහොතක් පාසා, ඔබ මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් ‘එපා’ කියලා ඉවත දමපු අදක්‍ෂයෙක් වෙනවා. පින්වත, ඔබ කේන්ති සිතක්, ගැටෙන සිතක් ඇති කොට ගන්නා මොහොතක් පාසා කේන්තියට අදාළ නරක විපාකයෝ එකොළහක් ජීවිතයට එකතු කොට ගන්නවා. පින්වත, ඔබ සිල් පදයක් දුර්වල කොට ගන්නා මොහොතක් පාසා දුශ්ශීලභාවයට අදාළ නරක විපාකයෝ පහක් ජීවිතයට එකතු කොට ගන්නවා. පින්වත, දුශ්ශීලභාවය අපේ ජනප්‍රියභාවය බිංදුවට ඇද දමනවා, අධිකරණයන් ඉදිරියේ අන්ත අසරණයන් බවට පත් කරනවා, අභියෝගයන් හමුවේ සැඟවී යනවා. පින්වත, දුශ්ශීලභාවය අපේ භවභෝග සම්පත් හීන කොට දමා, වරායට නැව් එනකම් බලාගෙන සිටින පරාජිතයන් බවට පත් කොට දමනවා. පින්වත, දුශ්ශීලභාවය කර්ම රෝගයන්ගේ පාරාදීසයක් බවට සමාජය පත් කරනවා.

පින්වත, වරෙක අපේ රටේ සොරකම රජ වෙනවා. තවත් වරෙක අපේ රටේ බොරුව රජ වෙනවා. පින්වත, කවදා ද අපි පංච ශීලය රජ කරවන්නේ? පින්වත, එදාටයි අපේ ජයග්‍රාහී දවස උදා වෙන්නේ. පින්වත, පක්‍ෂ භේදයකින් තොරව රජ ගෙදර සිට පාර්ලිමේන්තුව දක්වාත්, පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වාත් සමස්ත ජනතාවට ම පූර්වාදර්ශයෝ දෙන්නේ ශීලයේ උතුම් ආනිශංසයෝ සහ මෛත්‍රියේ උතුම් ආනිශංසයෝ විනාශ කොට දැමීමට ම නේද? පින්වත, හඳහන් බලන්න අවශ්‍ය නැහැ, බොරුව, ද්වේශය, පළිගැනීම, වෛරය දවසේ සාමාන්‍ය සිද්ධීන් බවට පත් වෙන සමාජයක් කවදාකවත් ජනප්‍රියභාවයෙන්, අභියෝගයන්ට ඔරොත්තු දෙමින්, ස්වයංපෝෂිතව නැගී සිටීමට නම් අවස්ථාව ධර්මානුකූලව නැහැ. පින්වත, ජාතියක් හැටියට අපි මෛත්‍රියේ සහ ශීලයේ උතුම් ආනිශංස ධර්මයෝ වහ වහා පූර්වාදර්ශීව සමාජගත නොකළොත්, අපි මහා පටලැවිල්ලක ආරම්භයක් දෙසට ඉදිරියේ දී අවතීර්ණ වෙන්න පුළුවන්. එය උපක්‍රමශීලීව ඇති කරන ජාති සහ ආගම් අතර අසමගියක් වෙන්න පුළුවන්. පින්වත, රටක් පාලනය කිරීමට පෙරාතුව බලයට නොව, රටට, ජාතියට ආදරය කරන්න ඕනේ. පින්වත, රටට, ජාතියට ආදරය නොකොට බලයට ආදරය කරන්නෝ, බලය උදෙසා රට, ජාතියයි ගොදුරක් කොට ගන්නේ. පින්වත, ඉතිහාසය අවශ්‍ය වන්නේ ඉහත අනතුරු හඳුනා ගෙන, අනාගතය නිවැරදි කොට ගැනීමටයි.

පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ පුද්ගල දුර්වලභාවයන් ගැන නොවේ. භික්ෂුව මේ සටහන් තබන්නේ බලයට උඩ ගෙඩි දෙන තෘෂ්ණාවේ වියරුවට හේතු වන අවිද්‍යාවේ හැඩරුව ගැනයි. පින්වත, මෛත්‍රියේ ආනිශංස ධර්මයන්ගෙන්, ශීලයේ ආනිශංස ධර්මයන්ගෙන් සමාජය පිරිහී යන කොට, අපේ ඉලක්කය විය යුත්තේ පුද්ගල සඤ්ඤාවෙන් නොව, විකෘතියට හේතුව වන අවිද්‍යාවයි. පින්වත, අපි පුද්ගල සඤ්ඤාවන් ඉලක්ක කළොත්, අපිත් මෛත්‍රියේ ආනිශංසයෝ විනාශ කොට ගැනීමේ කොටස්කරුවන් වෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ මුදුන් මුල අවිද්‍යාවෙන් පණ ලබන තෘෂ්ණාව නිසා ම, ලෝකයට නිවැරදි වෙන්න අවශ්‍ය නැහැ. පින්වත, ලෝකය නිවැරදි වෙන්නේ නැහැය කියලා, ඔබ දුක් වෙන්න, බලාපොරොත්තු සිඳ ගන්න එපා. පින්වත, ලෝකය නිවැරදි නොවන්නේ, පින්වත් ඔබට තව තවත් නිවැරදි වෙන්න මයි. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ දුර්වලභාවයන් හේතුවෙන් සමාජගත වන අධි ලෝභ, ද්වේශ, මෝහ සහ දුශ්ශීලභාවයන් ඉදිරියේ පින්වත් ධර්මය හඳුනන ඔබ, අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයන්ගෙන් ශක්තිමත් වෙන්න. මෛත්‍රියේ ආනිශංස එකොළහෙන් සහ ශීලයේ ආනිශංස පහෙන් ඔබ මතු කොට ගන්නා කුසල් ශක්තිය මයි හෙට දවසේ ජාතියේ ගැලවුම්කරුවා වෙන්නේ.

පින්වත, මේ උදා වුණේ පුණ්‍යවන්ත වස්සානයේ හයවෙනි සතිය. පින්වත, අදත් උදෑසන භික්ෂුව, “මා සමාදන් වූ වස් අධිෂ්ඨානය යළි ආවර්ජනය කරමි” යි සිහිනුවණ ඇති කොට ගත්තා. කඨිනයේ අර්ථය නොකැඩෙන පිනක් බවට පත් වෙන්න නම්, පැවිදි අපේ ප්‍රතිපදාවෝ නොකැඩී පවත්වා ගන්න ඕනේ වගේ ම, ගිහි පින්වත් ඔබ සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ සහ ආජීව අට්ඨමක ශීලයේ ශක්තියෙන්, ඔබේ කඨින පින්කම සැබෑ සම්මා වායාමයක් බවට පත් කොට ගන්න ඕනේ. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, ජීවිතය කියන්නේ සුන්දර ධර්මයක්. පින්වත, ජීවිතය යැයි කියන්නේ ධර්මයේ කැඩපතක්. පින්වත, අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා එම කැඩපතින් යස අගේට පෙනෙනවා. පින්වත, දැනුම කිරි උතුරන එහෙත් ප්‍රඥාව අල්ප යාන්ත්‍රික ජීවිත, මේ ධර්මයේ කැඩපත දකින්නේ ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ හැටියට මයි. පින්වත, ලෝකයේ ලස්සන ම ධර්මයෝ පෙනෙන්නේ සම්මා සමාධිමත් සිතකයි. පින්වත, පංච නීවරණයෝ කාමරාග, පටිඝයෝ මයි අපේ උරුමය බවට පත් කොට දෙන්නේ. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයෝ ගැන, සතර සතිපට්ඨාන ධර්මයෝ ගැන නොයෙක් තර්ක විතර්ක කරන පින්වතුන්ලා භික්ෂුවට මුණ ගැසිලා තිබෙනවා. පින්වත, මේ සෑම තර්ක විතර්කයට ම එකම හේතුව උතුම් සම්මා සමාධියෙන් තොරව පටිච්චසමුප්පාද ධර්මයෝ, සතර සතිපට්ඨාන ධර්මයෝ ගැන සිතන්න යෑමයි. පින්වත, ශීල විශුද්ධියෙන් සහ චිත්ත විශුද්ධියෙන් පසුවයි උතුම් දිට්ඨි විශුද්ධිය පණ ලබන්නේ කියන කාරණය අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2025 අගෝස්තු 31 ඉරිදා ලිපිය.