සමජයෙන් ලැබෙන චෝදනා, අපහාස හමුවේ නොසැලී සිටීමට නම්.

ඒක මිදෙන්න නම් දරුවෝ තමන් කවදා හරි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න ඕනේ. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට ආපු කෙනා ජීවිතය ධර්මානුකූලවයි ගලපා ගන්නේ. ඔබලා කිසිම කෙනෙකුට ඔබලාට නොලැබෙන්න තියෙන දෙයක් ලැබිලත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් නොලැබිලත් නැහැ. ඔබලාට ලැබුණේ ඔබලා කර ගත්තා වූ දේයි. එතකොට මේ ඔබලා කරගත්තා වූ දේ නම් ඔබලාට ලැබුණදේට ඔබලා ගැටිල වැඩක් නැහැ. මේ මොහොතේ ඔබ කඳුලක් හෙලනව නම් දරුවෝ ඔබ ඒ කඳුළ හෙලන්නේ ඔබ මේ සංසාරෙ කාට හරි කඳුලක් දීල තියෙන හින්දයි. ඔබ මේ මොහොතේ හිනාවෙනවා නම් ඔබ හිනාවෙන්නේ සංසාරේ කාවහරි හිනස්සලා තියෙනවා. හේතුඵල ධර්මයක්. එහෙමනම් ඔබ කඳුලක් එන වෙලාවෙ කඳුලට ගැටෙනවා නම්, සිනහවක් එන වෙලාවෙ සිනහවට ඇලෙනවා නම් ඒකෙ තේරුමක් නැහැ. ඒ දෙකම ඔබ කරගත්තා වූ දෙයක්මයි.

ඔබේ බිරිඳ ඔබට අකීකරු නම් එය ධර්මානුකූලව ගලපාගන්නේ කොහොමද? මම ගිය ජීවිතයේ මගේ බිරිඳට අකීකරු වෙලා ඉන්න ඇති. ඔබේ දරුවා ඔබට අකීකරු නම් ඔබ හිතනවා මං පුංචි කාලේ මගේ තාත්තාට අකීකරු වෙලා ඉන්න ඇති. හේතුඵල ධර්මයන් අනුව ගලපනවා. එතකොට මෙහෙම ගලපද්දී මෙයා දකිනවා මම මේ විඳින්නා වූ මානසික පීඩාව මම විසින් කර ගත්තා වූ දෙයක් කියලා. කවුරුත් කරපු දෙයක් නෙමේ. මම විසින් කර ගත්තා වූ දේට මම ගැටිලා වැඩක් නැහැ. මම විසින්ම කරගත්තා වූ දේට මම ඇලිලා වැඩක් නැහැ. මම මෙතන ඉන්නේ මම කරගත්තා වූ දේ නිසා. ඔබලා ඔතන ඉන්නේ ඔබලා කරගත්තා වූ දේ නිසා. ඒ නිසා ධර්මානුකූලව ජීවිතය ගලපනකොට එයා ගැටෙන්නේ නැහැ.
එයා ඉස්සරහට ඇවිල්ලා කව්රුහරි බනිනකොට එයා හිතන්නේ අනේ මමත් කාටහරි බැනලා ඇති. කවුරුහරි චෝදනා කරනකොට එයා හිතන්නේ අනේ කාටහරි මමත් චෝදනා කරලා ඇති. අන්න හේතුඵල ධර්මයන් අනුව ගලපලා එයා අයින් වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා කියලා. ආයෙමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත කියන්නේ, පංචුපාදානස්කන්ධය කියන්නේ මාරයා කියලා. එහෙමනම් අපි දැනගන්නවා අපේ ඉස්සරහට එන මොන රූපයත් මාරයා හැටියට දකින්න.

එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදරකට ආවා ටිකට් පොතක් විකුණන්න. රු. 25/= ටිකට් එකක්. මේ ළමා නිවාසයකට ආධාර පිණිස. එතකොට ඒ ගෙදර මහත්තයා මොකද කරල තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට බැනල එළවගෙන. මේවා විනයට අදාළ නැහැ කියලා.
ඇත්තටම මුදල් පරිහරණය කරන්න බැහැ ස්වාමීන් වහන්සේ කෙනෙකුට, උපසම්පදා භික්ෂුවකට. ඒක තමයි විනය නීතිය. නමුත් අර මහත්මයා ස්වාමීන් වහන්සේට බැනල එළවගෙන එතනින් නැවතුනේ නැහැ. මටත් ඇවිල්ලා දවසක් කිව්වා. දකින දකින කෙනාට මේක කියනවා. දැන් මේ මොකක්ද මෙයා කර ගන්නේ අකුසලයක්. නමුත් අර ස්වාමීන් වහන්සේ ගෙදරට ආපු වෙලාවේ හාමුදුරුවනේ මට නම් ටිකට් එකක් ගන්න බැහැ. කරණාකරලා යන්න කිව්ව නම් ප්‍රශ්නය ඉවරයි නේද? නැත්නම් මගේ ළඟ තියෙන්නෙ රුපියල් 10 නම් මේ රුපියල් 10 ආධාරයට තියාගන්න කියල දුන්න නම් ප්‍රශ්නය ඉවරයි නේද? මුදල් නෑ කියල කිව්ව නම් ප්‍රශ්නය ඉවරයි නේද? ඇයි ප්‍රශ්නයක් මතුකර ගත්තෙ?

රූපය මාරයා විදිහට දැක්කේ නැහැ. ඒ ආවේ මාරයා කියලා දැක්කේ නැහැ. ඒ නිසා එයා අකුසලයක් කරා ගියා.

දැන් මට මදුරුවෙක් වහලා මෙතන කනවා. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මාරයා කියලා. නමුත් මම මේ මදුරුවා මාරයා හැටියට දකින්නේ නැහැ. මම මදුරුවාට ගහන මොහොතේම මම අකුසලයක් කර ගත්තා. මම මේ මදුරුවා මාරයා විදිහට දැක්ක නම් මේ ආවේ මට අකුසලයක් කර ගන්න කියලා දැක්ක නම් මම මේ මදුරුවාව එළෙව්ව නම් අකුසලයක් සිදු වෙනවද? නැහැ. එහෙමනම් තමන්ට අනුන් නිසා හිත් වේදනාවක් ඇති වෙනවා නම් හැම වෙලාවෙම ඒ රූපය මාරයා විදිහට දකින්න. ඒ රූපය ඔබ ඔබේ කර ගන්න එපා.