රාත්‍රීය ගැන කතාකරන විට රාත්‍රීය ආලෝකවත් කරන පහන් ආලෝක 28 ක් අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් භික්‍ෂුව වැඩසිටින කුටියට පෙනෙන නොපෙනෙන මානයේ පත්තුවෙනවා. මේ සුන්දර මොහොතේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දවසේ 24 පැයේම පහන් ආලෝක 28ක් දල්වන අපි අතීතයේ වැඩසිටියාවු ලක්‍ෂ ගණනාවක් වු බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් ආලෝක දැල්වීමට ගියහොත් එය කෙසේනම් අවසන් කරන්නද..? සංසාරයක් පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි දැල්වූ පහන් ආලෝකයන් එක පිඩක්‌කොට ගතහොත් එය සූර්යාගේ ආලෝකය පරාද කරනු ඇත.
සූර්යාගේ ආලෝකය අභිබවා යාමට සමත් ආලෝක පූජාවන් සංසාරයක් පුරාවට අතීත බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුජාණන් වහන්සේ උදෙසා දල්වන පහන් ආලෝකය සඳ හිරු නොමැති කළුවර රැයක නිවීගිය හොත් අපට අන්ධකාරයේ අතපත ගෑමට සිදුවනු ඇත. එයින් අදහස් වන්නේ දැල්වු සෑම පහන් වැටියක්‌ම නිවී ගොස් ඇතිය යන්නයි. එසේනම් පිංවත් ඔබ දැන් මෙතනින් නවතින්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ තබා ඇති මාර්ගය පිළිගන්න. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි කියන සම්බුදු වදනම ඔබේ ජීවිතය තුළින් අර්ථයක් දෙමින් සංස්‌කාරයන්ගේ ශක්‌තිය සංස්‌කාර නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න.
සුදත්ත සිටුතුමා තම මිතුරාගෙන් බුදුරජාණන් වහන්සේ යාබද නගරයක වැඩසිටිනවාය කියන වචනය ඇසුන සැනින් සඳ, හිරු නොමැති රැයක ආලෝක කිරීමට සමත් සිතේ ප්‍රභාෂ්වර භාවය තුළින් ආලෝකය උපදවාගෙන ඝන අන්ධකාර රාත්‍රියක් ආලෝකමත් කළ ආකාරයට පංචනීවරණ යටපත් වු සිතෙන් කෙලෙස් අඳුර විනිවිද යන ප්‍රඥාවේ ආලෝකය තමා තුළින්ම නිපදවා ගැනීමට දක්‍ෂවෙන්න. අතීත සංසාරයක් පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබ දැල්වු පහන් ආලෝකයන්ගේ සංස්‌කාර ශක්‌තිය ඔබගේ භවයට කැමති සිතට බයේ සැඟවී ඔබ තුළ බලාසිටින්නේ මෝදුවී විපාකදීමට සුදුසු පරිසරයක් ඔබ තුළ ඔබ ගොඩනගා ගන්නා තුරුය. ප්‍රමාදය ඇත්තේ ඔබ තුළමය. මේ ප්‍රමාදයෙන් ඔබට අප්‍රමාදී භාවයට පත්කරන්නේ ශ්‍රද්ධාවත්, වීර්යත්, හිරිඔතප් කියන කාරණා පමණක්‌මය.
අපි මේ මොහොතේ ප්‍රමාදයට පත්වුනොත් අනාගතයේ ඇතිවන අබුද්ධෝත්පාද කාලවලදී ඔබ මනුෂ්‍ය ලෝකයේ සිටියද, දිව්‍ය ලෝකයේ සිටියද තෙරුවන් කියන වචනය එහි අර්ථය අතුරුදහන් වනු ඇත. එදාට අපට සිදුවනුයේ මිත්‍යාදෘෂ්ටික ධර්මයන්ට පහන් පත්තු කිරීමටය. අතීතයේ අබුද්ධෝත්පාද කාලවල අපි ගත කළ මෙවැනි මිත්‍යාදෘෂ්ටි භාවයන්ද ඒවායේ ආභාෂයන්ද මෙතෙක් අපිට ධර්මය අවබෝධ කරගැනීමේ මාර්ගයෙන් බැහැරව තැබීමට හේතුවනවාද වියහැකිය.
මේ සියල්ල තුළින් අපි දැකිය යුත්තේ භවයේ අනතුරුදායක බවයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෙරුවන් උදෙසා ඔබ ජීවිතය අතහරින්න බියවෙන්න එපා. ජීවිතය මරණයට දමන්න. ඒ කියන්නේ ඔබ කෙලෙස් සිඳ දමන්න. ජීවිතය බැඳී තිබෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ඔතන තමයි අවබෝධයේ මග සැඟවී තිබෙන තැන. ඔය තැන ඔබ පහදා ගත යුතුමයි. ඔබ තවමත් බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය අතහැරීමට සූදානම් නැතිනම් එහි තේරුම ඔබ තවම බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණය තවම අවබෝධකරගෙන නැහැ. ඔබ තුළ බියක් තිබෙනවා, සැකයක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්ම මාර්ගය කෙරෙහි. කොටින්ම තවම සූදානම් මදිය කියන විචිකිච්චාව තිබෙනවා. මේ කුමන ආකාරයේ සිතුවිල්ලක් සකස් වුවද එය සිතක් පමණක්‌ම බව දකින්න. ඊයේ දවසේ ඔබට කේන්තියක් ඇතිවුනානම් මේ මොහොතේ එම සිත තිබෙනවාද…? එම සිත දැන් ඔබට අයිති නැහැ. කේන්ති සිත අනිත්‍ය වී ගියා.
නමුත් ඉන් සකස් වුන අකුසලය ඔබට විපාක පිණිස ඔබ පසුපසින්ම එනවා. කේන්තිය ඔබට අයිති නැති වුණාට එහි අකුසල් විපාකය ඔබට අයිතියි. අනිත්‍යවන දේවල් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම භවගාමී සංස්‌කාරවලින් අපිව පිරෙනවා. සංස්‌කාරයන්ගේ බර දරාගන්න බැරි විඤ්ඥාණය නිරතුරුවම වේගවත් භාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සිතක් හඳුනාගන්න පෙරාතුව තව තව සිතුවිලි සකස් වෙනවා. මෙතනදි අප උදාසීන වෙනවා. වැල යන අතට මැස්‌ස ගහනවා වගේ සිතට අයාලේ යන්න ඉඩදෙනවා. දැන් සිත භවයට තෝතැන්නක්.
පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දල්වන සෑම පහන් ආලෝකයක් තුළින්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය නොව බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. පහනේ ආලෝකයට ඔබ බැඳුනොත් ඔබ ඒ බැඳෙන්නේ භවයටය. එම පහනේ ආලෝකය අනිත්‍ය යන දැක්‌ම ඔබ තුළ ඇතිකරගතහොත් දැල්වුනාවු පහන් ආලෝකය තුළින් ඔබ දකින්නේ ධර්මයයි. ආමිස පූජාවන් පැවත්වීමට කැමත්තක් දක්‌වන සියලු පිංවතුන්ලා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ආමිස පුජාවන් තුළින් අනිත්‍ය සංඥා මතුකර ගැනීමට දක්‍ෂ වෙන්න…!!!
අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ