ප්‍රශ්නය :-
ගෞරවණීය ස්වාමින්වහන්ස, වෙනත් ග්‍රහලෝකවල ජීවින් සිටින බවට සාක්ෂි තිබෙනවාද, ඒක සත්‍යයක්ද, ඒවගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද, මේ ග්‍රහලෝකවල ජීවත්වෙනවායයි කියන ජීවින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද….?
පිළිතුර :-
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවින් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ. දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණුකොට, වෙනයම් තියෙන්නාවූ ග්‍රහලෝක හරි, කොහේ හරි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය ඉන්නවද කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් මේ මනුෂ්‍ය ලෝකය වගේම අප්‍රමාණ මනුෂ්‍ය ප්‍රජාවන් ඉන්න ලෝකයන් තව තියෙනවා. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. තේරුණාද..? නමුත් දැන් අපි දන්නා ස්වාමින්වන්සේ නමක්, උන්වහන්සේ උතුම් සමාධියකින් පසුවෙලා ඉන්නකොට, වෙනින් මනුෂ්‍යයෝ ජීවත්වෙන ග්‍රහලෝකයක් අරමුණු වෙලා තියෙනවා. උන්වහන්සේ දකින හැටියට, ඒ ග්‍රහලෝකය, සම්පුර්ණයෙන්ම කෘත්‍රිමව හදපු ලෝකයක්, කෘත්‍රිම පරිසරයක් එතන තියෙන්නේ. මේ ගහකොළ වැල්, ගෙඩි ඒවා මොනවත් ඒකේ නැහැ. කෘත්‍රිමව හැදුවාවූ, ඉතාමත් දියුණු තාක්ෂණයක් තියෙන්නාවූ පරිසරයක් ඒක.
ඒ ස්වාමින් වහන්සේ දකිනවා, එතන විශාල පාරක්, මාර්ගයක් තව තැනක ළමයින් සෙල්ලම් කරන උද්‍යානයක්. තේරුණාද..? ඒ පාර හරියට මේ, අලුතින් හදලා තියෙන හයිවේ පාරවල් තියෙන්නේ, ඒ වගේ ඉතාමත් දියුණු තාක්ෂණයක් තුළ හදපු නවීන මාර්ගයක් ඒක. එතන සෙල්ලම් කරන්න ඇවිල්ලා, ළමයින් විසි දෙනෙකුගේ විතර කණ්ඩායමක් ඉඳලා තියෙනවා. ඒ ළමයි විසිදෙනාම අඩි දෙක-හමාරක් තරම්වත් උස නැහැ. ඒ සියළුම ළමයින් විසිගාණම ඇඳලා තියෙන්නේ එකම යුනිෆෝම් එකක් වගේ, ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෝ වගේ පිරිසක්, වැඩිහිටියොත් ඉඳලා තියෙනවා. ඒ වැඩිහිටියොත් අඩි හතරකට වඩා උසවෙලා නැහැ. ඒගොල්ලො එතන සෙල්ලම් කරනකොට, එක යානයක් ඇවිල්ල තියෙනවා. ඒ යානය ඔය වෙසක් කාලයට හදන බක්කි කූඩු වගේ හතරැස් කූඩු තියෙන්නේ, ඒ කූඩුවක් වගේ එකක්. ඒ යානයෙන් තව ළමයින් පිරිසක් බහිනවා, අර ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. කෘත්‍රිමව හැදුවාවූ නගරයක් ඒක. කිසිම ගහක් කොලක්, කිසිම දෙයක් නැහැ, ගලක් වැලිකැටයක්වත් පේන්න නැහැ. තනිකර කෘත්‍රිමව හැදුවාවූ දෙයක්, කෘත්‍රිමව හැදුවාවූ නගරයක් ඒක.
එතකොට එහෙම නම් මේ ලෝකයේ අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවන් සිටිනවා. තාක්ෂණය අතින් දියුණු අය. නමුත් ඒ වෙලාවේ නෝනා, එතැන එක උස මහත්තයෙක් ඉඳලා තියෙනවා, අඩි හතරක් විතර උස. ඒ මහත්තයා පැළඳගෙන ඉඳලා තියෙන්නේ, යුරෝපීය ඇඳුමක්. යුරෝපිය ඇඳුම තියෙන්නේ දිග කලිසම, කෝට් එක දාලා – ඒ යුරෝපිය ඇඳුමක් තමා එයා පැළඳගෙන ඉඳලා තියෙන්නේ. මේ කියනදේ, කෙනෙක් දැඩි විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ගන්න කෙනෙකුට මෙතන ගන්න දේකුත් තියෙනවා. එහෙනම් අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවක් ලෝකයේ ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලත් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටත් සත්ත්වයින්. දැන් අපි කියමු, ඔය නාසා ආයතනය වගේ ආයතන තියෙනවනේ. ඒවයේ ඉන්න මහත්වරු, මුළු ජීවිතයේම උපාදාන කරගෙන ඉන්නේ මොනවද..? ඔය ග්‍රහලෝක, වෙනත් ලෝක, ඉරහඳ-තාරකා, ඕවා තමයි උපාදාන කරගෙන ඉන්නේ. ඒගොල්ලන් මුළු ජීවිතයේම පරීක්ෂණ පවත්වන්නේ, ග්‍රහලෝක, වෙනත් මනුෂ්‍යයින් ගැනම තමයි. මේගොල්ලෝ මැරෙන වෙලාවේදී, මෙවැනි උපාදානයක් සකස් වුනොත් මේගොල්ලෝ ගිහිල්ලා, කුරුමිට්ටෝ වෙලා, ඒ ග්‍රහලෝකවල ඉපදෙනවා. එහෙම තමයි ඒ ලෝකස්වභාවය. පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් මේ යන්නේ.
එතකොට ඒ ග්‍රහලෝකවල ඉන්න අය, මේ ග්‍රහලෝකය ගැන හිතලා, ඒගොල්ලොත් මේවා ගැන පරීක්ෂණ පවත්වමින් ඉන්නවා නම්, මැරෙන වෙලාවට, ඒවා ඒ අයට උපාදානය වුනොත්, ඒ ගොල්ලොත්, මෙහෙ ඇවිල්ලා ඉපදිලා ඉන්න පුළුවන්, ඉපදෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ කොහේ මනුෂ්‍යයෙක් ජීවත් වුනත්, ඒ සෑම මනුෂ්‍යයෙක්ම මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට යටත්වයි ජීවත් වෙන්නේ. ඒ නිසා, ලෝකයේ කොතැනකවත් වෙනත් මනුෂ්‍යවාසයක්, වාසස්ථාන නැහැ කියලා, ධර්මානුකූලව අපට කියන්ට බැහැ. අර ස්වාමීන්වහන්සේ දැක්ක උදාහරණයක් තමයි, මම මේකට යම් ශක්තියක් ගන්න මතක් කළේ. ඒ නිසා ‘එවැනි අයගෙන් අපට බලපෑම් එන්න බැහැ’ කියලා කියන්න අපට බැහැ. මොකද, ඒ ගොල්ලෝ අපට වඩා තාක්ෂණයෙන් දියුණු, අපිට වඩා දියුණු ජාතියක්. අපේ කොතැනකවත් එවැනි නගරයක් නැහැ. කොළ කෑල්ලක් වැටිලා නැති, වැලිකැටයක් ගල්කැටයක් බිම වැටිලා නැති තැනක් නැහැ. ඒවා නිකම් මැදපු දේවල් වගේ, ඉතාමත් පිරිසිදුව, ඉතාමත් දියුණු තාක්ෂණයෙන් යුතු දේවල්. ඒගොල්ලන්ගෙන් අපට බලපෑමක් නොවෙයි කියලා, අපිට කියන්න බැහැ, ඒක අපි දන්නේ නැහැ.
නමුත් එවැනි දේවල් ලෝකය තුළ තියෙනවා නෝනා. ධර්මයට කොතකවත් ඒවා එරෙහි නැහැ. බුදුරජාණන් වහන්සේ සහස්සී දසසහස්සී ලෝක ධාතූන් ගැන අපට කියල තියෙනවා. නමුත් ඒගොල්ලො තෙරුවන් සරණ ගිය අය නම් නෙවෙයි. ඒගොල්ලො මිථ්‍යාදෘෂ්ඨික භාවයන් තුළ ජීවත්වන අය…!!!
තෙරුවන් සරණයි ….!!!
උපුටා ගැනීම :- සිරස ගුවන් විදුලියේ ප‍්‍රචාරය වූ ‘‘පන්සිල් මළුව’’ වැඩ සටහනේ දී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප‍්‍රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම්, අන්තර්ජාලයෙන් උපුටාගෙන හසිත චන්දන වීරසිංහ මහතා විසින් සකස් කළ “පන්සිල් මළුව ධර්ම සාකච්ඡා 01” නම් දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා පිළිගන්වමු…!
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…