ලොව සාර්ථකම ආරක්ෂාව ලබන්නේ කොහොම ද?

ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය.

තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේශකයන් සරණයනවා. යමකින් පිහිටක්‌ ලැබෙයි කියලා විශ්වාසයක්‌ තිබෙනවා නම් මහා කලුගල් පර්වතයක්‌ යටින් කෝටු කැබැල්ලක්‌ ගහල හරි පිහිට බලාපොරොත්තු වෙනවා. මේ අංශයෙන් ඉතාමත් ප්‍රාථමික ඇදහිලි විශ්වාසයන් ඇතිව සමාජයේ සමහරු ක්‍රියාකරනවා. මේ ආරණ්‍යයේ පිහිටි කඳුගැටය මුදුනේ සිට ඈත පරිසරය දෙස රාත්‍රියේ බලනවිට සිය ගණනාවක්‌ විදුලි ආලෝක ඇසට පෙනෙනවා. ඈත කඳුගැට සිසාරා දැල්වෙන මේ සෑම ආලෝකයක්‌ම දැල්වූ මිනිසුන් සොයන්නේ ආරක්‍ෂාවයි. සත්වයා කාමයට ඇති කැමැත්ත නිසා එය අත්විඳීමට ජීවත්වීම සඳහායි ආරක්‍ෂාව සොයන්නේ. වැඩි කලක්‌ ජීවත්වෙන්න, වැඩිපුර ඇසට, කනට, නාසයට, දිවට, මනසට, කයට ආහාර- ආශ්වාදය අයිති කරදෙන්න.

මේ සැවොම ආරක්‍ෂා වෙන්නේ ‘මම’ පෝෂණය කිරීම සඳහාය. අනිත්‍යභාවයට පත්වෙන දෙයක්‌ ආරක්‍ෂා කිරීමට අපි ගන්නා වූ වෙහෙස නිසා කවදාහරි දිනක අප දුකට පත්වන්නේය. අප පාරක තොටක ගමන් කිරීමේදී පේනවා පිංවත් ඔබ යන වේගය. මේ වේගයේ තරමටම තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන තෘෂ්ණාව ද වේගවත්. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආශ්වාදය අයිති කරගැනීමේ ස්‌වභාවය මනින මිනුම් දණ්‌ඩ තමයි මේ වේගය. ඒ නිසා ඔබ වේගවත් නම් ඔබට බොරු කරන්න බැහැ. ඔබ ගොඩාක්‌ දේවල් රැකගන්න, ලබාගන්න, අයිති කරගන්න යන කෙනෙක්‌මයි. මේ වේගය පිංවත් ඔබට පුදුම ආශ්වාදයක්‌ දනවනවා. ‘අනික්‌ අයට වඩා මම ඉහළින් ‘ කියලා දැනෙනවා. මේ සැප තව තව විඳින්න, තව තව ඉහළට යන්න, තව තව ආරක්‍ෂා වෙන්න අවශ්‍යයි කියලා දැනෙනවා. මෙවැනි අදහස්‌වලින් ඔබ මත්වෙලයි ඉන්නේ. ආශ්වාදයේ සතුට මිස කාමයේ ආදීනවයන් හිතන්න ඔබලාට විවේකයක්‌ නැහැ. මෙය මනුෂ්‍ය ස්‌වභාවයයි. මෙම මනුෂ්‍ය ස්‌වභාවය තුන් කාලයටම පොදුයි. ඒ නිසා ඉහත ස්‌වභාවයන් වෙනස්‌ කරන්න සමතෙක්‌ නැහැ. ඔබ නායකයෙක්‌, පාලකයෙක්‌, විධායකයෙක්‌ වෙන්නේ, පෙර සංසාරිකව රැස්‌කළ පිං නිසාමයි. ඔබ පින නිසා ඔය තැනට පත්වුවත්, පිනෙන් ලැබූ ජීවිතය, එහි සශ්‍රිකභාවය ඔබව විනාශය කරා රැගෙන යන්න පුළුවන්. ඉන් මිදෙන්න නම් ධර්මානුකූල ජීවිතයකට ඔබ යොමුවෙන්න වෙනවා.

ධර්මානුකූල ජීවිතයක්‌ සඳහා පිංවත් ඔබ වගකීම්, ව්‍යාපාර, තනතුරු, අතහැරිය යුතු නැහැ. තමාට පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකරමින් තමා මෙලොව පරලොව දෙකෙහිදීම ආරක්‍ෂා වෙන්නේ කෙසේද කියලා සිතීම වැදගත් වෙනවා. එයට ඉතා ප්‍රත්‍යක්‍ෂ මාර්ගය ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර තිබෙනවා. යමෙක්‌ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය, දන්දීම, මෛත්‍රිය තම ජීවිතය තුළින් වැඩුවහොත් එයට වඩා ආරක්‍ෂාවක්‌ මෙලොව, පරලොව වශයෙන් නැහැය කියලා. ඔබ නිරතුරුවම පළවෙනියා වීමට අයුතු ආකාරයෙන් උත්සහ නොගන්න. නිරතුරුවම ජයග්‍රාහකයෙක්‌ වීමට උත්සහ ගන්න. එවිට ඔබ අතින් වන අකුසල් අඩුවෙනවා. ඔබ ධර්මය විශ්වාසකොට අවිචාරයෙන් පළවෙනියා වීමට උත්සහ නොකොට, ජයග්‍රාහකයෙක්‌ පමණක්‌ වීමට උත්සහ කළොත් කවදාහරි දවසක ධර්මය විසින් ඔබව පළවෙනි තැනට ඔසවා තබනවාමය. ඔබට ඒ තැන හිමි නම්, මේ ආකාරයෙන් ඔබ හික්‌මීමට නම්, අර්ථවත් ලෙස තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්‌ත විය යුතුය. ශීලය, දන්දීම, මෛත්‍රිය ඔබ ජීවිතය තුළින් වැඩිය යුතුය. එවිට ඔබට එම ධර්මතාවයන් ඔබේ ආරක්‍ෂාව පිණිස හොඳම සහකරුවා කරගැනීමට ඔබ දක්‍ෂවනු ඇත.

ඔබ කවුරුන් වුවද, යම් තැනකදී ඔබ ආරක්‍ෂා වූවා නම්, අනතුරකින් බේරුණා නම්, ඒ ඔබ ආරක්‍ෂා වූයේ ඔබ වැඩූ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දාන, ශීල, මෛත්‍රියේ ශක්‌තිය නිසාමය. නමුත් ඔබ සිතන්නේ ඔබ ආරක්‍ෂා වූයේ, අනතුරින් බේරුණේ තමාට යොදා සිටින ආරක්‍ෂක විධිවිධාන, එසේත් නැතිනම් වෙනත් බාහිර හේතුවක්‌ නිසාය කියලා, එය සත්‍යයක්‌ නොවේ. ඔබ දැකලා තිබෙනවා, අහලා තිබෙනවා විශාල ආරක්‍ෂක වළලු දමාගෙන සිටියත් එක මොහොතකින් බෝම්බකරුවෙක්‌ මේ සියල්ල විනාශ කරගෙන තමනුත් විනාශ වෙනවා. ඒ කියන්නේ මොන තරම් ආරක්‍ෂක පවුරු තිබුණද ප්‍රහාරකයා උපක්‍රමශීලී නම්, මරාගෙන මැරෙන අයෙක්‌ නම් ආරක්‍ෂක උපක්‍රම අසාර්ථක බවයි.

කෝටි ගණන් මුදල් වියදම් කර කරන ආරක්‍ෂක ක්‍රම අසාර්ථක නම් අපි බලමු ලොව සාර්ථකම ආරක්‍ෂාව ලබන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ ඔබ තුළින් අවංකවම තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් දානය, ශීලය, මෛත්‍රිය ජීවිතයට පුරුදු කරගන්න වෙනවා. ඔබ නිරතුරුවම දන්දෙන කෙනෙක්‌ නම්, ශීලයක පිහිටා එම ශීලය ආරක්‍ෂා කරන අයෙක්‌ නම් සත්ත්වය කෙරෙහි මෙත් වඩන අයෙක්‌ නම් ඔබේ ආරක්‍ෂාව ගැන ඔබ බිය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් සංසාරිකව යම් අකුසල කර්මයක්‌ විපාක දෙන්න තිබෙනවා නම් ඔබ එයට මුහුණදෙන්න වෙනවා. ඔබ දක්‍ෂ නම් එතැනදීත් ඔබට විපාකයන්ගේ ස්‌වභාවය හීන කිරීමට සමහරවිට ඔබට අවස්‌ථාව තිබෙනවා.