පින් දෙන ආකාරය.

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.

පින් දෙන ආකාරය

නෑයන්ට :
ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො

දෙවියන්ට :
එත්තාවතා ච අම්හෙහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දෙවානුමෝදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා

සියලු සතුන්ට :
එත්තාවතා ච අම්හෙහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා

සිංහලයෙන් කියතොත් මෙසේ කියනු.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා, කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය ලෝක ශාසනාරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනා කොට ආරක්ෂා කෙරෙත්වා.

ලෝකයෙහි වෙසෙන සැප ඇති නැති සකල සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා.

(බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහනාහිමි)

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැරීමෙන් (share කිරීමෙන්) සහ ඔබගේ මිතුරන් මෙම පිටුවට එකතු කර (invite කර) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. තෙරුවන් සරණයි!