පිංවත අපේ ජීවිතවල තෘෂ්ණාව වැඩිවෙනකොට ඇලීම් සහ ගැටීම් ගොඩාක් කාර්යබහුල වෙනවා. එවිට විවේකයකින් තොර සිතුවිලි, අවිවේකීව අපිව වෙහෙසට පත්කරනවා. මේ අවිවේකී සිතුවිලි නිර්ලෝභීව අපිට තෑගිකොට දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝමයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාර ලෝකය හරිම අවිනිශ්චිතයි. පිංවත සංස්කාර ලෝකය අවිනිශ්චිත වුණේ අතීතයේ අපි ම ඇතිකොටගත් අකුසල් සිතුවිලි නිසා බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පිංවත අවිනිශ්චිත සංස්කාර ලෝකය තුළ සකස්වෙන අකුසල් විපාකයන්ට යම් පමණකට හෝ ඔරොත්තු දීමේ ශක්තිය අපිට ලබා දෙන්නේ දස කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වුණා වූ පිනමයි. පිංවත වර්ණය, සැපය, බලය හැටියට පින විපාකයට එනකොට, එම වර්ණය, සැපය, බලය විඳීමෙන් පමණක් සෑහීමකට පත්වෙන්න එපා. වර්ණය, සැපය, බලය හැටියට පින වර්තමානයේ විපාකයට පැමිණෙනකොට කරුණාකර පින, පිනෙන් ම පිළිගන්න. පින අකුසල් මූලයන්ගෙන්, දුශ්ශීලභාවයන්ගෙන් පිළිගන්න එපා. අතීත පින විපාකයට පැමිණෙනකොට, ඔබ පින, කුසල් මූලයන්ගෙන් පෝෂණය වූ පින උදෙසා ම පෙරළා යොමු කළොත් පින ඔබේ ජීවිතයේ කොටසක් බවට ම පත්වෙනවා. පිංවත් ඔබ, ඔබේ විපාකයට පැමිණෙන පින ලෝභ, ද්වේශ, මෝහයන්ට යට කළොත්, නෙක්ඛම්මය අමතක කළොත් පින ගින්දරක් බවට ම පත්වෙන්න පුළුවන්.
පිංවත හොඳ දේවල් දහයක් සිදුකරලා, එක නරක වැඩක් කළොත්, එම සිදුකළ හොඳ දහය ම එක නරක දෙයින් දූෂණය වෙලා යන්න පුළුවන්. පිංවත් ඔබ දුගීමගී පිංවතුන් සියදෙනෙකුට ආහාර දන් දෙනවා, එහෙම දන්දීලා එක ස්වාමීන් වහන්සේ නමකට ලැබෙන්න තිබෙන දානය වළක්වනවා. පිංවත ඔබ දුගී පිංවතුන්ලාට දන් දුන්න දානයේ ආනිශංසයෝ, භික්ෂුවකගේ දානය අහිමි කිරීමෙන් ඔබ ම පුළුස්සා ගන්නවා. පිංවත් කෝටිපති දරුවෙක් සිටිනවා, එම දරුවා සුරූපී දරුවෙක් වුවත්, ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙනවා. පෙර ජීවිතයේ දානයේ සහ පිංකම්වල ශක්තියෙන් සුරූපී කෝටිපති දරුවෙක් වුවත්, එම පිංකම් අකුසල් මූලයන්ගෙන් අපවිත්‍රකොට ගැනීම නිසා ම මානසික ව්‍යාධියකින් පින අසරණකොට දමා තිබෙනවා. පිංවත අපි ජීවත් වෙන්නේ බොහෝ ම ඇලීම් සහ ගැටීම් වලින් තරගකාරී වූ, කර්මය කර්මඵල විශ්වාසය දුර්වලවෙන සමාජයක. අවිද්‍යාවේ ජන්මගතිය තෘෂ්ණාව නිසා ම, ඔබත් තරගකාරීත්වය පසුපස හඹාගෙන යමින් පිංකම් සිදුකළොත්, එම පිංකම්වල ලෞකික ප්‍රඥාව හෙවත් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ දුර්වර්ණ වෙලයි තිබෙන්නේ. නෙක්ඛම්ම සංකප්පය නොසලකා හැරලයි තිබෙන්නේ. පිංවත අපි සිදුකරන සෑම පිංකමක් තුළින් ම නෙක්ඛම්මය බලගැන්වෙන්න ඕනේ. එසේ නොවුණොත් අපි සිදුකරන පිංකම් අකුසල් මූලයන්ටමයි ආහාර වෙන්නේ. පිංවත මනුෂ්‍ය ජීවිත කාමච්ඡන්දයන්ගෙන් ගිලගන්නකොට, එම ජීවිත වලින් පුණ්‍ය සිතුවිලි පලා යනවා. විශේෂයෙන් ම වර්තමාන තරුණ සමාජය ගිලගන්නා මෝස්තරකරණය, විලාසිතා, රූපලාවණ්‍යයන් හේතුවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි අඩු වටිනාකමක් සමාජගත වෙමින් පවතිනවා. පිංවත නවීන විලාසිතා, රූපලාවණ්‍යය තුළින් සමාජ ගතවෙන විසිතුරු, ප්‍රණීත, ලස්සන ලෝකය කියන්නේ අතීත පිනේ ඵලයන්මයි. ඒත් අපි දක්‍ෂ වෙලා නැහැ විපාකයට පැමිණෙන අපේ අතීත පින, මනුෂ්‍ය සමාජයේ දියුණුව, සංවර්ධනය, සුබසාධනය උදෙසා යොමුකොට ගන්න. අපි පින කාම ගින්දරක් කරගෙන ලෝභ, ද්වේශ, මෝහයෝ දිශාවට ම සමාජය මෙහෙයවනවා. පිංවත කරුණාකර සති සම්බොජ්ඣංගය ඇතිකොට ගන්න. සමාජ ගතවෙන කාම වෙළඳපොළ ජාතියේ නිෂ්පාදන වෙළඳපොළක්, සංවර්ධනයේ වෙළඳපොළක් බවට පත්කොට ගන්න.
පිංවත අපි ජාතියක් හැටියට මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරවෙලා, කාමසුඛල්ලිකානුයෝගය දිශාවට බොහෝම වේගයෙන් පියවර තබනවා. ලෞකික සැප ලැබීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සක්සුදක් සේ පැහැදිලිව තිබිය දී, අපි සැප සොයන්න යන්නේ දෙතිස් කුණපයක් සරසලා, ජරා, ව්‍යාධි, මරණයක් විලාසිතාවන්ගෙන් සරසලා, මරණානුස්සතියකට රසමසවුලු කවලා. පිංවත ඔබ මේ පුණ්‍යවන්ත උපත ලැබුවේ, පටිච්චසමුප්පන්නව නැවත උපදින්න නොවේ. දෙතිස් කුණපයකට, කොන්ක්‍රීට්, ගඩොල් ගොඩකට, යකඩ ගොඩකට ඔබේ නික්ලේශී විදර්ශනා සැපයන් පාවා දෙන්න නොවේ. පිංවත ඔබ දුප්පත් වේවා, පොහොසත් වේවා ලෝකයේ හරි මැදට එන්න. ලෝකයේ හරි මැද අන්තයන්ගෙන් මිදුණා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලද දෙයින් සතුටු වෙන්න. නොලද දෙය ගැන පසුතැවෙන්න එපා. නොලද දෙය ලබාගැනීමට ධර්මානුකූලව උත්සාහ ගන්න. අල්පේච්ඡභාවය ජීවිතය ලබන නිදහසක් බව නුවණින් දකින්න. අතිරික්තයේ සැඟවුණ බර සහ බිය ගැන නිදහසේ සිතන්න. පිංවත මේ සටහන ලියන රාත්‍රියේ භික්ෂුව පරිහරණය කරන පාත්‍රයයි, තුන් සිවුරයි භික්ෂුව අසල නිසොල්මනේ තිබෙනවා. රූපය ගැන, විඳීම් ගැන, සංඥාවෝ ගැන, සංස්කාර, විඤ්ඤාණයෝ ගැන භික්ෂුවට කිසිම බරක් හෝ බියක් නැහැ. පිංවත තෘෂ්ණාවෙන් දුවන ලෝකය තුළ අපි දක්‍ෂවිය යුතුයි නැවතිලා සිටින්න. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් තොරව ලෝකය දකිද්දී, තෘෂ්ණාවෙන් සංකීර්ණ වූ පංච උපාදානස්කන්ධ බාහිර ලෝකය ඔබට පීඩාවක් හෝ වෙහෙසක් නැහැ. ලෝකය, ලෝකය සේ ම සංකීර්ණව තිබෙනවා. ලෝකයේ නිරෝධය, ඇවිලෙන ලෝකය තුළ නිවුණ පහනක් සේ ම, අවිද්‍යා ලෝකය තුළ කෙලෙස් දැල්ලෙන් නොව, නිවුණ අවබෝධ ඥානයෙන් ආලෝකමත්ව තිබෙනවා.
පිංවත අපි අධිකාමභෝගී ජීවිතවලට පුරුදු වුණොත් පංච නීවරණයෝ අපිව සිත් සේ ගිල ගන්නවා. කාමභෝගී ජීවිතයක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නම් මානසික ව්‍යාධියක්මයි. නමුත් පිංවත සමාජගත අධිකාමභෝගී ජීවිත තුළින් අපි දකින්නේ වර්ණය, සැපය, බලය හෙවත් පිනේ ඵලයයි. අතීත ප්‍රණීත, විසිතුරු, මහේශාක්‍ය සංස්කාරයන්ගේ පටිච්චසමුප්පන්න වර්තමාන තෑගිභෝගයි. පිනට දොස් කියන්න හොඳ නැහැ. පින ප්‍රතික්ෂේප කරන්නත් හොඳ නැහැ. අපි අනුනගේ පිනට චෝදනා කළොත්, අනුනගේ පින නිසා ම අපි පව් සිදුකොට ගන්නවා. පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය යටත් වෙන්නේ අවිද්‍යාවට පමණක්මයි. අවිද්‍යාව අපිට උගන්වන්නේ සැප තිබෙන්නේ තෘෂ්ණාව තුළ පමණක්මයි කියලා. පිංවත අපේ පංච නීවරණයන්ගේ සශ්‍රීකභාවය නිසා ම, අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තිබෙන්නේ අවිද්‍යාව නමැති සතුරා සමගයි. පිංවත ලෝකය කියලා කියන්නේ සැප, දුක් සහ උපේක්‍ෂා කියන අර්ථයයි. මේ අර්ථයන් තුන තුළ ම අවිද්‍යාවේ සතුරා ක්‍රියාත්මකවයි සිටින්නේ. පිංවත සම්මා සමාධිමත් සිතකින් තොරව අවිද්‍යාවේ සතුරු පාර්ශ්වයන් අපිට හඳුනා ගන්න බැහැ. අපේ අවිද්‍යාව තුළත් විඤ්ඤාණය නමැති වධකයා බැසගෙනයි තිබෙන්නේ. පිංවත අවිද්‍යාවෙන් පටිච්චසමුප්පන්න විඤ්ඤාණය පෝෂණය වෙද්දී, පෙරළා විඤ්ඤාණය අවිද්‍යාව පෝෂණය කරනවා. පිංවත ඔබ ඵස්සය ඉදිරියේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් නොසෙල්වෙන විදර්ශනාමය පවුරක් වෙන්න. එවිටයි තෘෂ්ණාවෙන් දුවන ලෝකය තුළ ඔබ මොහොතකට හෝ නැවතුණා වෙන්නේ.
පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් මොනවාට පෝෂණය වූ ශාසනයක්. මේ උතුම් ශාසන අර්ථයන් තුළ දුකට ඉඩක් නැහැ. පිනෙන් උපදින වර්ණය, සැපය, බලයට අයෝමය ඉඩකඩ වෙන් කරපු ශාසනයක්. ලෞකික සැපය නමැති කොළ, අතු, රිකිලි විනිවිද, විදර්ශනාවේ අරටුවට පාර කියන ශාසනයක්. පිංවත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය සත්ත්වයා මංමුළා කරන්නේ නැහැ. පිංවත බියකින් තොරව, සැකයකින් තොරව ශාසන අර්ථයන්ට එන්න. අද ගොඩාක් තරුණ දරුවෝ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි බිය ඇතිකොටගෙන තිබෙනවා. මේ ශාසනය අපායක් ගැන කියන ශාසනයක්. මේ ශාසනය දුගතියක් ගැන කියන ශාසනයක්. මේ ශාසනය මෛත්‍රියක් ගැන, සීලයක් ගැන, කර්මය කර්මඵලයක් ගැන කියන ශාසනයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනය සැපය ගැන නොව දුක ගැන කතා කරන ශාසනයක්. පිංවත් දරුවන් ඉහත අර්ථයන් වරදවා තේරුම්ගෙන බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් පැනවූ ශාසනය සැක කරන්න එපා. පිංවත් දරුවනි, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පමණක්මයි පටිච්චසමුප්පන්නව දුගතියට, සතර අපායට නොවැටී, ලෞකික සැප ලැබීමේ මාර්ගය කියලා දෙන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබට ලෞකික සැපයට මාර්ගය කියන්නේ, ඔබව සතර අපා දුකෙන් ආරක්‍ෂා කරලා. පිංවත ඔබේ සතුටට, ඔබේ විනෝදයට බුදුරජාණන් වහන්සේ සීමාවන් පනවන්නේ නැහැ. පිංවත ඔබ වර්ණය, සැපය, බලයට කැමති කෙනෙක් නම්, ඔබ ධනයෙන්, සැපසම්පත්වලින්, අධ්‍යාපනයෙන් ලෞකික ලෝකය දිනන්න කැමති කෙනෙක් නම්, ඊට ආරක්‍ෂාකාරී එකම මාර්ගය තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පැනවූ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ පමණක්මයි. පිංවත කරුණාකර මේ උතුම් ශාසන අර්ථයන් තුළට සැකයකින් තොරව එන්න. ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාව තුළ හිඳිමින්, නිලයෙන්, ධනයෙන්, බලයෙන්, උගත්කමෙන් ලෞකික ජීවිතය ආරක්‍ෂාකාරීව ජයගන්න. පිංවත දුර්වල සීලයෙන් අනාරක්‍ෂිතව ලෞකික ජීවිතයේ සැප සොයන්න යන්න එපා. පිංවත ලෝභ, ද්වේශ, මෝහ අකුසල් දුර්ගන්ධයෙන් අනාරක්‍ෂිතව ලෞකික ජීවිතයේ සැප සොයන්න යන්න එපා. පිංවත වර්තමාන සමාජය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට අකීකරු ගමනක් යන්නේ. පිංවත සිල්පද දුර්වලකොටගෙන සැපය, විනෝදය, සතුට සොයනවා. ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝ වඩමින් සැප සොයනවා. පිංවත දුශ්ශීලභාවය සහ අකුසල් මූලයෝ අපිට කෙසේ නම් සැප දෙන්න ද?
පිංවත අවිද්‍යාවෙන් උපන්, ආහාරයෙන් යැපෙන මස් ඇසෙන්, මස් කනෙන් ලෝකය දකින්න, ලෝකය අහන්න එපා. රූපය අයිති අවිද්‍යාවට; රූපය අයිති ජරා, ව්‍යාධි, මරණයන්ට. අපි කවදාක හරි ලෝකය නිවැරදිව දකින්න ඕනේ, අපි ම පුහුණුකොට ගත්තා වූ පූර්වේනිවාසානුස්සති ඥානයෙන්, චුතූපපාත ඥානයෙන්. සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක සක්සුදක් සේ අපේ අවබෝධ ඥානයන්ට දර්ශනයකොට පෙන්වන ඉහත ලෞකික ඥානයන්ගෙන් තොරව අපි කෙසේ නම් සංසාර දුකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ද? පිංවත ඉහත ඥානයන් අපිට නැති නිසා ම කරුණාකර, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්මරත්නයට කීකරු වෙන්න. සද්ධර්මයේ අර්ථයන් තුළින් සංසාර බිය තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට එපා කියලා කියපු දේවල් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාමයන් මිරිඟුවක් සේ ම දකින්න කියලා. රූපය ජරා, ව්‍යාධි, මරණයන් සේ ම දකින්න කියලා. කාමයේ කෙටි ආස්වාදය ඉදිරියේ, රූපයේ කෙටි ආස්වාදය ඉදිරියේ අපේ වේගවත්භාවය අපිටත්, සමාජයටත් අනතුරක්මයි. පිංවත සතර අපායට නොවැටී, අකුසලයේ වහලෙක් නොවී, කාමයන් අත්විඳින්න සහ රූපයෙන් සතුටු වෙන්න අවශ්‍ය නම්, ඊට මඟ පෙන්වන එක ම ආරක්‍ෂාකාරී දහම, කර්මය කර්මඵල විශ්වාසයෙන් ඔබව අවදිකරන, මෛත්‍රියෙන්, සීලයෙන් ඔබව අවදිකරන, පටිච්චසමුප්පන්න නැවත උපත ගැන සිහිනුවණ ඇතිකොටදෙන මේ උතුම් සම්මා සම්බුදු දහමයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2024 ජූනි 30 ඉරුදින දිවයින පුවත්පත.