අද පසළොස්වක පොහොය දවස, කුටිය අවට කැලෑ පරිසරය, හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහාධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහාධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි.
භික්ෂුව සාමාන්‍යයෙන් රාත‍්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ නැහැ. සැලසුම් කිරීම්වලින් තොරව, ජීවිතයට නිදහසේ යන්න දෙනවා. එවිට ඉක්මන් වීම් සහ ප‍්‍රමාදවීම් සකස් වෙන්නේ නැහැ. ජීවිතයේ නිදහස උදුරාගන්නේ, පංචඋපාදානස්කන්ධය කෙරෙහි, තෘෂ්ණාව විසින්මයි. තෘෂ්ණාව සෑමවිටම, අපේ ජීවිත සංස්කාරයන්ගේ සිරකාරීත්වයට පත් කරනවා. උපාදානයන්ගේ බන්ධනයන්ට කොටුකරනවා. අවිද්‍යාවේ ඝණ අන්ධකාරය, අපිට ඔරලෝසුවේ වේලාව පෙන්වලා, ප‍්‍රමාදභාවය ඉදිරියේත්, ඉක්මන්භාවය ඉදිරියේත්, තෘෂ්ණාවම ශක්තිමත්කොට දෙනවා.
පංචඋපාදානස්කන්ධ ලෝකය වෙලාගත්, අවිද්‍යා ඝණ අන්ධකාරය මැද්දේ, මේ රාත‍්‍රියේ නවයොවුන් පසළොස්වක සඳවතිය, තම ප‍්‍රභාෂ්වර ආලෝකයෙන් නැගෙනහිර අහස්කුස ඒකාලෝක කරලා. සුන්දර කවියෙකුට, සුන්දර ගීත රචකයකුට, එසේත් නැතිනම් සඳ එළියේ ආශ්වාදය විඳින්නෙකුට, දෝතපුරා, ඵස්ස ආහාර, මනෝසංචේතනා ආහාර සහ විඤ්ඤාණ ආහාරයන්, පසළොස්වක සඳවතිය බෙදා දෙන්නේ හරිම නිර්ලෝභී කමකින්.
භික්ෂුව මුළු කැලෑ පරිසරයටම ආලෝකය පතුරුවන, ප‍්‍රභාෂ්වර පසළොස්වක සඳවතිය දෙස මොහොතක් බලා සිටියා. ඇයගේ ආලෝකයෙන් බබළන රූපයේ ආශ්වාදයට, කවුරු වුණත් වශී වෙනවා. ඇය ඒ තරමටම ලස්සනයි. මේ සුන්දර පසළොස්වක දින රාත‍්‍රියේ, කුටිය ඉදිරිපිට අහස්කුස, ආලෝකයෙන් බබළන සඳවතිය දැකලා, මොන තරම් පින්වත් මනුෂ්‍යයෝ, ඵස්ස ආහාරයන්, මනෝසංචේතනා ආහාරයන්, විඤ්ඤාණ ආහාරයන් සිත් සේ අනුභව කරමින්, තෘෂ්ණාවෙන් තරවෙනවා ඇතිද. තෘෂ්ණාව හේතුවෙන් උපාදානයන්, උපාදානයන් හේතුවෙන් භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණ, පින්වත් ඔබට පෙනෙනවාද, සුන්දර පසළොස්වක සඳවතිය, ඇයගේ ලස්සන, රූපශ්‍රී ය අවිද්‍යාවෙන් පිරි ලෝකය තුළ දුක අස්වද්දන අපූරුව.
අනාගතයේ කවදාහරි දවසක, මුළු ලෝකයම අඳුරේ ගිල්වලා, සඳු සහ හිරු ලෝකයෙන් අතුරුදන් වෙලා යනවා. කවදාහරි දවසක සඳු සහ හිරු අතුරුදන් වෙලා යන්නේ, සත්ව ප‍්‍රජාවගේ අකුසල්වල බලවත්භාවයන් නිසාමයි. වර්තමානයේ පින්වත් ඔබ, ලස්සන සහ අවලස්සන දේවල් දැකලා, සිත්සේ අනුභව කරන, ඵස්ස, මනෝසංචේතනා සහ විඤ්ඤාණ ආහාරයන්ගේ, ඕජාවෙන් පෝෂණය වෙන, තෘෂ්ණාව අනාගත ලෝකයෙන්, හිරු සහ සඳු අතුරුදන් කොට දමනවා. සියලූ සංස්කාරයෝ වෙනස් වී යනවා. ඒ නිසාම ලෝකයෙන් අතුරුදන් වී යන හිරු සහ සඳු, කල්පවිනාශයක් අවසානයේදී, නැවත ලෝකය ගොඩනැෙ`ගන විට, ආයෙමත් හිරු සහ සඳු ලෝකය ආලෝකමත් කරනවා.
මේ මොහොතේ නොඉඳුල්ව ආලෝකය පතුරුවන පසළොස්වක සඳවතිය, කොයි මොහොතක හෝ අකීකරු ඝණ වළාකුලක්, ඇවිත් ඇයව ඉඳුල්කොට දමන්නට පුළුවන්. සඳවතියගේ ලස්සනට, ප‍්‍රභාෂ්වරභාවයට අකමැති, ඇයට ඊර්ෂ්‍යා කරන, වළාකුළු අරක්ගත්, සුළඟ අරක්ගත් දෙවියන්, දිව්‍යාංගනාවන්, ඕනෑ තරම් සිටිනවා. මනුෂ්‍ය අපිට විතරක් නොවේ තරහකාරයෝ සිටින්නේ. ඇලීම් සහ ගැටීම් තිබෙන තැන තරහකාරයෝ සිටිනවාමයි. ඒත් මේ පසළොස්වක පොහොය දින රාත‍්‍රියේ, භික්ෂුවට පින තිබෙනවා, ඇයව, ඇයසේම, ලස්සනට දකින්නට. හෙට භික්ෂුවගේ ඇස් දෙක අන්ධ වුණොත්, සියලූ සංස්කාරයෝ නොසිතූ, නොපැතූ ලෙස වෙනස් වෙලා යනවා. අපි තුළ මතකයන් පමණක්ම ඉතිරි කොට තබලා.
අපේ ජීවිත තුළ මොනතරම් නම්, සුන්දර මතකයන් ඉතිරිකොටගෙන තිබෙනවාද? ඒ මතකයන් අමතකකොට දමන්න, අපි කැමති නැහැ. ඒ මතකයන්, ඒ තරමටම සුන්දරයි, එසේත් නැතිනම් ඒ මතකයන් ඒ තරමටම අසුන්දරයි. අතීත මතකයන් ගැන සිහිපත් කරද්දී, ඒ මතකය තුළින් ඵස්ස ආහාර, මනෝසංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර, අපි නැවත නැවතත් අනුභව කරනවා. මැරිච්ච අතීතයක් නැවත සිහිපත් කරමින් අපි තෘෂ්ණාවෙන් තර වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ඔබ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන සිතුවිල්ලක් සිතන මොහොතක් පාසා, විඤ්ඤාණයට ගොදුරක් සහ විඤ්ඤාණයේ වැඞීමට ආහාරයක් ලබා දුන්නාය කියලා. විඤ්ඤාණය සක‍්‍රීයව තිබෙන තාක්කල්, තෘෂ්ණාව වැඩෙනවා. තෘෂ්ණාව වැඩෙන තැන, උපාදානය, භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් රැස තිබෙනවාය කියලා.
පිංවත් ඔබ, සුන්දර මතකයන් හෝ අසුන්දර මතකයන් ජීවිතය තුළ සඟවා තබා ගන්න එපා. ඒ සුන්දර මතකයන්ට හේතුකාරක වුණ, රූපයන්, කායානුපස්සනාවෙන් දකින්න. ඒ රූපයන් ඇසුරින් සකස් වුණා වූ සුන්දර මතකයන් සහ අසුන්දර මතකයන්, වේදනානුපස්සනාවෙන් සහ චිත්තානුපස්සනාවෙන් ඔබේ මතකයෙන් ඉවත්කොට දමන්න. ඒ අතීත මතකයන් තුළ, විඤ්ඤාණයට නැවත නැවත වැඩෙන්නට දෙන්න එපා. විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, ආයෙමත් මතකයන් අළුත්කොට ගැනීම පමණක්මයි, අපිට ඉතිරිවෙන්නේ.
පසළොස්වක සඳවතිය, තම ප‍්‍රභාෂ්වර ආලෝකයෙන්, කුටිය අවට කැලෑ පරිසරය තවමත් ග‍්‍රහණයට අරගෙන, සඳවතියගේ සුන්දරත්වය දැකලා, ඇස් ඇත්තෝ, තෘෂ්ණාව රැස්කොට ගන්නවා. ඇස් නැත්තෝ, සඳවතියගේ ලස්සන අනුන්ගෙන් අහල, හූල්ලනවා, ප‍්‍රඥ්‍යාවේ ඇස මෝදුකොටගත් නුවණැති මනුෂ්‍යයා පිරිපුන් ලස්සන සඳවතිය තුළින්, තවත් සති දෙකකින් උදාවෙන කළුවර පොහොය සඳ, නුවණින් දකිනවා. ඒ සුන්දර මනුෂ්‍යයාට, ආලෝකයෙන් පිරිපුන් සඳවතිය යනු සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින, ප‍්‍රඥ්‍යාවේ ආලෝකයක්මයි.
ලස්සන කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ නිසා ලස්සන විඳින්න එපා. පිනෙන්ම උපදින ලස්සන, ඔබ අවබෝධය උදෙසාම යොමු කොටගන්න. පිංවත් ඔබ ලස්සන වින්දොත්, භව ගමනේදී ඔබ ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් ඔබව අවලස්සන වේවි. වර්තමානයේ හුඟ දෙනෙක් අනුන්ගේ ලස්සන නිසා, තමන් ධර්මයෙන් අවලස්සන වෙනවා.
පිංවත් ඔබ සමාජය දෙස සිහි නුවණින් බලන්නකෝ, මනුෂ්‍ය ජීවිත මොනතරම් නම් කැතද කියලා. තෘෂ්ණාවෙන් ඇඟ, පත, ආරලා ගිහිල්ලා. ලස්සනට මස්පිඩු ශරීරයේ තිබුණත්, ලස්සන ඇඳුම් පැළ`දුම්, ආභරණ, රූපලාවණ්‍යයන්ගෙන්, පංචඋපාදානස්කන්ධ ලෝකය විකසිතව තිබුණත්, හුඟාක්ම ජීවිත තෘෂ්ණාවෙන් හුඟාක් ආරලා තිබෙන්නේ. ධර්මානුකූලව සමාජය දෙස බලන කෙනෙකුට, සමාජය පෙනෙන්නේ හරිම කැතට. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන්ගෙන් මනුෂ්‍ය ජීවිත කැතවෙලා. ඔය තෘෂ්ණාවෙන් ස්ථූල ශරීර ධර්මානුකූලව නිරෝගී කොටගන්න නම්, සම්මා ව්‍යායාමයන් බොහෝම වීර්්‍යයෙන් කරන්නට සිදුවේවි.
සම්මා ව්‍යායාමයන් කියන්නේ, තෙරුවන් සිහිපත් කොටගෙන ව්‍යායාම උපකරණවලට නැඟලා, ව්‍යායාම කරන එක නම් නොවේ, භවාත‍්‍රයේ සියලූම සත්වයන්ට, බුදුරජාණන් වහන්සේව දුටු සැණින් පහදින ආකාරයෙන්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ලස්සන වෙලා බබලන්නේ බෝධිසත්වයන් වහන්සේ සංසාරයක් පුරාවට, පූරණය කළ සම්මා වායාමයන් නිසාමය.
උතුම් සම්මා වායාමයන්, සම්මා දිට්ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් වගේම, උතුම් ආජීව අට්ඨමක ශීලයෙන්, මොනවට පෝෂණය වෙලයි, පිංවත් ඔබ තුළ වැඩෙන්නේ. මෙසේ වැඩෙන සම්මා වායාමයන් තුළිනුයි පිංවත් ඔබ තුළ සම්මා සතිය ඇතිකොට දෙන්නේ. උතුම් සම්මා සතිය තුළින්, පිංවත් ඔබ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඒ වගේමයි, බොරුව බොරුවක් කොට දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකින පිංවතාගේ, සිත නිරතුරුවම සම්මා සමාධියෙන් පෝෂණය වෙනවා. අපි බොරුව පසුපස හඹායනතාක් අපිට උරුමවෙන්නේ විසිරුණු සිතක්මයි.
ඇත්ත ඇති සැටියෙන් දකින පිංවතා, පංචඋපාදානස්කන්ධ ලෝකය දකින්නේ, නිත්‍ය, සුභ, සැප, ආත්මීය සංඥාවන්ගෙන් නොවේ, දෙතිස්කුණුපයක මොනවා නම් ලස්සන කරන්න ද, සතර මහා ධාතුවක මොන ලස්සනක්ද, අට්ඨික සංඥාවක මොන මස්පි`ඩුද, මරණානුස්සතියක මොන හැඩයක්ද, අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක මොන රිද්මයක්ද.
පිංවත් ඔබ ඔය වාඩි වෙලා සිටින ආසනයේම වාඩිවෙලා, මොහොතක් දෑස් පියාගෙන දකින්නකෝ, රූපය සැපයි, නිත්‍යයි, සුභයි, ආත්මයි කියන මිච්ඡා සතියෙන් මොහොතක් බැහැර වෙලා, පිංවත් ඔබේ රූපය ලස්සන කරන්න, රූපය නිරෝගි කොටගන්න, ඔබ වර්තමානයේ සරණ යන ව්‍යායාම උපකරණයන් මොහොතක් සිතින් බැහැර කරලා, සම්මා සතියට අදාළව පංචඋපාදානස්කන්ධ ලෝකය දකින්නකෝ, පිංවත් ඔබට වැටහෙනවාද, අපි ලස්සන සොයමින්, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවයන් කරාම නේද, ගමන් කරන්නේ කියලා.
සම්මා සතියෙන් තොරව ඔබ තුළ වැඩෙන අනිත්‍ය සංඥාවන් තුළත් තෘෂ්ණාව සැඟවී තිබෙනවා. මිච්ඡා සතිය තුළ සිටිමින්, අනිත්‍ය සංඥාවක් මතු වෙනකොටම, තෘෂ්ණාව, ඵස්සයේ අළු යට සැඟවී යනවා. එවිට පිංවත් ඔබ, අනිත්‍යයේ ආශ්වාදයේ සිරකරුවෙක් බවටයි පත්වෙන්නේ. පිංවත් ඔබ ලබන අනිත්‍යයේ ආශ්වාදය කෙටි නිසාම, ඔබ නැවතත් පංචඋපාදානස්කන්ධ ලෝකයේ නිත්‍ය, සැප, සුභ, ආත්මීය, ආදීනවයන් ජීවිතයට තුරුළු කොටගන්නවා.
මේ රාත‍්‍රියේ පසළොස්වක සඳවතිය හරිම අපූරුවට, රන් තැඹිලි පැහැයෙන් කැළුම් දෙන දර්ශනය, භික්ෂුවට කුටියේ ජනෙල් කවුළුව තුළින් මොනවට පෙනෙනවා. තවමත් අකීකරු ඝන වැසි වළාකුලක්, ඇයව ග‍්‍රහණයට අරගෙන නැහැ. අනේ අහිංසකාවියට අනතුරක් නම් වෙන්න එපා. භික්ෂුව එහෙම සටහන් තැබුවත්, රූපය නිරතුරුවම, කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ස්වභාවයෙන්ම කැඩෙන, බිඳෙන, විසිරෙන රූපයන්ට අපි අනුකම්පා කළොත්, අපි තුළ සකස් වෙන අනුකම්පා සහගත සිතුවිල්ල තුළත්, විඤ්ඤාණය සුවසේ පෝෂණය වෙනවා. විඤ්ඤාණයේ පෝෂණයෙන්, නාමරූප, සළායතන, ඵස්සය තුළින් නැවත නැවතත් සකස්කොට දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්මයි. පිංවත් ඔබ තුළ සකස්වෙන අනුකම්පා සහගත සිතුවිල්ල තුළත්, දුකෙන් පිරි ලෝකයම පෝෂණය වෙනවා.
පිංවත් ඔබ දුකට අකමැති නම්, ලෝකය නිවා දමන්න. පිංවත් ඔබ දුකට අකමැතියි කියන කාරණය තුළින් පමණක්, ලෝකය නිවාදමන්න බැහැ. ඔබ දුකට අකමැතිවෙලා, සැපයට කැමැති වුණොත්, ඒ සැපයන් පෙරළා දුකමයි සකස් කොට දෙන්නේ.
දුක සහ සැප යන අර්ථයන් දෙකම තෘෂ්ණාවේම ඵලයන් නිසා, සම්මා සතියෙන් තොර පිංවතෙකුට, පංචඋපාදානස්කන්ධ ලෝකය හරිම පැටලිලි සහගතයි. ඒ පැටලිලි සහගතබව හරියටම මාසයේ දවස් තිහට ස්වභාවයන් තිහක් ගන්නා පසළොස්වක සඳවතිය වගේමයි. එකම මාසයේදී වරෙක පරිසරය සඳ එළියෙන් ආලෝකමත් කරන ඇය, තවත් වරෙක පරිසරය ඝණ අන්ධකාරයෙන් වසා දමන්නේ, සම්මා සතියෙන් යුත් පිංවතුන්ලාට රූපයේ ආශ්වාදය තුළ සැඟවුණ, රූපයේ ආදීනවය මතුකොට දෙන්නට වගේම, මිච්ඡා සතියෙන් යුත් පිංවතුන්ලාව දුකෙන් පිරි, පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ මංමුලාකොට දමන්නමයි. රූපය ස්වභාවයෙන්ම කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයෙන් යුක්ත නිසා, කරුණාකර, පිංවත් ඔබ අධ්‍යාත්මික සහ බාහිර රූපයන් සම්මා සතියෙන් යුතුව පරිහරණය කරන්න. එවිටයි සම්මා සමාධියට අත්‍යවශ්‍ය, පංචනීවරණ ධර්මයන් ඔබෙන් තුනීවෙලා යන්නේ.
2020 සැප්තැම්බර් 06 වන ඉරු දින
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි
සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org