පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක් නිසා බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා.
එක් පිංවතියක් භික්‍ෂුවට ප්‍රකාශකළේ ‘ස්‌වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස් වෙනත් විවාහයක් කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක් ඇතිවෙනවා’ කියලා. මේ ද්වේශය දැන් මගේ ජීවිතයට පුරුද්දක් වෙලාය කියල. ඇයි මට මෙහෙමවුණේ කියලයි මේ තරුණ කාන්තාව භික්‍ෂුවගෙන් විමසන්නේ.
භික්‍ෂුව ඇයට ප්‍රකාශ කළේ ඔබ සෑම නිමේෂයකම ඔබේ තාත්තා කියන අර්ථයට ද්වේශකිරීම නිසා බලවත් අකුසල් සිදුකරගනිමිනුයි සිටින්නේ. එම අකුසලයේ දිට්‌ඨධම්මවේදනීය විපාකයයි ඔබ ඔය අත්විඳිමින් සිටින්නේ. වයස දහයේදී තාත්තා ඔබව දාල ගියේ තාත්තාගේ වරදක් නිසා නොවේ, ඔබට ළමා වයසේදීම තාත්තා අහිමිවෙන්නේ ඔබේ අතීත අකුසලයන් නිසා. ඔබේ අකුසලයට තාත්තාට වෛරකරල වැඩක් නැහැ. කරුණාකරල මීට පස්‌සේ තාත්තා කියන රූපය සිහිවෙන සෑම මොහොතකදීම ‘ඔබ සුවපත්වේවා’ කියල චිත්තයක් ඇතිකරගන්න. මෙතෙක්‌කල් ඔබ තාත්තා නිසා ඇතිකරගත් වෛරසිත්, අකුසල්සිත්, සියල්ලම මොහොතක් සිහියට නගාගෙන ඒ සෑම අතීත අකුසල් සිතක්‌ම අතීත පංචඋපාදානස්‌කන්ධයක් හැටියට දකිමින් අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඔබ තාත්තලාට වෛර කරලා, පීඩාකරල, තිබෙන්නේ මේ ජීවිතයේදී විතරක් නොවෙයි. එය ඔබේ සංසාරික පුරුද්දක්. එම සංසාරික පුරුද්දයි මේ ජීවිතයේදීත් මතුවී එන්නේ. අතීතයේ තාත්තාලාට කළ එම අකුසල් නිසයි ඒවායේ විපාක හැටියට ඔබේ තාත්තා මේ ජීවිතයේදී ඔබව ළමා කාලයේදීම හැරයන්නේ. එම නිසා පිංවත් ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න. ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න දක්‍ෂවුණොත්, ඊළඟ ජීවිතයේදී ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් ඔබට ආදරය කරන ඔබව සුරක්‍ෂිත කරන, තාත්තා කෙනෙක් ඔබට ලැබේවි. එසේ නොවී තාත්තලා දුවලා මේ ජීවිතයේදී වෛරකළොත් ඊළඟ ජීවිතයේදීත් ඔබ පූස් පැටියෙක් වෙලා ඉපදිලා එම පූස්‌පැටියාගේ තාත්තා විසින්ම පූස් පැටියාව මරාගෙන කන්නත් පුළුවන්. ද්වේශය නිසා ඔබ කිඹුල් පැටියෙක්‌ව ඉපදිලා, කිඹුල් තාත්තා විසින් කිඹුල් පැටියාව මරාගෙන කන තත්වයට එන්නත් පුළුවන්. භික්‍ෂුව මේ කථාව කියන විට ඇය ගොඩාක් තැතිගත්තා. භික්‍ෂුව සිතනවා මේ සටහන කියවල පිංවත් ඔබ අකමැති ඔබේ දෙමාපියන්, බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, ඥාතිවරයා, අසල්වැසියා සිහිපත්වන සෑම මොහොතකම ඊළග චිත්තය සුවපත්වේවා කියල ඇතිකරගන්න. එවිට සුවපත්වෙන්නේ අනුන් නොව ඔබම බව හොඳින් තේරුම්ගන්න. එසේ නොවී පිංවත් ඔබ වෛර සිත දුරු නොකළොත් අකමැත්ත ඇතිවෙන තැනට වෛරකළොත්, ඔබ තුළ නිරතුරුවම නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වර්ධනය වෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ භික්‍ෂුව වැඩසිටින සමහර කුටිවල කැපකරු මහත්වරුන් තමන්ගේ සෙලියුලර් දුරකථන නිසා නැති ආස්‍රවයන් ඇතිකරගන්න බවත් ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නා බවත් භික්‍ෂුවට බොහෝම හොඳට පෙනෙනවා. අපරාධයක තරම කියන්නේ එම පිංවතුන් තමන් සංඝරත්නය උදෙසා කරන සිවුපසයන් ඇපඋපස්‌ථාන හේතුවෙන් රැස්‌වෙන පින, අකුසල් මූලයන් ඇතිකරගැනීම තුළින් අපවිත්‍ර කරගන්නවා. භික්‍ෂුව නිහඬව බලා සිටිනවා. ලෝකය ගොඩාක් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය ගමන් කරවන්නේ ආස්‍රවයන් විසින්ම බව බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා.