සැබෑ ක‍්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයාගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාටම අවීචි මහා නිරයට ඇද දමන්නට අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතුවෙන ගිනි දැැල්ලක්මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයාගෙන ලෝකය හඹාගෙන යෑමේ නිදහස පිංවත් ඔබට තිබෙනවා. නමුත් ගින්දරත් සමග සෙල්ලම් කිරීම, ඔබේම විනාශයටම හේතු වෙනවා. වර්තමානයේ ඇගිල්ල තබලා වැරැද්දක් පෙන්වන්න තැනක් ලෝකය තුළ නැහැ. ලෝකය ලෝකයේ ස්වභාවයෙන් දුකත් සමග ගමන් කරනවා.
ලෝකය ලෝකයේ ස්වභාවයෙන් ගමන් කරත්දී පින්වත් ඔබ ලෝකය තුළ සකස් වන ඵලයන්ට අකැමැතිනම් පින්වත් ඔබට වර්තමානයේ ඉතුරුවී තිබෙන්නේ ලෝකයෙන් නිවීම දෙසට ගමන් කිරීම පමණක්මයි. නමුත් පිංවත් ඔබට අවශ්‍ය නම් ඔබේ තෘෂ්ණාවට අදාළව ලෝකය නිවැරැදි කරන්න එය කිසිදා හමු නොවන මිරිගුවක් වුවත්, එම මිරිගුව පසුපස ඔබ හඹා යද්දී පින්වත් ඔබේ සැපයට අදාළ මග වියදම් ගැන ඔබ ධර්මානුකූලව සිතා බලන්නත් දක්‍ෂ වෙන්න ඕනේ. සැපයට අදාළ මග වියදම කියලා සඳහන් කළේ පිනයි. මිරිගුවක් පසුපස හඹාගෙන යද්දී වුවද මෙත් සිතින් ඔබ කටයුතු කරන්න දක්‍ෂ නම් මිරිගුව කිසිදා හමු නොවුණත් හඹායෑමේ වෙහෙස නිවාගන්න පින නමැති සැපය හෝ ඔබට ඉතිරි වෙනවා.
සමාජය දවසින් දවස සංකීර්ණභාවයට පත්වෙනවා. සමාජයේ සංකීර්ණභාවය සකස්කොට දෙන්නේ මනුෂ්‍යයාගේ තෘෂ්ණාව විසින්. තෘෂ්ණාවේ කෘත‍්‍රිම පොහොරින් සුවසේ පෝෂණය වන ඇලීම්, ගැටීම් හේතුවෙන් සකස් වෙන අකුසල් සංස්කාරයන්ගේ ඵලය වන විඤ්ඤාණය නමැති මැජික්කරුවා, හෙට දවසේදී මෙතෙක් ඔබ මනුෂ්‍ය ලෝකයේදී නොදුටු නොඇසූ නොසිතූ, අලූත්, අලූත් රූප, වචන, ජවනිකා අදහස් මෝස්තර සමාජගත කරාවි. පිංවත් ඔබ මේ අලූත් ජවනිකාවලින් පිරි රගමඩල දැකලා කම්පා නොවන්න. ඔබ ඔය දකින්නේ අධර්මය විලිලා උපදින නැවුම් ධර්මයමය.
වරක් තරුණ මහත්මයෙක් භික්‍ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, කොච්චර සිතුවත් සිතලා ඉවරයක් කරන්න බැහැනේ කියලා. භික්‍ෂුව එම තරුණයාට දැනුම් දුන්නේ පිංවත් ඔබට සිතලා ඉවරයක් කරන්න බැරි නම් කරුණාකර සිතීම නවත්වන්න කියලා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා, දෑස් දෙක පියාගෙන, අතීතයට සිත යොමුකොට දකිනවා. සංසාරයේ පටිච්චසමුප්පන්නව සතර අපායේ සත්වයන් වෙලා මනුෂ්‍යයන් දෙවියන් වෙලා මොන තරම් නම් සිතන්න ඇතිද? මේ මොහොතේදීත් අපි සිතනවා අතීතයට එකතු වෙන සෑම සිතුවිල්ලක්ම අනාගත පංච උපාදානස්කන්ධයකට අවශ්‍ය සංස්කාරයන් සකස්කොට දෙනවා. ඔබට හොරා ඔබේ ලෝකය ඔබම ගොඩනගා ගන්නවා. තියුණු කඩුවක් අතින් ගත් තෘෂ්ණාව නමැති වධකයාව මගේ සැපය මගේ දුකය කියලා ඔබම සතුටින් ගත් තැනදී සිතලා නම් මේ ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව පිංවත් ඔබ තේරුම් ගත යුතුව තිබෙනවා.
පිංවත් ඔබ ඉදිරියේ තිබෙන්නේ රූප වෙනස් කරමින් ආශ්වාදය සොයන සමාජයක්. ඔබට අවංකව ආදරය කරන කරුණාව දක්වන සමාජයක් නොවේ. පිංවත් ඔබේ ඇලීම් ගැටීම් මිල කරන රස බලන සමාජයක්. නමුත් ඔබ මේ සමාජයට වෛර කරන්නට එපා. එය ඔබ තවත් විනාශය කරා යෑමක් වෙනවා. ධර්මයෙන් නොහික්මුණු රස්තියාදුකාර සිතුවිල්ලක් සකස් කොට දෙන භව ගමනේ රස්තියාදුව නුවණින් දැක වරද ඉදිරියේ ලැජ්ජාව බිය ඇතිකොට ගන්න පිංවත් ඔබ දක්‍ෂ වන්න.
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක් දස පාරමී ධර්මයන් පුරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කිරීමටයි. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය කියන්නේ, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයටයි. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ් සැබැවින්ම සරණ ගියා කියන්නේ, බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කොටගත් සැබෑම බෞද්ධයෙක්ය කියලා කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කොට ගත්තාය කියන කාරණයයි.
පිංවත් ඔබ, ඔබේ හෘදසාක්‍ෂියට තට්ටු කරලා අවංකවම ඔබෙන් අහන්න, ඔබ සැබැවින්ම ධර්මානුකූලවම බෞද්ධ පිංවතෙක්ද කියලා. පිංවත් ඔබ අර්ථවත්ම බෞද්ධයෙක් කියලා දැනගන්න මිණුම්දණ්ඩ තමයි, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කොටගෙන ජීවත් වීම. චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ සූත‍්‍රගත ධර්මයේදී ඇස් ඇති පුරුෂයෙක් ගැන දේශනා කරනවා. මේ ධර්මයේ සඳහන් ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලබන, ආර්යයන් වහන්සේලා ඇසුරු කරන සද්ධර්මය ශ‍්‍රවණය කරන, ධර්මය නුවණින් මෙනෙහි කොට ජීවිතයට දරාගන්නා පිංවතාටයි. පිංවත් ඔබට සුන්දර දීප්තිමත්, හොඳින් පෙනෙන ඇස් දෙකක් තිබුණත්, පිංවත් ඔබ, තවමත් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කොට නොගත්ත පිංවතෙක් නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ඇස් ඇති, ජාති අන්ධයෙක්ය කියල. ඔබ ලෝකය දකින්නේ ලෝකය හැටියටමයි. එවැනි ජාති අන්ධ පිංවතා දුක දකින්නේ සැපයක් හැටියට. දුකට හේතුව දකින්නේ, මුදල් නොමැති වීම හැටියට. දුකෙන් මිදීම හැටියට දකින්නේ, ධනවත් භාවයට පත්වීම. දුකින් මිදීමේ මාර්ගය හැටියට දකින්නේ, ශීලාචාර ධර්මයන් සදාචාරාත්මක ධර්මයන් මරාගෙන ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩවාගෙන මුදල් සෙවීමයි. තාවකාලික සැපයක් කරගසාගෙන අනාගත දුකම පොදි බැඳගන්නා මාර ධර්මයන්ගේ ග‍්‍රහණයට වර්තමානයේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය ගොදුරුවෙලා.
ලෝකයාට විවේකයක් නැහැ. සිතන්න, ලෝකයාට සිතේ සංහිඳියාවක් නැහැ. හොඳ නරක හඳුනාගන්න, ලෝකයාට පූර්වාදර්ශයක් නැහැ. ඉන්ද්‍රිිිය සංවරය ඇතිකොට ගන්න, ඇයි ලෝකයට මෙහෙම වෙලා තිබෙන්නේ? දුකින් මිදීමේ එකම මාර්ගය, ධනය, නිලතල, සම්පත් දේපළ අධ්‍යාපනය කියන මිථ්‍යා ධර්මයන්, ජීවිතයට එකතුකොට ගැනීම නිසා. බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියන කොට, අපේම බෞද්ධ පිංවතුන්, ලක්‍ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරලා. පංචනීවරණ කාමච්ඡන්දයන් වඩමින්, ඉපදීම සමරන්න උපන්දින සාද පවත්වනවා. මත්වතුර, රසමසවුළු නොහික්මුණු අසංවර විලාසිතා, ආගන්තුක ඇවතුම් පැවතුම් තුළින් මේ ලැබුවා වූ සුන්දර පිංවන්ත ජීවිතය, නැවත සතර අපායේ උපතකට අවශ්‍ය සාධක ඇති කොට ගැනීම උදෙසාම මෙහෙයවනවා. ජනතාවට පූර්වාදර්ශයන් දිය යුතු අපේ රටේ දේශපාලනය කරන පිංවතුන්ලා, අවුරුදු හැත්තෑවේ උපන්දිනය සමරන්නත්, කේක්ගෙඩි කපනවා. පැදුරු සාද පවත්වනවා. මහා රාති‍්‍ර වෙනකම් සිංදු කියනවා. බජව් දමනවා. පූර්වාදර්ශයන් නැති, සුන්දර මිනිස් සමාජයක් දිනෙන් දිනම අවිද්‍යාවේ අඳුර දෙසට ගමන් කරනවා. වතුරාර්යසත්‍ය ධර්මයන් නොදැනීම නිසාම, පෙර ජීවිතයේ ශීලය නිසාම, දානය නිසාම, මෛති‍්‍රය නිසාම, ඔබට ලැබුණු මේ සුන්දර ආයුෂ, වර්ණය, සැපය, බලය සහිත ජීවිතයෙන්, ඔබ කෘතවේදීභාවය දක්වන්නේ පංචනිවරණයන්ට. පංච නීවරණයන්ට පිංවත් ඔබ කෘතවේදීත්වය දක්වද්දී, ඔබ තුළ මැවෙන්නේ අවිද්‍යාවමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පින්වත් ඔබ ඇස් දෙක පියාගෙන දකින්න, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගන්න, බුදුරජාණන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන්දීලා තිබෙනවා. මහ පොළොවේ පස්වලට වඩා ශරීර මාංශ දන්දීලා තිබෙනවා. සක්විති රජපදවි, සිටු ඇමැති පදවි දන්දීලා තිබෙනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් , බෝධි සත්ත්වයන් හැටියට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගැනීම උදෙසා කඳුළෙන්, රුධිරයෙන්, මසෙන්, ජීවිතයෙන් සිදු කළා වූ මහා පරිත්‍යාගය නුවණින් දක්වන්න. මේ සෑම පරිත්‍යාගයක්ම බුදුරජාණන් වහන්සේ සිදු කළේ, පින්වත් ඔබ උදෙසාමයි. පින්වත් ඔබට දුකෙන් මිදීමේ. සැබෑ මාවත විවරකොට දීම උදෙසාමයි. පිංවත් ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ, එවන් උතුම් පරිත්‍යාගයන් සිදු කොට තිබියදීයි. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරු දරුවෙක් වෙන්නේ? මෙය සටහන් තබන භික්‍ෂුව, බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් වූණේ, මා උදෙසා බුදුරජාණන් වහන්සේ සිදු කළ අපරිමිත වූ මහා කැපවීම දැකලාමයි. මෙය ඔබෙත් මගෙත් ඇත්ත කතාවයි. අවිද්‍යාව නිසාම, මේ ඇත්ත කතාව අපි, දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් පහළවීමේ ඇත්ත අර්ථය නොදැක, බොරුවෙන් ජීවත්වෙන බෞද්ධ ජාතියක් වීමේ ප‍්‍රවණතාව දෙසට වර්තමානයේ බෞද්ධ ජීවිත ගමන් කරනවා.
ස්වාමින් වහන්සේලා නිකාය වශයෙන් කණ්ඩායම් කල්ලි වශයෙන් කටයුතු කරනවා. එකිනෙකට වෙනස් ධර්මයන් දේශනා කරනවා. මේවා හේතුවෙන් ජනතාව අසරණවෙලා තිබෙනවා. එහෙම නම් නිවැරැදි ධර්මය තෝරාගන්නේ කෙසේද? මේ අපි දකින්නේ ධර්මයයි. ධර්මය තිබෙන්නේ නිවැරදි කිරීමට නොව වැරදි දැක ගැටීමට නොව, නිවැරැදි දෙය දැක ඇලීමට නොවේ. වැරැද්දට ගැටිලා අපි නිවැරැදි දෙයට ඇලෙනවා නම්, එතැන තිබෙන්නෙත් දුකමයි. ධර්මය කියලා කියන්නෙ වැරැද්දට ගැටීමවත්, නිවැරැදි දෙයට ඇලීමත් නොවේ. වැරැද්දත් නිවැරැද්දත් දෙකම අනිත්‍ය වූ ධර්මතාවන් කියලා දැකලා, වැරැද්දත් නිවැරැද්දත් ඉදිරියේ උපේක්‍ෂාව කියන අර්ථය ජීවිතයට එකතු කොට ගැනීමයි. අපි යම් දවසක මේ උපේක්‍ෂාවන් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒත් දැන්ම එයට කලබල විය යුතු නැහැ.
අපි අද මේ ධර්මය සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා, වසර දෙදහස් හයසියයක් ගිය තැනකදී. බුදුරජාණන්ගේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට ගන්න කියලා දේශනා කළේ නිකාය වශයෙන් බෙදිලා නොවේ. තව තව අනුනිකායන් හදල නොවේ. කණ්ඩායම් ගැහිලා කල්ලි ගැහිිලා නොවේ. මේ උතුම් ශාසනය ආරක්‍ෂාවෙමින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අපේ ජීවිතවලට දරා ගැනීම තුළින්මයි. මේ යථාර්ථය අපි ජීවිතයට එකතු කොට ගතහොත් ධර්ම මාර්ගයේ මොන තරම් විකෘතීන් මතු වුණත්, අපිට වරදින්නේ නැහැ. මොන තරම් මිථ්‍ය ධර්මයන් සමාජගත වුණත් අපිට වරදින්නේ නැහැ. අපි වරද්දා ගන්නේ , බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, ධර්මයන් අසන්නේ නැතිව, අනුන් දේශනා කරන ධර්මයන් අසන්නට යෑම නිසාමයි. ලොව්තුරු බුදුරජාණන් වහන්සේ තමන් සමස්ත ලෝක ප‍්‍රජාවට ම කාරණ හතරක් පමණක්මයි, දේශනා කරන්නේ. පළමුවැනි කාරණය තමයි දුක, දෙවැනි කාරණය තමයි මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. තුන්වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීම. හතර වැනි කාරණය තමයි මෙන්න දුක නැති කිරීමේ මාර්ගය, පිංවතුනේ ඉහත කාරණා හතර පහළවීමයි. බුදුරජාණන්වහන්සේගේ පහළවීමේ අර්ථය.
ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක, තමා තුළමයි තිබෙන්නේ. දුක තියෙන්නේ තමා තුළ නම්, දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේ තමා තුළම නම්, දුකෙන් මිදීම උදෙසා තෘෂ්ණාව නැති කළ යුත්තෙත් තමාමයි. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළ යුත්තේ තමාමයි. මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය කියන්නේ, තමා තුළින් තමා දකින තමා තුළින් තමා අවබෝධ කොට ගන්නා ධර්මයක්. දුක තිබෙන්නේත් ඔබ තුළ නම් දුකට හේතුව තෘෂ්ණාව තිබෙන්නේත් ඔබ තුළම නම්, තෘෂ්ණාව නිරෝධය කළ යුත්තේත් ඔබම නම් තෘෂ්ණාව නිරෝධය කිරීමේ මාර්ගයේ ගමන් කළ යුත්තේත් ඔබම නම්, නිවැරැදි සද්ධර්මය සොයා ගැනීමේදී කාටවත්ම ගැටලූවක් මතුවන්නේ නැහැ. ධර්මයත්, ධර්මයේ අවබෝධයත් තමා තුළමයි තිබෙන්නේ.
දෑස් දෙක පියාගෙන තමා දෙස බලන්න. දුක තමා තුළ තිබෙනවා. දුකට හේතුව තෘෂ්ණාව තමා තුළ තිබෙනවා. දුකෙන් මිදීම උදෙසා ඔබ කළ යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම පමණක්මයි. මේ සා සරලව බුදුරජාණන් වහන්සේ, මේ උතුම් ධර්මය තමා තුළින් දැක, තමා තුළින් අවබෝධ කොට ගැනීමට මාර්ගය දේශනා කොට තිබියදී, අපි මොකද කරන්නේ. තමා දෙස නොබලා අනුන් දෙස බලනවා. අනුනගේ නිකාය, අනුනගේ කණ්ඩායම්, කල්ලි, අනුනගේ ධර්මයන් දෙස බලනවා. සංසාරයේ පටිච්චසමුප්පන්නව පුහුණු කළා වූද, දුක පිණිසම හේතුවන ධර්මතාවයන් වේවා, පිංවත් ඔබ මේ සටහන තබන භික්‍ෂුව දෙස, බැලිය යුත්තේ භික්‍ෂුව හරිද, වැරදිද කියලා දැකීමට නොවේ. භික්‍ෂුව දේශනා කරන ධර්මයෙන් භික්‍ෂුවගේ ජීවිතය තුළින් මතුවෙන යම් පූර්වාදර්ශයන්ගෙන් ගත යුතු යමක් තිබෙනවා නම් ඒ දෙය ඔබේ ජිවිතයට අරගෙන ඔබ නිදහස් වීම සඳහා යි. නමුත් වර්තමාන සමාජය ඒ දෙය නොවේ කරන්නේ. බුදුරජාණන්වහන්සේ හරිද වැරදිද කියල සොයනවා. ශී‍්‍ර සද්ධර්මය හරිද වැරදිද කියලා සොයනවා. බුදුරජාණන් වහන්සේ ඉපදෙන තැන සොයනවා. මස්, මාළුවල පව් තිබෙනවා කියලා සොයනවා. ශීලයෙන් තොරව ප‍්‍රඥාව ගැන සොයනවා. වචනවල අර්ථ නිරුක්ති සොයනවා. අහවල් හාමුදුරුවෝ හරිද වැරදිද කියලා සොයනවා. බුදුරජාණන් වහන්සේ අපිට මේවා සොයන්න කියලා නැහැ. මේවා සොයන්න සොයන්න සමස්ත සද්ධර්මයේ අර්ථයම අපි විකෘතියක් බවට පත්කොට ගන්නවා. දුකෙන් මිදීමේ නාමයෙන් දුකටම හේතුවන තෘෂ්ණාවට තව තව වර්ධනය කොට ගන්නවා.
පින්වත් ඔබට නිවැරැදි සද්ධර්මය අවශ්‍ය නම් බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ, නිවැරැදි සද්ධර්මය ඔබ තුළමයි තිබෙන්නේ. නමුත් වර්තමානයේ කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය දුර්වලයි. නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය දුර්වලයි. ඒ නිසාම තමා තුළ ඇති ධර්මය මගහැර, ලෝකය තුළ අපි අධර්මය සොයමින් දුවනවා. තමා තුළ සකස්වෙන දුක තමා විසින්ම නිරෝධය කළ යුතු, සුන්දර මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබියදී, ධර්මය සොයමින් අපි ලෝකෙ වටේ, රට වටේ, දුවනවා. කණ්ඩායම් ගැහෙනවා. කල්ලි ගැහෙනවා. මම හරියි, ඔහු වැරදියි කියනවා. ධර්මයේ නාමයෙන්, ධර්මාවබෝධයේ නාමයෙන්, තෘෂ්ණාවම සංවර්ධනය කොට ගන්නවා.
පින්වත් ඔබ මොහොතක් දෑස් පියාගන්න. චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල් ආර්ය සත්‍යය වන දුක තමා තුළින් තමා දකින්න. දුකට හේතුව රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කෙරෙහි ඇති කොටගන්නා වූ තෘෂ්ණාවම බව දකින්න. දුක තුනීකොට ගැනීමට, තෘෂ්ණාව සියුම්කොට ගතයුත්තේ තමාම බව දකින්න. එහෙම දකිමින් තෘෂ්ණාව නිරෝධය කරන මාර්ගය වන සුන්දර ආර්ය අෂ්ඨාංගික මාර්ගය ජීවිතයට එකතු කොට ගන්න. නිකාය කණ්ඩායම්, කල්ලි, විචිකිච්ඡා, ලෝකයම යන දිශාවකට යන්න. දෙන්න. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සැබෑම ධර්ම මාර්ගය වන, තමා තුළිින්ම දුක කියන කාරණයත්, දුකට එකම හේතුව වන තෘෂ්ණාව කියන කාරණයත්, තෘෂ්ණාව නිරෝධය කරන උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයත්, මතුකොට ගන්න.
ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කොට මෙලොව පරලොව ලෞකික සැපයත්, ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කොට උතුම් මාර්ග ඵල සැපයත් ජීවිතයට එකතුකොට ගන්න දක්‍ෂවෙන්න. දුක වැඩෙන, තෘෂ්ණාව වැඩෙන, ධර්මයේ නාමයෙන්, අධර්මයන් ජීවිතයට එකතු කොට ගෙන මුළු ලෝකයම තමන්, තමාවම රවටා ගත්තත්, සැබෑ නිවැරැදි චතුරාර්යසත්‍ය ධර්මයන්, ඔබ ජිවිතයට එකතුකොට ගතහොත් පිංවත් ඔබ දුක තුනී කොට ගන්නවාමයි. එය ලෝක ධර්මයක්ම වෙනවා.
වර්තමානයේ උතුම් ශී‍්‍ර සද්ධර්මයට වැරදිලා නැහැ. උතුම් ශී‍්‍ර සද්ධර්මය විකෘතිවෙලා නැහැ. සැබෑ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනතාවට වැරදිලා, ජනතාව විකෘතියක් වෙලා තිබෙන්නේ. මේ මොහොතෙත් පින්වත් ඔබ තුළ සුන්දරව විවෘතව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව අර්ථයන් අර්ථවත්ව තිබෙනවා. නමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ, කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රයේ දුර්වලභාවයන් නිසාම, සමාජයට ධර්මානුකූලව පූර්වාදර්ශයන් නොලැබීම නිසාම, ගිහි පැවිදි දෙපාර්ශවය ම සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක නුවණින් මෙනෙහි නොකිරීම නිසාම, රූපයන් කෙරෙහි ඇලීම් ගැටීම් කෙරෙහි, හඳුනා ගැනීම් කෙරෙහි, සංස්කාරයන් කෙරෙහි, විඤ්ඤාණයන් කෙරෙහි, ඇති කොටගෙන ඇති අසීමිත, කෙළ හලන තෘෂ්ණාව නිසාම, ලෞකිකත්වය තුළ බැසගෙන තමා තුළින් ධර්මය නොදැක, ලෝකය තුළින්, සැප සොයා යෑමේ ඵලයයි. වර්තමාන සමාජයේ ඛේදවාචකය බවට පත්වෙලා තිබෙන්නේ.
මෙය සටහන් තබන භික්‍ෂුුවට සමාජයේ කොතැනකවත් වරදක් නම් පේන්නේ නැහැ. සමාජය නිවැරැදි තැන ස්ථානගත වෙලා සිටිනවා. ‘‘තෘෂ්ණාව වැපුරුවොත් ඔබ, දුක අස්වැන්න හැටියට ලබනවාමයි. ලෝකය හදන්න යෑම පසෙක තබා, ශී‍්‍ර සද්ධර්මයේ හරි වැරදි සොයන්න යෑම පසෙක තබා, සංසාර බිය දකිමින්, ඔබ එය තළු මර මරා අයිතිකොට ගන්න උත්සාහගන්න. කාමයන්ගේ නිසරුභාවය, අනිත්‍ය භාවය දකිමින්, , තනි තනිව ඔබ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න, ඔබ හැදුණොත් රට හැදේවී. ඔබ නොසැදී රට හදන්න යෑමේ, විපාකය අද සමාජය අත්දකින්නේ. ඔබේ ධර්මානුකූල පූර්වාදර්ශයන් සමාජය යම් පමණකට හෝ නිවැරැදි වීමට උපකාරක ධර්මයන් සකස්කොට දේවි. ඔබටත් , මටත්, වර්තමාන සමාජ අර්බුදය ඉදිරියේ කරන්නට ඉතුරුවෙලා තිබෙන්නේ. එම වගකීම පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞකික සැපයට මාර්ගයත් උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි කියල.
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.