ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක් තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි ගමන් කරන්නේ.
මේ ලෝකයේ එක සුන්දර කාන්තාවක් ජීවත්වෙනවා, ඇයගේ ශරීරයේ සුන්දරත්වය, ලාලිත්‍යය, රිද්මය, හැඩය, වර්ණය මේ මොහොතේ අතිශය චමත්කාරජනකයි. ඒ රූපය නිසාම ඇය ලෝකයේ ජනප්‍රිය කාන්තාවක්. ඇය මේ රූපයෙන් ලෝකයාව හැඟීම්වලින් අන්දමන්ද කරනවා. ඇය අන්‍යාගමික කාන්තාවක්. ඇයගේ මේ අසිරිමත් රූපය නිසාම ඇයට ඊර්ෂ්‍යා කරන අය අප්‍රමාණව ඇති.
ඒ අසිරිමත් රූපය නිසාම වර්තමානයේ ඇය සතර අපාය දෙසටමයි මාර්ගය සකස්‌කරගන්නේ. එක් භික්‍ෂුවක් උතුම් සමාධියේදී අරමුණුකර බලනවා, ඉහත රූමත් කාන්තාව පෙර ජීවිතයෙදි කුමන අයුරේ ජීවිතයක් ගතකරපු කෙනෙක්‌ද කියලා.
එවිට එම භික්‍ෂුවට අරමුණුවෙලා තියෙන්නේ වයස අවුරුචු 40ක පමණ පැහැපැත් කාන්තාවක්. ඇය තැඹිලි පැහැති රෙදි පටියකින් බැඳගත් තනපටයක් සහ ඉනේ සිට පහතට අඳිනලද තැඹිලි පැහැති රෙදිකඩකින් සැරසී ඉඳලා තිබෙන්නේ. ඇයගේ ස්‌වරූපයෙන් භික්‍ෂුව ඇයව හඳුනාගෙන තිබෙන්නේ දේවදාසියක් ලෙසිනුයි.
ඉන්දියානු සමාජයේ දෙවියන් උදෙසාම කැපවූ, ජීවිතය පූජා කළ කාන්තාවන් සිටියා. ඒ අයගේ මුළු ජීවිතයම ගෙවුණේ තමන් අදහන දෙවියන් වෙනුවෙන්, එම දෙවියන්ට පූජෝපහාර පැවැත්වීම උදෙසායි. ඇය මුළු ජීවිතය තුළදීම කරන්නේ දෙවියන්ව මලින් සැරසීමට මල් මාලා ගොතන එක. දේව මන්දිර පිරිසිදු කරන කාර්යය. සුවඳහමන මුරුතැන්බත් පිසින කාර්යය. සුවඳ දුමෙන් දේවමන්දිර සුවඳවත් කරන කාර්යය. දෙවියන් උදෙසාම ජීවිතය පූජා කරන්නී… ඇය දේවදාසියක්. තමා අදහන ආගමට අනුව දෙවියන්ට මලින් ජූජා පැවැත්වීම නිසාම එහි විපාකයක් හැටියට මේ ජීවිතයේදී අබෞද්ධ පවුලක වුණත්, සුරූපී උපතක් සකස්‌කොටගත්තා. මේ ජීවිතයේදී ඇයට නිල් මහනෙල් මලක් වැනි ශරීරයක්, ඇස් දෙකක් ලැබුණේ ඇය ගිය ජීවිතයේදී දෙවියන්ට පූජා කළ මල්වල අසිරියෙන්මයි. එහෙමනම් ඇයගේ රූපයට අපි ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. නමුත් එතැන තිබෙන්නේ මිත්‍යාදෘෂ්ඨික ජීවිතයක්.
ඇයගේ සුන්දර ජීවිතය දකිනකොට අපට පෙනෙන්නේ ඔබ දක්‍ෂනම් ඔබ පූජා කරන මලකින් මොන තරම් අසිරියක් ලබන්න පුළුවන්ද කියලා. නමුත් මල් පූජා කරමින් දෙවියන්ට සුවඳින් ජූජෝපහාරයන් පැවැත්වීමෙන් ලබාගත් අසිරිමත් රූපය නිසාම, එම රූපයේ ආශ්වාදය නිසාම, ඇය දැන් අකුසල් වැඩෙන මාර්ගයකමයි ගමන්කරන්නේ. ඉහත කරුණ ඔබට සටහන් කළේ ඊර්ෂ්‍යාව කියන කාරණයේ ඇති අර්ථ විරහිතබව ඔබට දැන ගන්නයි. ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ගේ කුසල් සංස්‌කාරධර්මයන්ටයි. අනුන් පොහොසත් වෙන්නේ, බලවත් වෙන්නේ, රූමත්, උගත් වෙන්නේ ඒ අය පෙර ජීවිතයේ
රැස්‌කරගත් කුසල් සංස්‌කාරධර්මයන් අනුවමයි. යමෙක් යමෙකුගේ සංස්‌කාරවලට ඊර්ෂ්‍යාකරනවා කියන්නේ ධර්මයට ඊර්ෂ්‍යා කරනවාය කියන කාරණයයි. ධර්මයට යමෙක් ඊර්ෂ්‍යා කරනාවනම් ඔහු තමාගේම හිස කළුගලක ගසාගන්නා අඥාන පුද්ගලයෙක් වෙනවා.
පිංවත් ඔබ කළුගලක ඔලුව ගසාගත්තොත් මොකද වෙන්නේ? මුහුණ ලේ පැහැ වෙනවා, දත් එළියට පනිනවා. මුහුණ ඉදිමිලා විකෘති වෙනවා. මේ සියල්ල ඊර්ෂ්‍යාවේ ඵලයයි.