පිංවත් ඔබ දිනය නිමාකරලා, නිදි පැදුරට වැටුනට පස්සේ, නින්ද පැමිණෙන තුරාවට, පසුදවසේ කළ යුතු ගොඩාක් දේවල් සැලසුම් කරනවා. රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, පවුල, සමාජ සේවය, විනෝදය, හෙට දවසේ මේවා, විඳින හැටි අයිති කොට ගන්නා හැටි, මනසින් චිත‍්‍ර මවාගන්නවා, විතර්ක ගොඩනගා ගන්නවා. රාත‍්‍රී කාලයම ජිවිතය නැමැති තුඹස දුම්දැමීම නිසාම, හුඟදෙනෙකුට වර්තමානයේ නින්ද කියන කාරණය ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා.
මේ හේතුව නිසාම වර්තමානයේ මනුෂ්‍යයා, බෙහෙත් පෙත්තකින් නින්ද ලබාගැනීමේ, උත්සාහයට පැමිණ තිබෙනවා. වර්තමානයේ පිරිටන් පෙත්තක් ෆාමසියකින් ලබාගන්නත්, වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වෙනවා. ඒ තරමට නින්ද නොයාම මනුෂ්‍යයාට ප‍්‍රශ්නයක් වෙලා. ප‍්‍රශ්නය විසඳා ගන්න, මනුෂ්‍යයා උත්සහගන්නේ, බෙහෙත්පෙති ගිල දමමින්, එසේත් නැතිනම් මත්ද්‍රව්‍ය ගිලදමමින් තව තවත් අතුරු ආබාධ කරා ජිවිතය යොමුකරවමින්.
අනාගත ලෝකයේ, ඖෂධ, රෝහල් සේවාවන් මේ හේතූන් නිසාම ලාභදායි ව්‍යාපාරයන් වෙනවා. මෙම ව්‍යාපාරයන්ගෙන්, සේවාවන්ගෙන් තොරව ජීවත් වීමට මනුෂ්‍යයාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. රෝගීන් නිසාම අතිරික්ත ධනය මේවාට ගලාගෙන එනවා. එම ක්ෂේත‍්‍රයන්හි, සේවයන් සලසන පිංවතුන් ද, එම අතිරික්ත ධනය නිසාම, අකුසල මූලයන්ට කොටුවෙනවා. මාරයා ලෝකය ලස්සනට නිර්මාණය කරනවා. එක පැත්තකින් ධර්මයෙන් ඈතට යන, මනුෂ්‍යයින්, රෝගීන් බවට පත්වෙන කොට, නිරෝගීභාවය උදෙසා බෙහෙත් කරන ආයතන, අතිරික්ත ධනය තුලින් අකුසලයට යොමුකරනවා.
භික්ෂුවට මතකයි මීට වසර විසිපහකට පමණ පෙර, භික්ෂුවගේ ගම් පළාතේ සුදුසුකම්ලත් බටහිර දොස්තර මහත්මයෙක් සිටියා. එම දොස්තර මහත්මයා, රෝගියා පරීක්‍ෂා කරලා අවශ්‍ය බෙහෙත් ලබාදීලා, අයකලේ රුපියල් විස්සයි. එතුමාම ලංගම බසයෙන් ඔසුසලට ගිහිල්ලා, සතියකට වතාවක් අවශ්‍ය ඖෂධ අරගෙන එනවා. අවුරුදු විසිපහක කාලයක් තුළ, අපි වර්තමානයේ සිටින අවිවේකී, දිගු පෝලිම් සහිත, මිල අධික, වෛද්‍ය සේවාවක් කියන තැනට පැමිණ තිබෙනවා. සුපිරි පන්තියේ රෝහල්, ඉහළ ශ්‍රේණියේ වෛද්‍ය පහසුකම්, දියුණු කරන ලද ඖෂධ සහ සේවාවන් තුලින්, වර්තමානයේ අපි දකින්නේ මනුෂ්‍යාගේ අකුසල් මූලයන්ගේ දියුණුභාවයයි. දුස්ශීලභාවයන් නිසාම ලෝහ, ද්වේශ, මෝහ, ධර්මතාවයන් නිසාම, මනුෂ්‍යාගේ උපත සහ මරණය, අතර කාලපරාසය හීනවෙනකොට, එම අඩු කාලපරාසය පිරවෙන්නේ රෝගාබාධවලින්. මේ හේතුවෙන් ඉහත ක්ෂේත‍්‍රය තව තව ජනප‍්‍රිය වෙනවා. එම ජනප‍්‍රියභාවය පිංවත් ඔබව අකුසල මූලයන් දෙසටමයි යොමු කරන්නේ.
එම නිසා පිංවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මාරයා ලෝකය සැලසුම් කරනා දිශාවට නොව, සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවට ගමන් කරන්න. ධර්මානුකූලව ජිවිතය ගලපාගැනීමට අදක්ෂ අය, ඕනෑම දිශාවකට ගිය දෙන්, පිංවත් ඔබ ගලා එන මුදල් හමුවේ දුක සැප පටලවාගන්න එපා. ආශ්වාදයන් හමුවේ ආදීනවයත් තිබෙනවාමයි. එය ධර්මථාවයකි. එම නිසා තමාගේ සීමාව කුමක්ද කොතනද යන්න ධර්මානුකූලව ගලපාගන්න දක්ෂ වෙන්න ඕනේ.