පිංවත නිවී ගිය සිතක් තමා තුළින් ම තමා දන්නවා, තමන් නිවී ගිහින්ය කියලා. පිංවත නොනිවී ගිය සිතක් තමා තමාට ම ඉඟි කරනවා, තමා තුළ තවත් නොනිවී ගිය කෙලෙස් ගිනි රොඩු තිබෙනවාය කියලා. පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් උපන් නිවැරදි විදර්ශනාත්මක සති සම්බොජ්ඣංගය අපි තුළ වැඩෙන විදර්ශනාත්මක ධර්මයේ අර්ථයන් නිවැරදිව, දශමයට, කිරා මැන දෙනවා. පිංවත මිච්ඡා සතිය තුළ අනවබෝධය හොරට කිරන කළු කඩ තරාදි තිබුණත්, විදර්ශනාත්මක සම්මා සතිය තුළ, අපි අපි ගැන ම හොරට කිරන, හොරට මනින කළු කඩ තරාදි නැහැ. පිංවත විදර්ශනාත්මක සම්මා සතිය තුළ ආර්ය ශ්‍රද්ධාව, ආර්ය සීලය සහ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම අවබෝධාත්මකව හොර සහ බොරු නැති ඔබේ ආරක්‍ෂකයා වෙනවා. පිංවත අවිද්‍යාවෙන් මොනවට ගොරහැඬි ලෝකය කළු සහ සුදු දෙපාටින් ම යුක්තයි. කුසල් සහ අකුසල් සංස්කාරයෝ ලෝකය කළු සහ සුදෙන් වර්ණ ගන්වද්දී, අපිට ලෝකය සතුටින් පිළිගන්නත් බැහැ, අපිට ලෝකය දුකෙන් බැහැර කරන්නත් බැහැ. මේ ක්‍රියාන්විතය සංස්කාර ලෝකයේ ජන්ම ගතියයි. පිංවත අවිද්‍යාවේ ගුරුවරු අපිට ඉගැන්වූ ජන්ම ගතිවලින් ඈත් වෙන්න. සුදු සහ කළු සංස්කාර ලෝකය තුළ, සුදු විතරක් සොයන්න එපා. සුදු සහ කළු සංස්කාර ලෝකය විනිවිද, අවිද්‍යාව ම ඉලක්කකොට ගන්න. පිංවත ඵලය ලෝකයට භාර දී, හේතුව ඔබේ ලෝකයෙන් නිදහස් කොටගන්න.
පිංවත ලෝකය තිබෙන්නේ තැවරෙන්න නොවේ, ලෝකය තිබෙන්නේ විඳින්නත් නොවේ. ලෝකය තිබෙන්නේ අවබෝධයෙන් නිදහස් වෙන්න. ලෝකය කෙරෙහි අවබෝධයෙන් නිදහස් වෙන්න නම්, ලෝකය කෙරෙහි කළකිරීම ඇතිකොට ගන්න ඕනේ. පිංවත අපි ලෝකය ගැන කළකිරෙන්න නම්, අපි ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නට ඕනේ. ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න නම්, පංච නීවරණයෝ යටපත් වූ සම්මා සමාධිමත් සිතක් අපිට තිබෙන්නට ඕනේ. පිංවත අධර්මයෝ අධර්මයන්මයි පෝෂණයකොට දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. සමාජයේ ඉහළින් අධර්මයෝ දෝරේ ගලා එද්දී, සමාජයේ එක ම ඉතිරිය බවට පත්වෙලා තිබෙන්නේ අධර්මයෝ හෙවත් පංච නීවරණ ධර්මයෝමයි. පිංවත චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය වන අවිද්‍යාවට සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය නොහඳුනන අවිද්‍යාවට චෝදනා කරලා, විවේචනය කරලා තේරුමක් නැහැ. සමාජගතවෙන අධි ඇලීම් සහ ගැටීම් පෙරළා අවිද්‍යාවමයි පෝෂණය කරන්නේ. පිංවත ජාතියක් හැටියට ආවේගශීලීභාවයෙන් ඇලීම්, ගැටීම් මුල්කොටගෙන ප්‍රශ්න විසඳා ගන්න ගිහිල්ලා වර්තමානය පංච නීවරණයෝ ම රජකරන ජාතියක් බවට අපි පත්වෙලා තිබෙනවා. පිංවත පංච නීවරණයන්ට පුළුවන් අවිද්‍යාව පෝෂණය කොටදීමට පමණයි. පංච නීවරණයන්ට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙලහීන කිරීම පමණක්මයි. මේ ක්‍රියාන්විතය සීමාවන් ඉක්මවා සමාජගත වෙමින් පවතිනවා. පිංවත විනයෙන් තොරව සම්මා සම්බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ වගේ ම, විනයෙන් තොරව ජාතියකට පවතින්නත් බැහැ. පිංවත කාය කර්මයන්ට වඩා, වචී කර්මයන්ට වඩා මනෝ කර්මයන් හරි ම බලවත් බව අපි තේරුම් ගන්න ඕනේ. මනෝ කර්ම යැයි කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්මයි. පිංවත බලය කෙරෙහි තෘෂ්ණාවේ මාරාවේශයෙන් සමාජගතවෙන, ඉදිරි මැතිවරණයන් හේතුවෙන් සමාජගතවෙන අධි අකුසල් මූලයෝ අනාගත ජාතියේ ඉරණම විනාශයෙන් විනාශය කරා අරගෙන යන්න පුළුවන් බව ධර්මානුකූලව සටහන් තබන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, රටක නායකයින් ධර්මිෂ්ඨ වෙන්න කියලා. නායකයින් ජනතාවගේ ධර්මිෂ්ඨභාවය උදුරා ගන්නන් නොව, ජනතාවට මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ ශක්තිය පූර්වාදර්ශීව කියලා දෙන සත්පුරුෂයින් වෙන්නය කියලා.
පිංවත නායකයින් ජනතාවට විසිහතර පැයේ ම පංච නීවරණයෝ උගන්වද්දි, ජනතාව සිත් සේ පංච නීවරණයෝ ඉගෙන ගන්නවා. බලයට කැමති කෙනා බලයෙන් මත් වෙද්දී, ධනයට කැමති කෙනා ධනයෙන් මත් වෙනවා. නිලතලවලට කැමති කෙනා නිලයෙන් මත් වෙනවා. ඔය කාරණා තුන ම නැති කෙනා කාමයන්ගෙන් සහ රූපයෙන් මත් වෙනවා. පිංවත කාමයෙන් සහ රූපයෙන් මත්වීම වර්තමානයේ සමාජගත වසංගතයක් බවට ම පත්වෙලා. වර්තමානයේ සෙලියුලර් දුරකථනය කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය තුට්ටුවකටවත් මායිම් නොකොට අහිංසක ලොකු, කුඩා ජනතාව කාමයේ කෙටි ආස්වාදයෙන් මත්කොට තිබෙනවා. වර්තමානයේ හුඟ දෙනෙක් මහ පාරේ, පදික වේදිකාවේ ගමන් කරන්නේත්, කහ ඉර පනින්නේත් දුරකථනය කනේ තියාගෙන. මහ පාර ගැන මෙලෝ සිහියක් නැතිව දුරකථනය කනේ තබාගෙන මහ පාරේ ගමන් කරන පිරිස දවසින් දවස වැඩි වෙනවා. පිංවත ජනතාවගේ පින නිසා ම, සමාජගතවෙන තාක්‍ෂණය රටේ සංවර්ධනය, අධ්‍යාපනය, රටේ සදාචාරය උදෙසා වියයුතුයි. සමාජගතවෙන නවීන තාක්‍ෂණය රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදය උදෙසා අපි යොමු කළොත්, පිනෙන් උපදින තාක්‍ෂණය ජනතාවගේ පිනේ ගින්දරක් බවට ම පත්වෙනවා. පිංවත භික්ෂුව ඉහත කාරණාවන් ඔබට සටහන් තබන්නේ පූර්වාදර්ශීවයි. පිංවත් ඔබ විශ්වාස කරයි ද දන්නේ නැහැ, මෙය සටහන් තබන භික්ෂුව වසර හතළිස් හතරක ගිහි ජීවිතයේදීත්, වසර දහසයක පැවිදි ජීවිතයේදීත් එක ම දවසකවත් පෞද්ගලිකව සෙලියුලර් දුරකථනයක් පාවිච්චි කරලා නැහැ. මේ කාරණය ගැන සිතත්දීම භික්ෂුවගේ සිත සමාධිමත්භාවයට පත්වෙනවා. පිංවත ප්‍රශ්නය තිබෙන්නේ ප්ලාස්ටික් ගොඩක්, යකඩ ගොඩක් වන සෙලියුලර් දුරකථනය තුළ නොවේ, ලෝකය කෙරෙහි අපි තුළ ඇති ඡන්දරාගය තුළමයි. දුකට දරදිය අදින තෘෂ්ණාව තුළමයි. පිංවත දැන් වෙලාව පාන්දර හතරට පමණ ඇති. පරිසරය චංචල කරන මහා සුළඟක් සමග මහා වැස්සක් වහිනවා. සත්‍යකින් ම මේ වැස්ස සහ සුළඟ මහා විකෘති වැස්සක්, සුළඟක්. මේ වැස්සේ සහ සුළඟේ ස්වාභාවික ගතියක් නැහැ. පිංවත මනුෂ්‍ය ජීවිතවල ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝ බුර බුරා වැඩිවෙනකොට පරිසරයට, පරිසරයේ ජීවත්වෙන දෙවියන්, අමනුෂ්‍යයින්ට මනුෂ්‍ය අපේ මේ වියරු ධර්මයෝ බලපානවා. අතීතයේ අපේ රටේ මොනතරම් නම් මහා සංඝරත්නය දේශනා කළ සර්වරාත්‍රික පිරිත් දේශනාවන් තිබුණා ද? වසරක් ගෙවී යනකොට, අලුත් අවුරුද්දක් ලබනකොට, අලුත් ගෙදරකට ගෙවදිනකොට, සුබ කටයුත්තක් ආරම්භවෙනකොට අපේ ජාතියේ ජීවිතවලට බැඳිලා තිබුණ මහා සංඝරත්නය දේශනා කළ සර්වරාත්‍රික පිරිත් දේශනාවන් දැන් හොඳටෝම අඩුවෙලා. උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න මහා සංඝරත්නයේ ගුණයන් තුළින් පරිසරයට මුදාහළ ඒ උතුම් සම්බුදු වදන් දැන් පරිසරයට ඇසෙන්නේ නැහැ. මහා සංඝරත්නයේ නිවුණ, දැමුණ සාමීචිපටිපන්න ගුණයේ හඬ පරිසරයට, පරිසරයේ දෙවියන්, අමනුෂයින්ට දැන් ඇසෙන්නේ නැහැ. ගමක්, නගරයක් ගානේ දැන් අපිට ඇසුණත් ඇසෙන්නේ පිංවත් ගිහි පිංවතුන්ලාගේ ගිහි පිරිත් හඬයි. පිංවත සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගෙන් පෝෂණය වූ, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අට දෙනාගෙන් කෙනෙකුවූ, සත්පුරුෂ දෙවියන්, බ්‍රහ්මයින්ගේ වැඳුම් පිදුම් ලබන්නාවූ මේ ලෝක ධාතුවේ පුණ්‍ය කෙත බවට පත්වූ මහා සංඝරත්නයේ උතුම් ගුණයනුත්, එම ගුණයන්ගෙන් පෝෂණය වූ උන්වහන්සේලාගේ ආධ්‍යාත්මයෙන් නික්මෙන පිරිත් හඬත්, පිංවත් ගිහි පිංවතුන්ලාගේ ආධ්‍යාත්මයෙන් නික්මෙන පිරිත් හඬත් අතර ගුණාත්මක වෙනස මෙය සටහන් තබන භික්ෂුව සමග අමනාප නොවී, ධර්මානුකූලව අපි තේරුම් ගන්න ඕනේ. ඉහත අර්ථයේ වරදක් දකිනවා නම්, භික්ෂුවට සමාවෙන්න ඕනේ. පිංවත මහා සංඝරත්නයේ ගුණාත්මකභාවයත්, ගිහි පිංවතුන්ලාගේ ගුණාත්මකභාවයත් ධර්මානුකූලව අහසයි, පොළොවයි වගෙයි. පිංවත අපි දැන් අහසින් පොළොවට වැටිලා. අපි අහස දෙස බලාගෙන වර්තමානයේ හූල්ලනවා, ගංවතුර ගලන්න එපා, වහින්න එපා, ගස් කඩා වැටෙන සුළි සුළං එන්න එපා, වියළි ඉඩෝරයන් එන්න එපාය කියලා. පිංවත ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් දෝරේ ගලන තෘෂ්ණාවේ මාරාවේශයන් නිසා ම, ආධ්‍යාත්මික සැනසිල්ල නොතකා ලෞකික සැපයන්ට ගිජුවීමෙන්, අහසින් පොළොවට වැටුණ අපිට, සමාජගත තෘෂ්ණාවේ මාරාවේශයන් ධර්මානුකූලව අවමකොට නොගත්තොත්, අවසානයේ අපිට වැටෙන්න ඇත්තේ සතර අපායට නේද කියලා අප්‍රමාදීව අපි තේරුම්ගත යුතුව තිබෙනවා.
පිංවත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකයට යටත් වෙන්න හෝ පරාජය වෙන්න එපා. පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ අමු ම අමු අවිද්‍යාවටයි. පංච උපාදානස්කන්ධ ලෝකය තුළට කොතනින් එබී බැලුවත් එහි තිබෙන්නේ පංච නීවරණයෝ සහ සප්ත බොජ්ඣංගයෝමයි. විදර්ශනාමය සප්ත බොජ්ඣංගයෝ පංච උපාදානස්කන්ධ ලෝකය මුල් වතාවට, නැවත පරාජය නොවන සේ ආක්‍රමණය කරන්නේ, උතුම් සෝවාන්ඵල අවබෝධයේදියි. එතෙක් ලෞකික සප්ත බොජ්ඣංගයෝ වේදනාවේ ආස්වාදයක් බවටමයි පත්වෙන්නේ. පිංවත විදර්ශනාවේ රුව, ගුණ නැති ලෞකික සප්ත බොජ්ඣංගයෝ අපිව රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන දක්වා ඔසවා තැබුවත්, අවිද්‍යාව එහි තැවරී තිබෙන්නේ වේදනාවේ ආස්වාදයෙන් විදර්ශනාවේ ඇස් අන්ධ කරලාමයි. පිංවත පංච නීවරණ යටපත්වූ සමාධිය වේදනාවේ ආස්වාදයක් වුවත්, ඔබේ සමාධිය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණයකොට ගත්තොත්, ඔබට පුළුවන් ඔබේ සමාධිය විදර්ශනාමය අවබෝධයන්ට පාවඩයක් කොටගන්න. සංසාර දුර, සංසාර ගැඹුර, සංසාර දුකේ ‘අ’, ‘ආ’ යන්න අපිට කියලා දෙන චුතූපපාත ඥාන, පුබ්බේනිවාසානුස්සති ඥානයන්ට සුන්දර මව්බිමක්කොට ගන්න. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, ස්වාමීන් වහන්ස, ගිහි බැඳීම් තුළ ජීවත්වන අපිට සම්මා සමාධිමත් සිතක් ඇතිකොට ගන්න බැහැ නේද කියලා. පිංවත ඉහත අදහස ධර්මානුකූල නැහැ. අතීතයේ ජීවත්වුණ සෝවාන්ඵල අවබෝධය සහ සකෘදාගාමීඵල අවබෝධයන් ලැබූ ගිහි උපාසක, උපාසිකාවන් ඉහත අවබෝධයන් සාක්ෂාත්කොට ගත්තේ, තම ගිහි බැඳීම් ධර්මානුකූලව ඉටුකරමින්මයි. ඉහත ගිහි පිංවතුන් සම්මා සමාධිමත් සිත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය දැකීමට අදාළව, ඥාන දර්ශනයන් දක්වාත් පුහුණු කළා. අපි මේ කතා කරන්නේ ධ්‍යානගත සමාධියක් ගැන නොවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග හතෙන් පෝෂණය වූ සම්මා සමාධිය ගැනයි.
පිංවත මේ ජීවිතයෙන් ලෝකයට සමුදෙන්න. තෘෂ්ණාව ලෝකය තුළ තිබුණ දෙන්. ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ ලෝකය තුළ තිබුණ දෙන්. ඔබේ ආධ්‍යාත්මික සතර මහා ධාතුව, බාහිර සතර මහා ධාතුවට ම මුහුකරලා, ඔබ පටිච්චසමුප්පාද ලෝකයෙන් අවබෝධාත්මක කළකිරීමෙන් සමුගන්න. ඔබත්, ලෝකයත් යනු දෙකක් නොවේ, අවිද්‍යාව කියන එකම අර්ථයයි. පිංවත ලෝකය සමුදෙනකම්, ලෝකයෙන් සමුගන්න බලාපොරොත්තු වෙන්න එපා. ලෝකය ඔබට සමුදෙන්නේ පටිච්චසමුප්පන්නව නැවත හමුවෙන බලාපොරොත්තුවෙන්මයි. පිංවත මාරයාගේ ලෝකයේ කාමයෝ, රූපයෝ, වේදනාවෝ සිඟන අපිට හැමදාමත් උණු, උණු බත් කන්න ලැබෙන්නේ නැහැ. අපේ ම අතීත සංස්කාරයෝමයි වර්තමානයේ අපිට සිඟමන් වගේ ම සෞභාග්‍යයත් ලබා දෙන්නේ.
පිංවත මාරයාගේ ලෝකයේ ආස්වාදයේ සිඟමන් යැදීම ගැන සටහන් තබද්දී, අපි ජීවත්වෙන සමාජයෙන් සිඟමන් යදින යාචක පිංවතුන්ලාගේ ගහණය ගොඩාක් වැඩිවෙලා. හන්දියක් ගානේ, මාර්ග සංඥා පුවරුවක් ගානේ සිඟමන් යදින වයස් භේදයකින් තොර යාචක පිංවතුන් අපිට අලුත් පාඩමක් කියලා දෙනවා. රටක පිංවත් නායකයෝ තම ජනතාවට ජාතික නිෂ්පාදනය අමතකකොට ලෝකයාගෙන් ණයට කන්න පුහුණු කරන සංස්කෘතියක් බිහිකරද්දී, අහිංසක නැතිබැරි ජනතාව මහන්සි වී හම්බකිරීම අමතකකොට, ලජ්ජාවෙන්, බියෙන් තොරව සිඟමන් යැදීමට මහ පාරට එනවා. අපේ ම පිංවත් නායකයෝ සිඟමන් යැදීම නම්බුකාර රැකියාවක් බවට පත්කරලා. සමහර යාචක පිංවතුන් දැන් ඉංග්‍රීසියෙන් සිඟමන් ඉල්ලන්නේ. පිංවත මේ සිඟමන් යදින ණයකාර ඛේදවාචකයේ අවසානය කුමක් වේවි ද? පිංවත වර්තමානයේ රටට ජනතාවට ආදරය කරන සත්පුරුෂ නායකයෝ දුර්ලභයි. උපක්‍රමශීලි ජාත්‍යන්තරයේ ණය නමැති ඇම ඉදිරියේ අපේ නායකයෝ ජාති අන්ධයින් වෙලා. ඉහත ණය කොන්දේසි හේතුවෙන් බදු බර වැඩිවෙද්දී, භාණ්ඩ සහ සේවාවන්ගේ මිල අධික වෙද්දී, ජාතික නිෂ්පාදනය අමතකකොට, ආනයනයන් දිරිමත් කරද්දී, සමාජය තුළ ඇතිවෙන ජනතා පීඩනය, විරෝධය හරහා රට තුළ ආර්ථික, ආරක්‍ෂක අස්ථාවරභාවයන් ඇතිකොට, ජාතියේ නිදහසට බලපෑම් ඇතිකොට ජාත්‍යන්තරයට යටත්කොට ගැනීමේ අවාසනාවන්ත අනාගතයක් කරා මේ ණයකාර මානසිකත්වය ජාතිය මෙහෙයවනවාදෝ දැයි පිංවත් ජනතාව සිහිනුවණින් සිතා බලා තීරණ තීන්දු ගතයුතුව තිබෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.